චැපල් සහ රන්දිව්

අවුරුදු එකසිය හැට ගණනක් පරණ ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් යැවූ ප්‍රසිද්ධම නිපන්දුව කුමක්ද?පසුගිය සතිය වෙනතුරු මෙය උත්තරයක්  නැති ප්‍රශ්නයක් වී තිබුනද දැන්නම් එයට පහසු උත්තරයක් තිබේ.ඒ උත්තරය නිර්මාණය කරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා ඉතිහාසයට එක් කරදුන් ඒ සිදුවීම ගැන අනාගතයේ කෙසේ කල්පනා කරනු ඇතිද?සුරාජ් රන්දිව්ට අනාගතයේ ඉන්දියාවේ  ක්‍රීඩා කිරීමේදී ඇතිවන්නාවූ නියත දුෂ්කරතා ඔවුන්ට තමන් ගත්තාවූ අමන තීරණය නැවත නැවත මතක් කරනු ඇත.

1981 පෙබරවාරි පළමුදා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කල දිනයකි,එදා තරග 5 ක එක්දින තරගාවලියේ 3 වන තරගයට ක්‍රීඩා කරමින් පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත අංක 10 පිතිකරු බ්‍රයන් මැකෙච්නි හට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නා වන ට්‍රෙවර් චැපල්අත යටින් පන්දුවක් යැවූ නින්දිත සිදුවීම සිදුවූ දිනයයි.අවසාන පන්දුවට ලකුණු 6 ක් ලබා ගත්තේනම් එදා කිවි-කැන්ගරු හටන සම වෙන්නට තිබිණ.එහෙත් තම වැඩිමහල් සොහොයුරා සහ එවකට ඕස්ට්‍රේලියානු නායකයා වූ ග්‍රෙග් චැපල්ගේ උපදෙස් පරිදි ට්‍රෙවර් චැපල් යැවූ අතයට පන්දුව කැන්ගරුවන්ට ජය ලබා දිනි.තරගයේ එම මොහොතේ විස්තර විචාරය කරමින් සිටි මේ දෙදෙනාගේ වැඩිමහල් සොයුරා ඉයන් චැපල් වහා පැවසුවේ මෙය අතිශයින්ම සිදු නොවිය යුතු ක්‍රියාවක් බවයි.

කොයි හැටි වෙතත් එවකට නීති පොතේ මෙය පිටුදැකීමට වගන්ති අඩංගු නොවූ හෙයින් එය එක සිදුවීමක් පමණක්ම ලෙස අවසන් විණි.ට්‍රෙවර් චැපල් මාධ්‍යයන්ගෙන් විමසුවේ  තමා මෙතෙක් එක්දින තරගවලදී පන්දු 736 ක් යවා ඇති බවත් අනෙක් පන්දු 735 පිලිබඳ කිසිවෙක් විමසන්නේ නැත්තේ මන්ද යන්නත්ය.පසුගියදා  mid-day.com නම් වෙබ් අඩවිය ට්‍රෙවර් චැපල්ගෙන් රන්දිව් පිලිබඳ විමසූ පුවතක් පල කර තිබිණි.ඔහු රන්දිව්ට දෙන උපදෙස වන්නේ මීළඟ තරගයත් තවත් තරගයක් ලෙස සිතන ලෙසයි.තවද තමන් වෙනත් ක්‍රීඩකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ඇඟට නොගන්න තුරු ඔවුන්ට තමන් වෙත බලපෑමක් කල නොහැකි බවද චැපල් පවසයි.2005 වසරේදී ඕක්ලන්ඩ්හිදී පැවැති කිවි-කැන්ගරු 20-20 ක්‍රිකට් තරඟයක අවසාන පන්දුවාරයේ අදාළ සිදුවීම සිහිපත් කරමින් ග්ලෙන් මැක්ග්‍රාත් විසින් කයිල් මිල්ස් හට අතයට පන්දුවක් යවන ලදී.එවිට විනිසුරුව සිටි බිලී බව්ඩන් විසින් මැක්ග්‍රාත්ට රතු කාඩ් පතක්පෙන්වීය.මේ අද ඒ අතයට පන්දුව සිනහවෙන් සිහිගන්වන ආකාරයයි.

දැන් නැවත රන්දිව්ගේ නිපන්දුව ගැන කතා කරමු.එම පන්දුව චැපල්ගේ අතයට පන්දුවට වඩා නරක වන්නේ කෙසේද?එය චැපල්ගේ සිදුවීම මෙන් තවත් එක සිදුවීමක් පමණක්ම නොවෙන්නේ ඇයි?මෙයට දිය යුතු පිළිතුර වන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිවට නියාලු පිළිවෙත නිසා බවයි.සංගක්කාර දක්ෂ නායකයෙක් බව අවිවාදිත වුවත්,අර්ජුන මෙන් කොන්දක් ඇති නායකයෙක් නොවන නිසා බවයි.මුරලිට ඩැරල් හෙයාර් පන්දුව දමා ගැසීමේ චෝදනා කරද්දී අර්ජුන දැක්වූ ශක්තිමත්භාවයෙන් සියයට දහයක් සංගාට හිමිවිනිනම් මෙය මෙතරම් කතා කරන මාතෘකාවක් නොවන්නේය.ෂෙවාග් මොනතරම් ඇඩුවත් සංගාට එය තවත් එක නිපන්දුවක් කියා කරබාගෙන නොසිට ,රන්දිව් හොරායැයි ලෝකයට කියන්නට උවමනා වෙන්නේ තම ක්‍රීඩකයන් රැක ගැනීමට අවශ්‍යතාවය නැති නිසාම විය නොහේ.ඇතැම් විටෙක අයි.පී.එල්.සල්ලි මල්ලේ වටිනාකම රන්දිව්ට වඩා වැඩි නිසා විය යුතුයි.

අනෙක් අතට මෙය සිදුවුයේ හර්බජාන් සිං අතින්නම් ඉන්දියානු ප්‍රතිචාරය කිසිවිට මේ ආකාරයට වෙන්නේ නැත.ඔවුන් කිසි දිනෙක එය හිතාමතා යැවූ පන්දුවක් ලෙස පිලි නොගන්නවා පමණක් නොව අර සංගක්කාර බෝක්කුව යැවූ පන්දුවට පසු පළමු පන්දුවම නිපන්දුවක් ලෙස යවනු ඇත.නිවට ක්‍රිකට් පාලක මණ්ඩලයද ඉන්දියානු ලොකු අයියාට බියෙන් මුනිවත රකිනු නොඅනුමානය.

මෙතරම් පහසුවෙන් සාමාන්‍ය නිපන්දුවක් ලෙස සළකා බැහැර කල හැකිව තිබූ සිදුවීම ඉල්ලගෙන කා ගැනීමක් කරගන්නේ ඊයේ පමණක් නොව අදද ලංකාවට සිදුවෙමින් පවතින ඉන්දියානු බලපෑමයි.අනෙකුත් වෙනත් කාර්යයන්වලදී මෙතෙක් පැවැති ඒ බලපෑම අද ක්‍රීඩාවටද බැල්ම හෙලා තිබීම ඉතා නරක ලකුණකි.පාලක මණ්ඩලයද ඉන්දියානු පැත්ත ගැනීම ක්‍රීඩකයන්ට කිසිදු සරණක් අහිමි කළේය.ඉතින් ඇස් පනා පිට මෙතරම් මුදල් උපයන ක්‍රිකට් පාලක මණ්ඩලය,පාඩු පිට දුවන ආයතනයක් බවට පත්වීමේ අරුමය,නිකන්ම නිකන් කරුමයක්ම නොවේ.

ලිපියේ මුලම සදහන් කල පරිදි රන්දිව් ඉන්දියාවේදී පන්දු යවන විට ක්‍රිකට් වෙනුවෙන් මරාගෙන මැරෙන සහ,ආකල්ප අතින් නොදියුණු ඉන්දීය ප්‍රේක්ෂකයන් නෝ බෝල් යැයි කෑගසද්දී පාලක මණ්ඩලයේ මහත්වරුන්ට සිදුවන්නේ කන්දෙකේ ඇගිලි ගසා ගැනීම පමණකි.මුරලිගෙන් පසුව අනාගතයේ ලෝකයට තර්ජනයක් වෙතැයි අනුමාන කළහැකි රන්දිව්ට කෙනෙහිලි කිරීමට ඔස්ට්‍රේලියාව ප්‍රමුඛ කල්ලියටද අපිම නැති අවස්ථා මවාදී තිබේ.

අවසාන වශයෙන් කල හැක්කේ ප්‍රාර්ථනාවක් පමණකි.මේ සිදුවීමෙන් රන්දිව්ගේ ක්‍රීඩා අනාගතය අඳුරු නොවේවා යන්නයි.රන්දිව්ටද ගතහැකි එකම පාඩම වන්නේ තමන් වැරැද්දට පොළඹවන ලොක්කන් වැරදුනදා අනික් පැත්ත ගසන බවයි.

කාට දෙමුද මේ තරු හතර

පත්තරේ කතෘ මහත්තය කතා කෙරුව ලියනවඩුට.අයිසේ අර තරු හතර ගලවපු එක ගැන මිනිස්සුන්ගෙන් අදහස් අහල ලියමුකො ලියුමක්.මෑන්ස් ඉතින් දනි පනි ගාල බෑග් මල්ලත් කරේ එල්ලගෙන බැස්ස පාරට.ජහමනයාගෙනුයි දියවන්නා වැසියන්ගේයි අදහස් මොනවද කියල බලන්න.පාරට බැහැල ඔන්න යනවා මිනිහ මහා ලඹේ පැත්තට.අලුත හදන මාලිගාවක් ඉස්සරහ හිටගෙන ඉන්නවා එක්කෙනෙක් ලෙමන් පෆ් එකකුත් කකා.ඉතින් ලියනවඩු උන්නැහෙත් කිට්ටු කරලා බැලුව මේ ජහමනයගෙන් අදහසක් අහල ලියා ගන්න කියල.අඩේ අප්පා මේ මොන ජහමනයෙක්ද,මේ අපේ උපවාසවංශ ඇමටිතුමානේ.ඉතින් අදනම් වෙලාව හොඳයි කියල කල්පනා කරපු අපේ මෑන්ස් පැනල අහන්න තිය ගත්ත ප්‍රශ්නේ.”ඇමටිතුමා,අර ඇෆ් ඇස් ගේ තරු හතර ගලවල දාපු එක කාගේ කුමන්ත්‍රණයක්ද?”

“මේ වගේ තුච්ච , නීච , නින්දිත, පහත් වැඩ කිරීමෙන් අධිරාජ්‍යවාදීන් බලාපොරොත්තු වෙන්නේ තිස් වසරක ශාපලත් යුද්ධය ඉවර වෙලා මේ නවෝදයේ නව හිරු කිරණ දකුණින් මේ පින්බර මවුබිමට උදාවෙන ඒ උතුම්,ශ්‍රේෂ්ඨ,ඉතිහාසගත,එයින්ද්‍රීය අවස්ථාව අංශක 180 ක් ආපස්සට හරවා …………………………….”

ඔන්න පැන්නා පිය විජේ උන්නැහේ.නායකතුමා,”නායකතුමා මේ අහන්නේ අර අරූ ගැන.අර පහුගිය මහා නිලමේ තරගෙන් පැරදිලා හිරේ ගියේ.අන්න ඒ මෑන්ස් ගැන.”

“අප්පට සිරි ගජ,පප්පට දෙහි ගැට කිව්වලු.ඒකද මේ අහන්නේ.අද රටේ සංවර්ධනය,සදාචාරය,සාහිත්‍යය,ඉතිහාසය,ගෘහ විද්‍යාව අනභිභවනීය ලෙස සුරකිමින් ,විදේශීය බලවේගවල සහ ඇන්ජීඕ කාක්කන්ගේ කුමන්ත්‍රණ පරාජය කරමින් රට නව දැක්මක ත්වරණයක් යටතේ ඉදිරියට යන අවස්ථාවේදී , මේ රජතුමා විසින් ගත්තා වූ ඓයිතිහාසික,සුවිශේෂී වූ තීන්දුව ඉතිහාසයේ ඉහලින්ම ලියවෙන අතිශය වැදගත් වූ අවස්ථාවක් හැටියටයි  මේ අවස්ථාවේ අර්ථ දැක්වෙන්නේ. ”

“ඉතින් ඇමටිතුමා හිතන්නේ ඔය ගලෝපු තරු හතර කාට දෙන්න ඕනේ කියලද?…ආයේ ඉතින් කතා දෙකක් නෑ.එකක් දෙන්න ඕනේ මහා රජ්ජුරුවන්ට.දෙකක් දෙනවා සූත්තර යුවරජතුමාටයි,අයි ආර් සී යුවරජතුමාටයි.ඉතුරු එක අනිවාර්යයෙන්ම යන්න ඕනේ පිච්චමල් කුමාරයට තමයි.ඉතින්”

ලියනවඩුත් එතනින් හම්බවෙච්චි බිස්කට් එකකුත් කකා ආයෙත් පාර දිගේ යනවා සුදු චරිතේ පැත්තට.අප්පට සිරි මේ ඉන්නේ රන් ඉල්ලන්කා මහත්තය බැබලි බැබලි.”ආ මල් ඊ ඊ ඊ ඊ ….මොකෝ මේ පැත්තේ ඒඒඒ.. “ඉතින් අපේ මැන්සුත් එකත් පස්ව ඉදගන අහනවා දැන් ප්‍රශ්නේ.”මම මේ ආවේ නායකතුමා අර තරු හතර ගලවපු එක ගැන ඔබතුමාගේ අදහස මොකද කියල දැනගන්න.” ඔන්න ඉතින් රන් ඉල්ලන්කා උන්නැහේ හරි බැරි ගැහිලා උත්තරේ දෙනවා මෙන්න මෙහෙම.

“ආණ්ඩුව වැරදියි.ඒකයි අපි කියන්නේ.මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ.රට පාලනය කරන්න බෑ.ඒකයි.මම හිටියනම් ඔහොම නෙවෙයි.පිටරට යාලුවෝ ඉන්නවා.අහන්න පුළුවන්.ඒකයි.”

“නායකතුමා එතකොට ඔය ගලොපු තරු හතර කාටද දෙන්න ඕනේ කියල හිතන්නේ……”
“මට දෙක් ආආආආ යි.එකක් දෙනවා අකී ඊ ඊ ඊ ඊ ට.සා ආආආ ලට අනික දෙනවා.හා හා මල්ලි මට වෙන පරක්කු වෙන්න බෑ.ඔය ඔය කියපු ටික ලියාගන්න.මට යන්න තියනවා හවසට තේ බොන්න මුරුංග ගහ වලව්ව පැත්තේ අලුත හම්බවෙච්චි බෙන්ස් එකේ.”රන් ඉල්ලන්කා මහත්තය කලිසමත් උස්ස උස්සා දුවල ගියා.ලියනවඩු වටේට රේඩාර් එක ගහල බැලුව දැන් යන්නේ කොහෙද කියල.

යන දිහාව කල්පනා කර කර පාර දිගේ යද්දී දන්නෙම නැතුව පැලපොල්වත්ත පැත්තටනේ ඇවිත් ඉන්නේ.ප්‍රධාන කන්තෝරුව ඉස්සරහ හිටගෙන ඉන්නවා රතුවංශ උන්නැහේ ලිප්ටන් එක පැත්තේ යන්න ලෑස්තිවෙලා.ලියනවඩු ඒ ගමන යන්න කලින් උන්නහෙව අල්ලගන්න දුවල ගියා හති දාගෙන.නායකතුමා වටරවුම පැත්තේ යන්නේ තරු ගලවපු එකට විරුද්ධව උද්ඝෝෂණය කරන්න වෙන්න ඇති නේද?”පිස්සුද මල්ලි මදිද එක පාරක් කරන්න ගිහිල්ල කට්ටිය ගාල්ලේ පොලිසියේ කූඩු කෙරුව.ඉතින් ආයෙත් පලයන්කෝ  ඒක කරන්න.ඔය තරුව තිබ්බත් එකයි නැතත් එකයි.ඔන්න ඔහේ වෙන වැඩක් බලාගන්න ඔයත්.”ලියනවඩුත් අරින්නෙම නෑ.” එහෙනම් නායකතුමා කියන්නකෝ ඔය තරු හතර කාටද දෙන්න ඕනේ කියල.කාට දුන්නත් අපිට මොකටද මල්ලි.ඔයා ගන්න ඔයාට ඕනෙනම්.”ඉතින් වැඩේ වල් උන තැන අපේ මැන්සුත් වෙන දියවන්නාවෙක් හම්බවෙන්න කියල දැන් යනවා නුවර පාර දිගේ.

ගිහින් ගිහින් ලුනුමිරිස්ගොඩ පහුවෙන්න  හම්බවුනේ නෑ.මෙන්න ඉන්නවා පොරක් ලනුවකුත් අතේ තියාගෙන.ලඟට ගියාම තමයි දැක්කේ කවුද මේ ඩයල් එක කියල.කෙලා හුටා.පිනචාර්ය ගැමුණු.ලියනවඩුගේ කකුල් දෙක වෙව්ලනවා,දුවන්න තිය මුවා වෙන්න ගසකුත් නැති වෙලාවේ.පින් ගැමුණු කතා කල ඔන්න යන්තම්.”හා හා උඹ බය වෙන්න එපා .උඹව බඳින්නේ නෑ.මම මේක මේ තියාගෙන ඉන්නේ ඉල්ලන කෙනෙකුට දෙන්න ඔනෙනෙම් බැඳගන්න කියල.උඹට ඕනෙද? අනේ අපොයි.ආචාර්යතුමෝ,මටනම් එපා.හා හා එපානම් කමක් නේ.මොකද මේ අල්ල පනල්ලේ කොහෙද යන්නේ කියපන්.ඉතින් ඇගට ලේ ටිකක් උනපු මෑන්ස් කතා කරලා කියනවා කාරණාව.ඉතින් මන්ත්‍රීතුමාගේ අදහස මොකද්ද මේ සීන් එක ගැන.”

පින් ගැමුණු උත්තර දෙනවා ඔන්න.”උඹ හිතනවද තව ආත්ම දෙක තුනකින් බුදුවෙන්න ඉන්න උත්තමයෙක් වැරදි වැඩක් කරයි කියල.නෑනේ.හැබැයි ඔන්න මේ ලුනුමිරිස්ගොඩ වැයික්කියේ ඔය වැඩේ නරකයි කියල එක එක නාඩගන් නටන්න අවොත් මම ආයේ හිතන්නේ නෑ මම තව ආත්ම දෙක තුනකින් නිවන් දකින්න ඉන්න මිනිහෙක් කියල.හරිය.ඕවට ඇවිත් ආපහු කියන්න එපා පින් ගැමුණු නරක මිනිහයි කියල.හරිය.පේනවනේ දැන් දළුගම ලොකු ඉස්කෝලේ එවුන්”.ලියනවඩු ෆුල් හොල්මන් දළුගම ලොකු ඉස්කෝලේ උන්ට මොකද උනේ කියල.මිනිහ හිමිහට අහනවා “හැබැටම එකේ මොකද උනේ.මේක උඹට හිතවත් හින්ද කියන්නේ,ලියන්නේ එහෙම නෑ හරිය.උන්ට ගහල වැඩක් නෑ ඕයි.තාම ඉස්ට්‍රයික් කරනවනේ.”කියවන ගමන් පින් ගැමුණු අහනවා,”මල්ලි දෙන්නද ලනුව බැඳ ගන්න?” ආයේ ලියනවඩු දෙවෙනි ප්‍රශ්නේ අහන්න හිටියේ නෑ.පණ එපා කියල දුවගෙන ගිහින් නැවතුනේ කැළණි පාලම උඩ හති අරින්න.

ටිකක් හති ඇරලා කල්පනා කෙරුවම,………මලා,දියවන්නාවේ ඇයන්ගෙන් අදහස් ගත්තා මිසක් ජහමනයෙක් හම්බ උනේ නෑනේ ඉතින්.හිතන් කොටම පාලම දිගේ එනවා ජහමනයෙක්.ඉතින් වැඩේ ඉවර කරගන්නත් එක්ක මෑන්ස් ජහමනය නවත්තගෙන හර බර විදියට ඇහුව ප්‍රශ්නේ.”ඔබ තුමා මොකද්ද හිතන්නේ මේ තරු වැටීම ගැන?” ජහමනයත් කල්පනා කරලා කරලා මෙහෙම කියනවා.

“එයා මහා නිලමේ තරගෙ පැරදුන හින්ද එයාගේ තරු ගැලවෙනවා.මුලන මැද නිලමේ පැරදුනානම් එයාගේ තරු ගැලවෙනවා.සංසාරේ…සංසාරේ..ඉවරයක් නෑ ඉතින්.කැරකෙනවා..කැරකෙනවා..”ඔන්න බලමුකෝ ඉතින් ජහමනයත් කියන දේවල් වල හැටි.ලියනවඩු අහනවා අන්තිම ෆයිනල් ප්‍රශ්නේ.”දැන් ඔය ගලවපු හතර කාටද දෙන්න ඉතින්?”

ජහමනයා ආයෙත් කල්පනා කරනවා.කරල කරල කරල කියනවා,”එකක් දෙමු පී කේ ට,තව දෙකක් දෙමු කරුනේටයි පිල්ලිටයි.” එතකොට තව එකක් ඉතුරුයිනේ?”ඒක ඔන්න ඔහේ පේන තැනකින් උඩ එල්ලලා තියන්න බැරිවයි.අපි කොහොමත් ජීවත් වෙන්නේ ඕක පෙනිපෙනිනේ .”

සදා සංවර්ධනය වෙමින්ම පවතිමුද?

පාසලේදී අප ලෝකයේ රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත රටවල් ලෙස දෙකකට බෙදා ඉගෙන ගත්තෙමු.එහිදී ශ්‍රී ලංකාව වැටුනේ සංවර්ධනය වෙමින් පවතින රටවල ගොඩටය.එයින් වසර ගණනකට පසු අද පාසල් දරුවන්ද එරට ඒ ගොඩටම දමමින් පාසලේ ඒ පාඩම උගනිති.හෙට දවසේ අපේ දරුවන්ටද මීට වෙනස් පාඩමක් උගන්වනු ඇතැයි විශ්වාසයක් ගොඩනගා ගැනීමේ හැකියාවක්ද දැනට පවතින්නේ නැත.මෙහිදී අප කාගේත් හිතට නැගෙන එක පැනයකි.මේ සංවර්ධනය වෙමින් පවතින යන්න සංවර්ධිත යන සීමාව පනින්නේ කවදාද?


මෙහිදී සංවර්ධනය මනින මිනුම් දඩුවලද අප වැනි රටවලට අවාසිදායක වන්නාවූ තත්වයන් ඇත.රටේ ජනතාවගේ ආර්ථික (එක පුද්ගල දළ ජාතික අදායම,දළ දේශීය නිෂ්පාදනය…) සහ සමාජයීය (අපේක්ෂිත ආයු කාලය,සාක්ෂරතාවය….)ආදී තත්වයන් ඇතැම් විටෙක සංවර්ධනයේ සාධාරණ නොවූ මිනුම්දඩු ලෙස පවතී.එක පුද්ගල දළ ජාතික ආදායම සැලකිල්ලට ගතහොත් අප වැනි රටක එය සංවර්ධිත රටවලට සාපේක්ෂව ඉතා අඩු මට්ටමක් විය හැකිය.නමුදු මෙහිදී එකම පාන් ගෙඩිය මිලදී ගැනීම සදහා චිකාගෝවේදී වැය කල යුතු මුදල සහ ගම්පහදී වැය කල යුතු මුදල අතර පවත්නා වෙනස සැලකිල්ලට ගන්නේ නැත.මෙහෙදී යම් නිර්ණායකයන් හදුන්වාදී ඇත්තේ එහි නිර්මාපකයන්ගේ සමාජය ලෝකයේ ඉහලට ඔසවාලීම සදහාද යන ගැටලුවද පවතී. කොයි  හැටි වෙතත් ඒ පිට ගිනි අමතක කර ගෙයි ගිනි මොනවාදැයි විමසීම වඩා වටී.


“සංවර්ධිත රටවල් යනු පුරවැසියන්ට නිදහස්ව සහ සෞඛ්‍ය සම්පන්නව ජීවත් විය හැකි ආරක්‍ෂිත රටකි.”මේ හිටපු එ.ජා.මහා ලේකම් කොෆී අනන් සංවර්ධිත රටවල් හදුන්වනයුරුය.වෙනත් ඇතැම් රටවල් දියුණුවට පත්වෙද්දී අප ඉහත හැදින්වීම් වලට අසුනොවී එකම තැන සිටගෙන සිටීමේ රහස කුමක්ද?අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නම් විය නොහැකිය.ඒ පැහැදිලිවම වෙනකක් නොව රටේ ඊළඟ  පරපුර (තම නෑ පරපුර නොවේ) ගැන කල්පනා කර දේශපාලනය කරන “රාජ්‍යතාන්ත්‍රිකයන්”වඳ වෙමින් ගොස් ඊළඟ ඡන්දය අරමුණු කොට දේශපාලනය කරන “දේශපාලුවන්”බෝ වීමේ වසංගතයයි.නානා විධ සුකුරුත්තන් මවා පෙන්වා අහිංසක රටවැසියා මුලා කරමින් මවන ඇහැට පෙන්වන සංවර්ධනය රටේ දියුණුව මවන සංකේතය ලෙස මවා පාමින් නටන දේශපාලන නාඩගම රට තවත් ණය කාරයෙක්  (මේ හම්බවෙන්නේ ආධාර කිව්වට ආධාර නොව ණයයි) කරමින් ඉදිරියට ඇදෙනු විනා මතුවට ලබාගත හැකි ජයග්‍රහණ අල්පය.රටේ පාරවල් සහ පාලම් හැදිය යුතු බවට විවාදයක් නැත.ප්‍රශ්නය වන්නේ මේ කල යුතු ප්‍රමුඛ හා එකම කාර්යය යන්නද යනුයි.


අර්නෙස්ටෝ චේගුවේරා මෙසේ පැවසීය. “සැබෑ විප්ලවයක් බිහිවන්නේ සැබෑ ආදරයක් තුලිනි”ඉඳින් රටට හා සමාජයට සැබෑ ආදරයක් ඇති පාලකයෙකු විසින් මේ රටේ නිෂ්පාදනය වැඩි කර ගැනීම උදෙසා ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් යටතේ ගන්නා වූ ක්‍රියාමාර්ගයක් එළඹෙන තුරු මේ සංදර්ශන රටවැසියා තවත් ණය උගුලක පටලනු විනා රටේ සැබෑ සංවර්ධන ක්‍රියාන්විතය ආරම්භ වන්නේ නැත.අත්‍යාවශ්‍යව තිබූ වරාය හැදීම වැනි ඇතැම් ක්‍රියා හැරුණු කොට දැනට සිදුකරන සංවර්ධනය යන ක්‍රියාවලිය සමාන කල හැක්කේ යම්  පුද්ගලයෙක් විශාල ණයක් ගෙන අලංකාර ගෙයක් හැදීමටයි.එතකොට ගේත් ලස්සනයි,නෝනත් ලස්සනයි,ණයත් ගෙවයි,හැබැයි මේකෙන් ආයෙත් අතට සල්ලි එන විදියක් නැත.අතට සල්ලි එන එකම විදිය ගේ කුලියට දීම හෝ විකිණීම පමණකි.


ඉතින් අවසාන වශයෙන් හදාගත්තු පැල කුලියට දීමට සිදු නොවෙන රටේ සැබෑ සංවර්ධන විප්ලවය ආරම්භ වෙන “අනාගත දවස”උදා වෙන තුරු හුදී ජනයා වශයෙන් අපි ලියුම් ලියමින් කැවුම්කමු.

පෙරවදන

අපි කවුරුත් තේ මණ්ඩි ගැනනම් දන්නවා. හොදයි ඉතින් රා මණ්ඩි ගැනත් දන්නවා කියමුකෝ. එත් මොනවද මේ සිතුවිලි මණ්ඩි ? ඔය කලින් කියපු දේවල් පාවිච්චියෙන් පසුත් අන්තිමට ඉතුරු වෙන දේවල්නෙ නේද? ඒ වගේම මමත් අහන,දකින,විඳින සේරම සිදුවීම් වලින් පස්සේ හිතේ ඉතුරු වෙන අදහස් වලට කියන්න හොදයි කියල හිතා ගත්ත “සිතුවිලි  මණ්ඩිය”.

ඉතින් කාලයක් තිස්සෙ අනික් බ්ලොග් වලට එක එක නම්වලින් කොමෙන්ටු කොට කොටා ඉන්න ගමන් මගේ හිතෙත් අදහසක් පහල වෙච්චි ලියන්න මගේම කියල බ්ලොග් එකක්.ටික කාලයක් කුරුවල් වෙවී තිබුන අරමුණ ඔන්න දැන් ඉටු කර ගන්නයි කාලෙ හරි වගේ.හැබැයි පටන් ගත්තු එකට දැන් මොනවහරි ලියන්නත් ඕනැනේ නේද?අපේ අවට සිදුවූන , වෙමින් පවතින සහ හෙට වෙන දේවල් වලින් එච්චර මාතෘකා ගණනක් හදල දෙන කොට ලියන්න දේවල් අඩුවක් වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ.එක නිසා වර්තමාන සමාජ නාටක විසින් අපේ හිතට නංවන මාජීය,දේශපාලනික අදහස් වගේම කලාව,සාහිත්‍යය,ක්‍රීඩාව මෙකී නොකී හැම අටමගලයක්ම හිතට දැනුන විදියට මේකෙ අකුරු කරල දාන්නම්.ඔය අතරෙ හිතේ “මණ්ඩි” වෙච්චි අතීත මතක සටහනුත් තියේවි.

වැඩේ පටන් අරන් දිගටම යන අදහස තමයි තියෙන්නෙ.එත් ඒක ප්‍රතිචාර වල හැටියට වෙනස් වෙන්නත් පුළුවන්.මල් නොවී ගල් ආවත් ඒක ලියන්නට පොඩි තල්ලුවක් දානවා.රස්සාවෙනුත් ගෙදර ඈයන්ගෙනුත් ඉස්පාසුවක් හම්බවෙන විදියට ලිවිල්ල කිරිල්ල තමයි  දැන් තියෙන්නෙ..

එහෙනම් ඕං ඒකත් කරල බලමු.