සදා සංවර්ධනය වෙමින්ම පවතිමුද?


පාසලේදී අප ලෝකයේ රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත රටවල් ලෙස දෙකකට බෙදා ඉගෙන ගත්තෙමු.එහිදී ශ්‍රී ලංකාව වැටුනේ සංවර්ධනය වෙමින් පවතින රටවල ගොඩටය.එයින් වසර ගණනකට පසු අද පාසල් දරුවන්ද එරට ඒ ගොඩටම දමමින් පාසලේ ඒ පාඩම උගනිති.හෙට දවසේ අපේ දරුවන්ටද මීට වෙනස් පාඩමක් උගන්වනු ඇතැයි විශ්වාසයක් ගොඩනගා ගැනීමේ හැකියාවක්ද දැනට පවතින්නේ නැත.මෙහිදී අප කාගේත් හිතට නැගෙන එක පැනයකි.මේ සංවර්ධනය වෙමින් පවතින යන්න සංවර්ධිත යන සීමාව පනින්නේ කවදාද?


මෙහිදී සංවර්ධනය මනින මිනුම් දඩුවලද අප වැනි රටවලට අවාසිදායක වන්නාවූ තත්වයන් ඇත.රටේ ජනතාවගේ ආර්ථික (එක පුද්ගල දළ ජාතික අදායම,දළ දේශීය නිෂ්පාදනය…) සහ සමාජයීය (අපේක්ෂිත ආයු කාලය,සාක්ෂරතාවය….)ආදී තත්වයන් ඇතැම් විටෙක සංවර්ධනයේ සාධාරණ නොවූ මිනුම්දඩු ලෙස පවතී.එක පුද්ගල දළ ජාතික ආදායම සැලකිල්ලට ගතහොත් අප වැනි රටක එය සංවර්ධිත රටවලට සාපේක්ෂව ඉතා අඩු මට්ටමක් විය හැකිය.නමුදු මෙහිදී එකම පාන් ගෙඩිය මිලදී ගැනීම සදහා චිකාගෝවේදී වැය කල යුතු මුදල සහ ගම්පහදී වැය කල යුතු මුදල අතර පවත්නා වෙනස සැලකිල්ලට ගන්නේ නැත.මෙහෙදී යම් නිර්ණායකයන් හදුන්වාදී ඇත්තේ එහි නිර්මාපකයන්ගේ සමාජය ලෝකයේ ඉහලට ඔසවාලීම සදහාද යන ගැටලුවද පවතී. කොයි  හැටි වෙතත් ඒ පිට ගිනි අමතක කර ගෙයි ගිනි මොනවාදැයි විමසීම වඩා වටී.


“සංවර්ධිත රටවල් යනු පුරවැසියන්ට නිදහස්ව සහ සෞඛ්‍ය සම්පන්නව ජීවත් විය හැකි ආරක්‍ෂිත රටකි.”මේ හිටපු එ.ජා.මහා ලේකම් කොෆී අනන් සංවර්ධිත රටවල් හදුන්වනයුරුය.වෙනත් ඇතැම් රටවල් දියුණුවට පත්වෙද්දී අප ඉහත හැදින්වීම් වලට අසුනොවී එකම තැන සිටගෙන සිටීමේ රහස කුමක්ද?අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නම් විය නොහැකිය.ඒ පැහැදිලිවම වෙනකක් නොව රටේ ඊළඟ  පරපුර (තම නෑ පරපුර නොවේ) ගැන කල්පනා කර දේශපාලනය කරන “රාජ්‍යතාන්ත්‍රිකයන්”වඳ වෙමින් ගොස් ඊළඟ ඡන්දය අරමුණු කොට දේශපාලනය කරන “දේශපාලුවන්”බෝ වීමේ වසංගතයයි.නානා විධ සුකුරුත්තන් මවා පෙන්වා අහිංසක රටවැසියා මුලා කරමින් මවන ඇහැට පෙන්වන සංවර්ධනය රටේ දියුණුව මවන සංකේතය ලෙස මවා පාමින් නටන දේශපාලන නාඩගම රට තවත් ණය කාරයෙක්  (මේ හම්බවෙන්නේ ආධාර කිව්වට ආධාර නොව ණයයි) කරමින් ඉදිරියට ඇදෙනු විනා මතුවට ලබාගත හැකි ජයග්‍රහණ අල්පය.රටේ පාරවල් සහ පාලම් හැදිය යුතු බවට විවාදයක් නැත.ප්‍රශ්නය වන්නේ මේ කල යුතු ප්‍රමුඛ හා එකම කාර්යය යන්නද යනුයි.


අර්නෙස්ටෝ චේගුවේරා මෙසේ පැවසීය. “සැබෑ විප්ලවයක් බිහිවන්නේ සැබෑ ආදරයක් තුලිනි”ඉඳින් රටට හා සමාජයට සැබෑ ආදරයක් ඇති පාලකයෙකු විසින් මේ රටේ නිෂ්පාදනය වැඩි කර ගැනීම උදෙසා ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් යටතේ ගන්නා වූ ක්‍රියාමාර්ගයක් එළඹෙන තුරු මේ සංදර්ශන රටවැසියා තවත් ණය උගුලක පටලනු විනා රටේ සැබෑ සංවර්ධන ක්‍රියාන්විතය ආරම්භ වන්නේ නැත.අත්‍යාවශ්‍යව තිබූ වරාය හැදීම වැනි ඇතැම් ක්‍රියා හැරුණු කොට දැනට සිදුකරන සංවර්ධනය යන ක්‍රියාවලිය සමාන කල හැක්කේ යම්  පුද්ගලයෙක් විශාල ණයක් ගෙන අලංකාර ගෙයක් හැදීමටයි.එතකොට ගේත් ලස්සනයි,නෝනත් ලස්සනයි,ණයත් ගෙවයි,හැබැයි මේකෙන් ආයෙත් අතට සල්ලි එන විදියක් නැත.අතට සල්ලි එන එකම විදිය ගේ කුලියට දීම හෝ විකිණීම පමණකි.


ඉතින් අවසාන වශයෙන් හදාගත්තු පැල කුලියට දීමට සිදු නොවෙන රටේ සැබෑ සංවර්ධන විප්ලවය ආරම්භ වෙන “අනාගත දවස”උදා වෙන තුරු හුදී ජනයා වශයෙන් අපි ලියුම් ලියමින් කැවුම්කමු.

Advertisements

ගල්ද මල්ද සමසිතින් පිළිගනිමී. වාරණ නොමැත.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )