මග හොඳට තිබේනම්,යන්න දෑසත් පෙනේනම්….

හැමදාමත් වගේ තකහනියක් මම දුවමින් හිටියා.මහව කෝච්චිය වැරදුනොත් වෙලාවට කන්තෝරුවට යනවා බොරු ආයෙත්.පාර දිගේ දුවන,දුවනවා වගේ ඇවිදින දහසක් සේනාව අතරේ මම අහම්බෙන් දැක්කේ මධුරව.අවුරුදු ගානකට පස්සේ දැකපු යාලුවෙක් එක්ක කතා කිරීමේ ලොකු උවමනාවක්,එත් එක්කම පහුගිය අවුරුදුවල මේ යාළුවා ගැන දැකපු,අහපු කතා නිසා කතා කිරීමේ දෙගිඩියාවකුත් මැද්දේ හිර වෙච්චි වෙලාවේ මධුරම මගේ දෙගිඩියාව නැති කෙරුවා.ඒ මාව දැක්ක ගමන්ම ලඟට ඇවිත් කතා කරලා.ආගිය විස්තර මොනවත් අහන්නේ නැතුවම “මචන් රුපියල් සීයක් ගන්න තියනවද?”,ඔන්න එච්චරයි.

ඒ ඉස්කෝලේ කාලේ හරිම උනන්දුවෙන් ඉස්කෝලේ වැඩ කරමින් හිටිය,සමස්ත ලංකා තරග වලින් දුවලා ඉස්කෝලේ දිනවපු,ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක් වෙච්චි,අද වෙනකොට සමාජයේ ලොකු ඉහල තැනක හිඳීවි කියලා ඒ කාලේ අපි කල්පනා කරපු මධුර වෙන කතාවක් නැතුව රුපියල් සීයක් විතරක් ඉල්ලනවා.සල්ලි හම්බවුන ගමන් මධුර සෙනඟ අතරේ තත්පර ගානකින් නොපෙනී ගියා.මට කියලා ගියේ “පස්සේ හම්බවෙමු මචන්” කියලා විතරයි.

ස්ලෝ ට්‍රේන් එක පැය ගානක් නවත්ත නවත්ත කොළඹ යනකම්ම මට කල්පනා වුනේම අපේ මධුර එක්ක තිබුණු අතීත යාළුකම.එක ඉස්කෝලේ ඉගෙන ගත්තත් මධුර එක්ක අපේ පුංචි පන්තිවල ඉන්න කාලේ ලොකු ඇගෑළුම්කමක් තිබුනේ නෑ.එත් ඒ ලෙවෙල් කරන කාලේ යාලුවෙක් විදියට හුඟක් අපිත් එක්ක ලංවුනා.අපි තැබෑරුමට වැදිලා බොන හැමදාම අපිත් එක්ක එනවා.බොන්න නෙවෙයි යාළුකම හින්දා.ඇවිත් සෝඩා බිබී ඉන්නවා.හිමිහිට සින්දු කියනවා.හොඳට සින්දු කියන්න පුළුවන් හොඳ හඬක් තිබුන මනුස්සයෙක්.අනාගතයේදී සින්දු කියන්න පුළුවන් ඉංජිනේරුවෙක් වෙයිනෙ.

ඉස්කෝල ගමන ඉවර උනා.ඉන් ටික කාලෙකට පස්සේ වෙන වෙන දහසක් වැඩවලට සේරම යාලුවන්ට හිරවෙන්න වෙලා.රස්සාවල් කරන්න,රස්සාවල් හොයන්න,කැම්පස් යනකම් මොනවා හරි කරන්න,ඉගෙන ගන්න.ඔය අතරේ මධුර අතුරුදහන් වෙලා.කිසි කෙනෙක් දන්නේ නෑ මොනවා උනාද කියලා.කෙනෙක් ආරංචියක් ගෙනාවා “ඌ කුඩ්ඩෝ ටිකක් එක්ක සෙට් වෙලා”
“පිස්සුද හලෝ,එහෙම විනාස වෙන්න තරමටම ඔලුවේ අමාරුවක් තියනවද මූට”
තවත් ටික දවසකින් තවත් ඔත්තුවක්.”මධුර රට ගිහිල්ල කියන්නේ”.ඒකනම් ඇත්ත වෙන්න ඇති.නැත්නම් මේ පුංචි රටේ කවදා හරි අපි කාට හරි මේ මනුස්සයා හම්බ වෙන්නේ ඕනැනේ.

තවත් අවුරුද්දකින් විතර ඔන්න මට මධුරව දවසක් හම්බවුනා කෝච්චියේදී.තව කෙල්ලෙකුත් එක්ක.”මචන් මේ තමයි වරුණි”
“රට ගිහින් හිටියා කියලා ආරංචි වුනා”
“ආ ….ඔව් ටික දවසක් හිටියා.පොඩි අවුලක් වෙලා ආපහු ආවනේ.”
අර ගෑනු ළමය ඉස්සරහ ඒ ගැනවත්,කලින් හිටපු අච්චර හොඳ කෙල්ල කෝ කියලවත් අහන්න බැනේ.එක හින්ද මම ටෙලිෆෝන් නොම්මරේ විතරක් ඉල්ලගෙන කෝච්චියෙන් බැහැල ගියා.ගෙදර ගිහින් පස්සේ කෝල් එකක් දුන්න.බැලින්නම් කොහේදෝ රටකට ගිහින්,වැඩ කරපු තැන මිනිහෙකුට ගහලා,ඩිපෝට් කරලා.මට හරිම ප්‍රශ්නයක්.හරිම සන්සුන්ව හිටිය  මනුස්සයෙක් දැන් කරන දේවල්.

ඉන් පස්සේ දෙවෙනි වතාවට අතුරුදහන් වෙච්චි මධුර තවත් කාලෙකින් මට හම්බ උනේ අහම්බෙන් පාරේදී.තවත් වෙනස්කම් ගණනාවක් එක්ක.ඇගෙන් වගේම කල්පනා කරන විදියෙන්.රස්සාවක් කරන්නෙත් නෑ.දෙමාපියන්ට තවමත් බරක් වෙමින් ජීවත් වෙනවා.ඒ වතාවෙනම් මම හරියටම දැනගත්තා මධුර කුඩු ගහන්න පටන් අරන් කියලා.එදත් මට හිතාගන්න බෑ අපි ඉස්සර දැනගෙන හිටපු මනුස්සයා මේ තරමට වෙනස් වෙන්න හේතුව මොකද්ද කියන එක.එත් උපදෙස් දීම පලක් නැති බව තේරුන නිසා මම අවවාද දෙන්න හැදුවේ නෑ.හැබැයි මට ටවුමේ නගරන්කාරයන් අඳුනාගෙන හිඳීමේ වැදගත්කම ගැන දේශනයක්නම් ලැබුනා.වාද කිරීමෙන් ලැබෙන දෙයක් එවෙලේ නොතිබුන නිසාම මම එක අහගෙන ඉඳල යන්න ගියා.

මේ හම්බවීමෙන් පස්සේ උනත් ඉස්සර වගේ ලොකු යාළුකමක් ආයේ හැදුනේ නෑ.පරණ යාලුවෙක් වලේ ඉන්න එක ගැන හිත හදාගන්න බැරි අපි කීප පාරක් මධුරට පාර පෙන්නන්න උත්සහ කෙරුවා.බලෙන්ම එක්කගෙන ගිහින් පුනරුත්ථාපන මද්‍යස්ථානයකට දැම්ම.කොයි දේ කලත් වැඩක් නොවිච්චි තැනත් ඒක අපිටත් අවැඩක් වෙන්න පටන් ගත්තු තැනත් හිතේ කණගාටුවෙන් අපිට ඔය උත්සාහයන් අතැරලා දාන්නයි සිද්ධවුනේ.

කොයි හැටි වෙතත් වරුණි මධුරව අතඇරලා දාල තිබුනේ නෑ.කවදා හරි දවසක හරියාවි කියන හීනෙන් තවමත් ජීවත් වෙමින් හිටියා.ඒ හීනය හැබෑවටම හීනයක් විතරයි කියලා තේරුම් ගන්න කොට මධුරව කසාද බැඳලා හිටපු වරුණිට මාස ගණනක දරුවෙකුත්.තමන්ගේ හැම දෙයක්ම කැප කරගෙන,ආදරය හින්දම ඒ හීනේ ජීවත් වුන වරුණිට ඉතිරි උන එකම විකල්පෙ දරුවත් අරගෙන දික්කසාදවෙලා යන එක විතරයි.ඉස්සර යාලුකම හින්දම ඈතින් ඉඳන් දුක් වෙමින් හිටිය අපිටත් එතනින් එහාට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ.

මේ කාලෙන් පස්සේ මධුර තුන්වැනි සැරේටත් අතුරුදහන් වෙලා හිටියා.ඒ අතුරුදහන් වීම අවසානයේදී තමයි මගෙන් රුපියල් සීයක් ඉල්ලගෙන ගියේ.ඒ සල්ලිත් මිට මොලවාගෙන අර සෙනග කන්දරාව මැද්දේ අතුරුදහන්වුන මධුර ආයේ කවදා හරි දවසක අපිට හම්බවේවි සමහරවිට.බාග වෙලාවට ඔය හම්බුන අන්තිම වතාව වෙන්නත් පුළුවන්.එහෙම හම්බවුනොත් ඒ කොයි විදියකින්ද කියන එකනම් කාටවත් හිතාගන්න බෑ.

ඒ දක්ෂ පාසල් ශිෂ්‍යයා මේ තත්වෙට පත්වුණා එක කාගේ වැරද්දක්ද මන්දා.අපිටත් යාළුවන් විදියට මුලදීම වැඩිපුර මැදිහත් වීමක් කරලා මේ ගමන වෙනස් කර ගන්න තිබුන කියලත් නොහිතෙනවාම නෙමෙයි.කොයි හැටි වෙතත් ඒ අතීතය වර්තමානයට ගේන්න බෑ.අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ සාමාන්‍ය රජයේ සේවකයෝ විදියට ,එකම දරුවා ගැන බලාපොරොත්තු කන්දක් තියාගෙන ජීවත් වුන මධුරගේ දෙමවුපියොත්, වරුණි එක්ක දරුවත් හිස් ජීවිත වලට උරුමකම් කියන මිනිස්සු වීම.ඒ පුංචි දරුවා ලොකුමහත් කරගන්න වරුණිට ලොකු ආයාසයක් දරන්න වේවි.ඒ වගේම රටට වටිනා මිනිහෙක් වෙන්න හිටපු චරිතයක් රටට බරක් වෙච්චි හිස් නිකමෙක් වුන එක.ආයේ කවදාවත් හදාගන්න බැරි මේ වැරදි කොතනින්,මොකක් හින්ද පටන් ගත්තද කියලා මං තවත් කල්පනාකරනවා.

අරුම පුදුම සෙනෙහෙ කොලේ

මේකනම් වැඩිය දිග නැති පුංචි කතාවක්.කතාව පුංචි හින්දා වැඩියම වටේ යන්නේ නැතුව කෙලින්ම කතාව කියන්න පටන් ගන්නම්කො.

අපි ඉතින් තෘතීයික අධ්‍යාපනය ලබන කාලේ නැවතිලා හිටියේ ඒ පළාතේ තිබුන බෝඩිමක තමයි.අවුරුද්දකින් විතර තමයි හොස්ටල් එකට යන්න හම්බවුනේ.ඔය පළාතේ සාමාන්‍යයෙන් කාන්තා ගහනය වැඩි පලාතක්.ඒ මොකද කියනවනම් රස්සාවල් කරන්න ලංකාවේ හතරදික්බාගෙන්ම ඔහෙට ඇවිත් නැවතිලා රස්සාවල් කරනවා නොවැ.ඉතින් උනන්දුවක්,උවමනාවක්,කැපවීමක් තියනවනම් ඔය ඈයන්ගෙන් කෙනෙක් දෙන්නෙක් ආදරේ කරන්න හොයා ගන්න එක අමාරු නෑ.ඇයි ඉතින් ඕනෙම මොඩල් එකකින් ඉන්නවා නොවැ හෝ ගාල.

ඔන්න අපි හිටපු බෝඩිමේ ඉන්නේ අපේ බැච් එකේ 5 කුයි අපිට ඉහල බැච් එකක 5 ක්,6 ක් විතර කාණ්ඩෙකුයි තමයි.ඔය කාණ්ඩෙ අපි එක්ක සෑහෙන්න හිත හොඳයි ඉහල බැච් එකක උනත්.ඔය හවසට එහෙම රා ඩිංගිත්තක් හෙම පානය කරලා එන්න එකට නොවැ යන්නේ ඒ කාලේ.ඔයින් එක්කෙනෙකුට අපි කියමුකෝ “පබිලිස් “කියල.මිනිහනම් හතර රියන් වෙච්චි  අර නිකන් රාමනායක වගේ නළු බට්ටෙක් තමයි.ඒ කාලේ බදිනවාමයි කියලා ප්‍රේම කරපු ගෑනු දැරිවියෝ කීප පොළක්ම හිටියා. තව කෙනෙක් තමයි “අබ්‍ර කඩබ්‍රා පූකස් පූකස්”.ඔච්චර දිග නමක් ඉතින් කියන එක අමාරු නිසා ලේසියට පහසුවට ප්‍රසිද්ධියට පත් වෙලා හිටියේ “අබ්‍රා” කියලා.අබ්‍රා නම් එච්චර උසත් නැති,මහතත් නැති හාල්මස්සෙකුට වඩා ඩිංගීත්තක් මහත දෙහෙත හාදයෙක් තමයි.අබ්‍රාගේ ඒ දවස්වල ආදර්ශ පාඨය තමයි “බඩුනම් බස් වැනිය,එකක් මිස් වුනොත් අනෙකේ යා හැකිය.”හැබැයි ඒ සම්මජ්ජාතියේනම් අබ්‍රාට අර අනික් බස් එකනම් හම්බ උනේ නෑ.

ඔන්න දවසක් අබ්‍රයි පබිලිසුයි කොහේ හරි ගිහින් ගොම්මන් යාමේ බෝඩිමට එමින් ගමන හිත ගිය ගැටිස්සියෝ දෙන්නෙක් දැකලා තිබුනා.දැක්කනම් මොකද පොඩි කතා බහක් එහෙමත් දාලයි දැන් මේ ඇවිත් තියෙන්නේ.කොහොමත් ඔය පබිලිස් ගැටීස්සියන්ට කොකම් පාන්න හෙම දස්සයි.කොහොමින් කොහොම හරි දැන් දවස් කීපයක්ම මේ ඩබල හවසට යනවා,අර හිත ගිය ගෑනු දැරිවියෝ දෙන්නා බලල එන්න.අපිත් ඉතින් ආපහු ආවම අහනවා දවසේ ප්‍රගති සමාලෝචනය කොහොමද කියලා.මේ හාදයෝ කියන්නේනම් දැන්නම් ඉතින් වැටුන නොවැටුන ගානයි කියලා තමයි.හැබැයි ඔය සැදෑ සවාරිය යනවා දැකපු වෙන යාලුවෙක්නම් කිව්වේ කෙල්ලෝ දෙන්නා පාර ඉස්සරහින් යනවා,අබ්‍රයි පබිලිසුයි පස්සෙන් යනවා ,ඔය මැද්දෙන් ලේලන්ඩ් බස් එකක් උනත් යන්න ඉඩ තියනවා කියලා.

සතියකට දෙකකට පස්සේ හවසක දෙන්නා තෙලේ බැද්ද පපඩම වගේ හිනා වේගන එනවා මෙන්න බෝඩිමට.ඇවිත් අපි කට්ටියටම අඬ ගහගත්තා.බැලින්නම් මේ දෙන්නට ආදර හසුනක් දීල නොවැ අර බාලිකාවෝ දෙන්නා.කට්ටිය වටකරගෙන හරි උජාරුවට දැන් අබ්‍රා ලියුම කියවන්න පටන් ගත්තා.
“නම නොදන්නා අයියලා දෙන්නා වෙත ලියමු”

පුහ්,බලහල්ලකෝ පටන් අරන් තියන ලස්සන.එක හිනා කටයි දෙන්නගේ.අපි බලන් ඉන්නවා මේ පැණි බේරෙන ලියුමේ තියන ඒවා දැනගන්න.හැබැයි ඔන්න ඊ ළඟ තත්පරෙන් අබ්‍රා ලියුම අකුලලා හංග  ගත්තා.”මේක අපි බලල පස්සේ කියන්නම්” කියලා.යකෝ දැන් මේක හරි කෙළියක්නේ,අපිට එන්න කියල මේක දැන් හංග ගන්නේ.දැන් කීප දෙනෙක් පැනලා පොරකාල අදාල ගනිපි ලියුම් කරදහිය.අරගෙන කියවනවා මේ ආදර හසුන.

නම නොදන්නා අයියලා දෙන්නා වෙත ලියමු.
අනේ බොල සෙවලයෝ,බොලා වගේ උන් නැතුවට අපිට ඉන්නවා රටක් වටිනා කොල්ලෝ දෙන්නෙක්.හරියට මෙතන හතර රියන් සහ දෙරියන් වගේ එනවා කෙල්ලන්ට බැල්ම දාන්න………………………………………………….

සේරමනම් මතක නෑ , ඔන්න ඔහොම තව දිගටම තිබුන පෙම් පණිවිඩයක් නොවැ ලැබුනේ.දැන්නම් ඉතින් මේ දෙන්නම නැව් නැගලා ලෝකේ වටේ යනවා නොවැ රස්සාවට.අබ්‍රාටනම් අර අනික් බස් එක වෙන රටකින්වත් අල්ල ගන්න බැරිවෙලා තාම.

ටේලර් සාප්පුවෙන් ධාන්‍යාගාරයට

අවුරුදු දහයකට පමණ පෙර උතුරු මැද පළාත් පාලන මැතිවරණ වේදිකාවයි.සන්ධානයේ අපේක්ෂක කථිකයා යුඇන්පීය පට්ට ගසමින් කතාවක් පවත්වයි.”යුඇන්පීය හදන්නේ අපේ රට කාර්මික රටක් කරන්න.අපි කවදාවත් ඒකට ඉඩ දෙන්නේ නෑ.අපි අපේ රට කෘෂිකාර්මික රටක් කරනවා.”ඒ සන්ධාන අපේක්ෂකයානම් දැනගෙන නොසිටියාට බොහෝ ලක්වාසීන් ලංකාවේ බොහෝ කාලයක සිට කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක්ව පැවති බව දන්නවා ඇත.පෙරදිගටම බත සැපයු ධාන්‍යගාරයක්ව පැවති බවද දන්නවා ඇත.ඒ කර්මාන්තය උදෙසාම වාරිමාර්ග තැනීමේ විස්මිත තාක්ෂණයක් සතුව පැවති බවද දන්නවා ඇත.එපමණටම…අද දවසේ ගොවියා වී විකුණා ගැනීමට නොහැකිව සහ ණය ගෙවා ගැනීමට නොහැකිව වහබී මැරෙද්දී හාල් නැව් පිටින් ආනයනය කරන බවත් දන්නවා ඇත.

එදා ඒ පෙරදිගට බත සැපයු රට අද ප්‍රකටව ඇත්තේ බටහිරට ඇඳුම් සපයන ටේලර් සාප්පුවක් ලෙසටයි.එදා මෙදා තුරදී රටේ පාලකයන් වූ කොට්ඨාශවල දක්ෂතාවය නිසාම අද අපේ රටට,රටට ප්‍රමාණවත් තරම් බත සපයා ගැනීමේ හැකියාවත් අහිමිවෙලා.ඒ වෙනුවට හිමිවෙලා තියෙන්නේ GSP+ හම්බවුනේ නෑ කියා හඩාවැටීමේ හැකියාව.77 න් පසු බිහිවූ කෘෂිකර්මාන්තය පිලිබඳ කිසිදු දැක්මකින් තොරවූ අමාත්‍යාංශ හිමි ආණ්ඩු යටතේ මේ තත්වයට රට පත්වීම එක අතකින් පුදුම විය යුතු කාරණාවක්ද නොවෙයි.

රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස ප්‍රකාශ කලේ රටේ සහල් අවශ්‍යතා සම්පූර්ණ වී ඇති බැවින් බස්නාහිර පළාතේ කුඹුරු ගොඩ කර වෙනත් සංවර්ධන වැඩ වලට යොදා ගතයුතු බවයි.ඒ ගල් ඔය ව්‍යාපාරය වැනි ව්‍යාපෘතීන් හරහා හරිත විප්ලවයට උරදුන් සේනානායකලාගේ පක්ෂයේ වත්මන් පුරුක් වැවිල්ල ගැන කල්පනා කරන අපූරුවයි. අපි වවමු රට නගමු කියමින් ආණ්ඩු කරන වර්තමාන ආණ්ඩුව යටතේද කෘෂිකර්මාන්තයේ දියුණුවක් පෙනෙන්නේ නැත.හිසරදේට කොට්ටය මාරුකරනවා මෙන් ඒ සිරිපාලගෙන් මේ සිරිපාලට සුහඳ මාරු ලබා දීම පමණක් වගාවේ දියුණුවක් ලබා දෙන්නේ නැත.යුද්ධ ජයග්‍රහණයට අයිතිකාරයන් දහස් ගණනක් හිටියත්,රටේ වෙනත් කිසිම වැඩපිළිවෙලකට කිසිදු අයිතිකාරයෙක් නැති වී තිබේ.සියරට දේ සිරිසැප දිය යුත්තේ ෆුඩ් සිටියට සහ වෑගපිටියට පමණක්ම නොවේ.සිරි සැප දෙන සියරට දේ වගා කර ගැනීමේ සහ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ලබාදීමේ ප්‍රතිපත්තියකුයි ආරම්භ කලයුතු වන්නේ.

මේ රටේ පුරන්ව යන කුඹුරු අක්කර ගණන දසදහස් ගණනක්.විනාශ වෙමින් පවතින කුඩා පරිමාණයේ වැව් අමුණුත් විශාල ප්‍රමාණයක්.මෙවැනි වැව් අමුණු පිළිසකර කරන වැඩපිළිවෙලක් 2005 න් පසු සන්ධාන ආණ්ඩුවෙන්  ඇරඹුවත් අද එය අතහැර දමා තියෙන්නේ ඒ සංකල්පයේ රටට අනුචිත කමකට වඩා සංකල්පයේ අයිතිකාරයන් හා ආණ්ඩුවේ පවතින විරසකය නිසාත් විය හැකියි.ගම්පහ යාගොඩ ප්‍රදේශයේ අතිවිශාල පුරන්ව පවතින කුඹුරු යායකි.මෙය වගා කල නොහැකිව පවතින්නේ සාමාන්‍ය වැස්සකටත් පසු මුළු කුඹුරු යායම වතුරින් යටවී යන නිසයි. වැසි වතුර බැසයාම පාලනය කිරීමේ සැලසුමක් සකස් කල හැකිනම් මෙම අතිවිශාල ගොවිබිම විසින් රටට බත සපයන ප්‍රමාණයට තව දුරකින් දායක වනු ඇති.නමුත් මැති ඇමතින්ට අවුරුද්දේ එක දවසක් පමණක් මඩේ බැස නගුල පස්සේ යාමේ උත්සවයට වියදම් කරන ධනය,කාලය සහ සැලසුම් මෙවැනි අනාගතයට ඵලදායී වන කාර්යයකට යොමු කිරීමට කිසිදු ඇමැත්තෙක්  ඉදිරිපත් වන්නේ නැත.

පවත්නා ආණ්ඩුවල බලධාරීන් බලය පවත්වාගැනීමට සහ වැඩිකරගනීමට යොදන ශක්තිය රට සංවර්ධනයේ සැබෑ මූලයන් හඳුනාගෙන එවැනි ස්ථානවලට යොදන තුරු ලාංකිකයන්ට සිදුවන්නේ “ලක්ෂ්මී බායි” කියනා ආකාරයට පිටරට සහල් නැව එනතුරා මුහුදට දත නියවාගෙන බලා හිඳීමටයි.ඒ පමණක් නොව වසර දහසකට එපිට තාක්ෂණයට වඩා දුප්පත් වාරි තාක්ෂණයකට හිමිකම් කියනා රටට  පිටරට වාරි විශේෂඥයින් පැමිණ වැව් අමුණු සැලසුම්කර දෙනතුරු බලා සිටීමටයි.

77 න් පසු ආණ්ඩු යටතේ සිදුවුයේ වී ගොවියාට බිත්තර වී පවා නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව අහිමි වීමයි.අද රටේ බිත්තර වී අලෙවිය තනිකරම CIC සමාගම සතු ඒකාධිකාරයක්.සමාගම අලෙවි කරන බිත්තර වී වලින් නැවත බිත්තර වී නිෂ්පාදනය කර ගත නොහැකියි.කෘෂි උපකරණ සහ පලිබෝධනාශක පවා ගොවියාට විකිණීමේ අයිතියෙන් වැඩි කොටසක් හිමිකරගෙන සිටින මේ සමාගම,මොනර කොළ දුටුවිට තමන් කරන්නේ කුමක්ද යන්න අනවබෝධ වන්නාවූ දුක්ගන්නාරාලලා වැනි කලාකරුවන් ලවා “ගොවි ගීත” නිර්මාණය කරමින් රටේ ඇස වසමින් සිටියි.කෘෂි බලධාරීන්ද මේවාට තවත් උල්පන්දම් දෙනු විනා මේ ඒකාධිකාරයන්ගෙන් ගොවියා බේරා ගැනීමේ යාන්ත්‍රණයක් සැදීමට අසමත්වයි  සිටින්නේ.

යහපත් දැක්මක් යටතේ නැවත  දෙපයින් සිටුවා ගත හැකි කර්මාන්තයක්,යලි ගොඩනැගූ “සුභ අනාගතයක්”ඉදිරි දිනෙයක උදා වුවහොත් GSP+ හිඟමින් ලෝකයට වැඳ වැටිය යුතු නොවේ.කෝටා නිසා දුවන ටේලර් සාප්පු වෙනුවට අතිරික්ත කෘෂි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත වලින් ඒ රැකියා නියුක්තිකයන් හට ජීවනෝපාය සකසා දීමේ හැකියාව තිබේ.ඒ හැකියාව උදා කිරීමේ වගකීම තව දුරටත් දරනුයේ ජනතාව නොවේ.මන්ද අද දේශපාලනයේ සාමාන්‍ය මහජනතාවට හිමි බලයක් නොමැති බැවිනි.දත් දෙතිසත් නිය විස්සත් යොදාගෙන කරගෙන යන බල සටනින් මතු යම් දිනයක තම බල අවශ්‍යතා සංතෘප්ත වූ අවදියෙක හෝ බලධාරීන් මෙවැනි අනාගතය ගොඩනැගීමේ ක්‍රියාමාර්ගවලට එළඹෙනු ඇතැයි බලා සිටිනු විනා පොදු ජනයාට කල හැකි අනෙකක් නැත.

වාසු පබා-අපි සේරම නාන්නේ එක ලිඳෙන්.

වාසුදේව මහත්තයා ඉතිහාසගතවෙන විප්ලවීය ප්‍රකාශයක් කෙරුවා පහුගිය දවසක.එතුමා කියන්නේ 18 වැනි සංශෝධනයට පක්ෂව තමන්  අත උස්සන්න තීරණය කළා කියලා.ඒ විතරක් නෙවෙයි තමන් ඒ සංශෝධනයට විරුද්ධයි,ඒකට විරුද්ධව දිගටම සටන් කරනවා කියලත් කියනවා.දැන් ඔන්න බලන් ඉන්න අපේ උතුර දකුණ මාරු වෙලා තියෙන්නේ.මේ අහවල එකට පක්ෂව අත උස්සන ගමන්ම ඒකට විරුද්ධව සටන් කිරීම.බාග විට අපේ  වගේ මොළවලට නොතේරෙන ලොකු තේරුමක් ඔය ප්‍රකාශයේ තියනවද දන්නේ නෑ.වාසුදේව මහත්තයා සමහරවිට රත්නපුරා වලව්වේ, වෙන මිනිස්සු කියවයි කියන බයට හංගාගෙන ඉන්න පුස්තකාලයේ තියන මාක්ස්වාදී පොත් පත් වල ඔය ක්‍රියාවලිය විස්තර කරලා ඇති.

හැබැයි අපේ මෝඩ මොලේටනම් වැටහෙන්නේ මේක රනිල් උන්නැහේ පරද්දන්න හිතාගන උන්නැහේටම කතිරේ ගැහුවා වගේ වැඩක් කියලයි.අර කාලෙකට ඉස්සර තිබුන ගම්සභා චන්දෙකට ඉල්ලපු අපේක්ෂකයෙක් ගමේ මිනිස්සුන්ට කියා කියා ගියාලු තමන්ට කැමතිනම් තමන්ගේ ලකුණ ඉස්සරහින් හරියක් දාන්න,අකමැතිනම් කතිරයක් ගහන්න කියල.අන්න ඒ වගේ කවුරු හරි වාසුදේව මහත්තයට කිව්වද දන්නේ නෑ 18 ට අකමැතිනම් පක්ෂව අත උස්සන්න කියලා.

වාසුදේව මහත්තයානම් මදැයි,පබා කුමාරි නෝනා මහත්තයත් දැන් 18 ට අත උස්සනවා නොවැ.අර සමන්මලී 17 වැනි සංශෝධනේ ගැන අහද්දී එල්ලෙන්න වැලක් නැතිව අනාත වෙච්චි පබා නෝනා මේ ටික දවසට ලබාගෙන තියෙන්නේ මහා දැනුම් සම්භාරයක්නේ දේශපාලනය ගැන.කොච්චර ඉක්මනට මේ දැනුම ලබාගත්තද කියනවනම් උදේ යු ඇන් පී කාරයෝ එක්ක කලුපාට ඇඳගෙන මොකද්ද කරපු බොරුවකට සම්බන්ධවෙලා,ටිකකින් මෙන්න අරලියගහ මන්දිරේ මහින්ද මහත්තයත් එක්ක කතාව.දැන්නම් පබාට බය නැතුව 360 ට යන්න පුළුවන්.ආයේ  ඉතින් ඔය බර ප්‍රශ්න අහන එකක්යැ.අර ටෙලිය කොහොමද,මහත්තයා හොඳයිද,හෙට මොකද කරන්නේ,ඔන්න ඔයවගේ උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නනේ අහන්නේ.

දැන් ඉතින් අපිට හිතෙන දේ මේකයි.17 ගැන දන්නේ නැතුව 18 ට අත උස්සන දේශපාලන කරලියේ තාම දනගාන පබායි,වමේ පොල්මන්කාරයෝ කියලා හිතාගෙන ඉන්න,දශක ගණන් දේශපාලන පොර පිටියේ පොර අල්ලලාම ඉහ නිකට පැහිච්ච ,18 ට විරුද්ධ නිසා 18 ට අත උස්සන වාසුදේවයි අතරේ තියන වෙනස මොකද්ද?බලාගෙන යද්දී වෙනසක් හොයාගන්න බැරි තරම් නේද.ඉතින් වාසුදේව මහත්තයා දැන් ඇන්. ඇම්,කොල්වින්,චාවේස්,කැස්ත්‍රෝ එක්ක එක පෙලට හිටගෙන දේශපාලනය කරපු කාලය ඉවරයි.දැන් එළඹිලා තියෙන්නේ පබා කුමාරි,අනර්කලී අක්කි සහ ගීතා ඇන්ටි එක්ක එක පෙලට හිටගෙන දේශපාලනය කරන කාලයයි.

ඉතින් හුදී ජනයා හැටියට ඔබගේ සංක්‍රාන්තියට මෙන්න අපගේ සුබ පැතුම්.හැබැයි කරුණාකර අපි වමේ යන පරණ රැකෝඩ් එක දමමින් ජනතාව ඉදිරියේ ඩෙගා නැටීමේ නාටකයනම් දැන් සිට නවත්වාදමන්න.

ප්‍රසිද්ධ මෝඩයා

ඉස්කෝලේ යන කාලේ අපි කාටත් නානාප්‍රකාර යාලු මිත්‍රාදියෝ හම්බ වෙනවා නොවැ ඉතින්.ඔන්න ඔහොම කට්ටියකට හම්බ වෙලා හිටියා යාලුවෙක් “මල්රාජ” කියලා.මිනිහා ඉතින් හරිම හොඳ හාදයා.හැබැයි ඔය ඒ කාලේ කරපු වැඩ කීපයක් හින්දා ජනතාව අතරේ කාලයක් යද්දී නමක් හදාගත්තු හාදයෙක් වුනා.මේ නම හදාගන්න මිනිහ කරපු වැඩ පහක් තියනවා.එච්චර ජනප්‍රිය නමක් හදාගන්න මිනිහා අමාරුවෙන් කරපු වැඩ පහේ කතාව තමයි දැන් මේ දිග අරින්න  යන්නේ.

දවසක් තවත් යාළුවො කීප දෙනෙක් එක්ක මල්රාජත් ගියා ගඟට නාන්න,මිනිහත් ඇනුවල් බාත් එක දාන්න යන හින්ද හරිම ප්‍රීතියෙන් තමයි හිටියේ.කට්ටිය ඉතින් ගියේ තල්ලු කරලා ඉස්ටාර්ට් කොරන කිරි ටොයිස් මෝටර් බයිසිකල් දෙකකින්.ඔන්න ඉතින් මග ගෙවාගෙන මේ ඈයෝ ටික ගඟ ගාවට ආවා.ගඟ දැකල චිත්ත ප්‍රීතිය ඉහවහා ගියපු මල්රාජ උන්හිටි තැන අමතක වෙලා පැන්න බයිසිකලෙන් බිමට.තකහනියක්ම බයිසිකලෙන් පනින්න ගිහිල්ල වැදුන නේද මිනිහගේ කකුල අර රත් වෙලා තිබුන සයිලන්සරේ.දැන් මල්රාජ කකුල පිච්චිලා දනවෝ දනවෝ කියල මෙතන මැරෙන්න තනනවා.ඔයවංගියේ එතන හිටපු තව පෝරිසාදයෙක් දැක්ක එතන සරුවට වැවිලා තිබුන වල් හබරල ගාලක්.ඉතින් මේ යාලුවා මල්රාජට කතා කරලා උපදෙස් දුන්න “මචෝ අන්න අර හබරල කොලයක් අරගෙන හොඳට  හපල ඔය පිච්චිච්ච තැනින් තියාපන්” කියල.දැවිල්ල අල්ලලා නට නට හිටපු මල්රාජත් දෙපාරක් හිතන්න පරක්කු උනේ නෑ.හොඳ හබරල කොලයක් අරගෙන හපල හපල තියාගත්තා පිච්චුනා තැනින්.

විනාඩියක් ගියේ නෑ ඔන්න මිනිහ උඩ පනිනවා,බිම පෙරළෙනවා,ඒ මදිවට වැලි අරගෙන දිවට දාල මදිනවා,එක මල කෝලමයි.බැලින්නම් මේ දිව කසන්න අරගෙන.සෑහෙන වෙලාවක් ඔහොම නටල නටලා යන්තම් ඔන්න කැසිල්ල අඩුවූනා.කැසිල්ල හින්දා කකුල පිච්චුනා අමාරුවත් අමතක වෙලා ගිහින්.මේ පලවෙනි සිද්ධිය උනාට පස්සේ මල්රාජගේ නමේ අගට ඔන්න තව ගෞරව පදයක් ඈදුනා “හබරලයා” කියලා.දැන් මේක බලන ඇයො මල්රාජ කැහිල්ලක් අල්ලලා අච්චර නැටුවේ ඇයි කියලා හරියටම බලාගන්න ඕනෙනම් හබරල කොලයක් කටේ දාල හොඳට හපලා බලනවා හොඳයි ඔන්න.

මල්රාජගේ දෙවෙනි වික්‍රමය තමයි ඔන්න දැන් දෙසාබාන්න හදන්නේ.ඔය ඉස්කෝලේ යන වංගියේ දුර බැහැර දුනියාවේ ඉඳන් සිදාදියට ඇවිල්ල එහෙ නැවතිලා ඉඳන් ඉස්කෝලේ ගියපු යාලුවොත් හිටිය නොවැ.ඔය හාදයින්ට හදිසියට ගෙදරින් සල්ලි දාන්නේ බැංකු එකවුන්ට් එකට තමයි.ඉතින් ඒ කාලේ අපිට තිබුනේ නැතුවට ඔය උදවියට තිබුන ඔය සල්ලි ගන්න ATM කාර්ඩ් එහෙම.දවසක් මේ යාලුවෙක් ගෙදරින් දාපු සල්ලි ටිකක් ගන්න ඔය කාර්ඩ් එකත් අරගෙන ගියා සල්ලි ගන්න මැසිමක් හොයාගෙන මල්රාජත් අඬගහගෙන.ගියාට පස්සේ මිනිහත් කවද දැකපු තොරණක්ද මේ කියල බලන්නත් එක්ක මැසිම තියන කාමරේ ඇතුලටම ගියා දුනියාවේ යාලුවත් එක්ක.ඉතින් සේරම කරලා සල්ලි අරන් ඇවිත් මල්රාජ කියනවා “මම දැන් සේරම බලා ගත්ත.හොරෙන් ගහන නොම්බරේත් බලා ගත්තා.දැන් ඕනෙනම් මටත් ගත්තහැකි ඕකෙන් සල්ලි” .

ඔහොම පොර වදන් ප්‍රකාශ කර කර හිටපු මේ උන්නැහේ යේ දවසක දුනියාවේ යාළුවා සල්ලි ගන්න යද්දී බලෙන්ම එල්ලිලා ගියා.අතරමග කනිපින්දම් ගහල මල්රාජ සල්ලි අරන් දෙන්න කියල කාර්ඩ් එක එහෙමත් ඉල්ලා ගත්ත ඔන්න.දැන් යන්තරේ ලඟට ගිහිල්ල ,කාර්ඩ් එක දාල,භාෂාව තෝරලා,ඔන්න ආව රහස් අංකෙ ගහන වෙලාව.මල්රාජ හතර අතේ බැලුව,තට්ටු කෙරුව,ඔබල බැලුව,හරියන්නෙම නෑ.අන්තිමට ඔන්න කියනවා මිනිහා ” අඩේ මේකෙන් සල්ලි ගන්න බැරි එකක්ද කොහෙද.මේකේ ඔබන්න තියෙන්නේ ඉලක්කම් විතරයිනේ.ඉංග්‍රීසි අකුරු ගහන්න තැනක් නැනේ.”   දැන් කියවල ටියුබ් ලයිට් උන උදවිය ඊළඟ  පාර සල්ලි ගහද්දි ඔය හොර අංකෙ ගහල බලන්න ඩිස්ප්ලේ එකේ වැටෙන ඉංග්‍රීසි අකුරු හතර මොනවද කියල.(තරු හතරක් වැටුනොත් ඔන්න ඔට්ටු නෑ හරිද)

දැන් මේවගේ වීරක්‍රියා කරමින් රැකෝඩ් තියාගෙන යන මල්රාජගේ තුන්වෙනි වික්‍රමය තමයි මේ කියන්න යන්නේ.ඔන්න දවසක් මේ යාළුවො කට්ටිය ඉස්කෝලේ යන්න අමතක වෙලා වෙන කොහෙද ගිහින් ඉස්කෝලේ ඇරෙන වෙලාවට ගෙදර යන්න ආවා මරියකඩේ ඉස්ටේසම ගාවට.මල්රාජ මෙතන ඉඳන් බස් එකේ තමයි යන්න ඕනේ.ඔය මනුස්සය ජීවිතේ කවදාවත් කෝච්චියේ ගිහිල්ලත් නෑ.ඉතින් ඔතනට ආපු අල්ල පනල්ලේ මල්රාජට ඉවසාගෙන ඉන්න බැරිතරම් චූ බරක් හැදිලා.දැන් එක විදියක ඉන්න බැරුව එතන බාල් නටනවා.ඉතින් අර යාළුවො මිනිහට උපදෙසක් දුන්න ඉස්ටෙසමට ගිහින් චූ කරලා එන්න කියල ප්ලැට්ෆෝර්ම් ටිකට් එකක් අරන්.

ඉතින් මේ හාදයත් දෙකයි පනහක් අරන් දුවල ගියා ටිකට් කවුන්ටරේට.ගිය සැනින්ම මෙන්න එනවා ආපහු හැරිලා.දැන් අනික් කට්ටියට ප්‍රශ්න වැලයි මේ යෝධයා තකහනියක්ම ආපහු අවේ ඇයි කියලා.චූ බර හොඳ උනාද,මගදී මොකවත් අඩුයි වගේ තේරුනාද,ප්‍රශ්න පත්තරයයි.මල්රාජ කියනවා “කවුන්ටරේ එකා කිව්වනේ ටිකට් දෙන්නබෑ කියලා.”
එහෙම කියනවද මනුස්සයෝ ටිකට් දෙන්නේ නෑ කියල .මොකද්ද ගිහින් ඉල්ලුවේ.
“මම ගිහින් කිව්වා ප්ලැට්ෆෝර්ම් ටිකට් එකක් දෙන්න කියල චූ කරන්න යන්න.”
ඔය ගොල්ලොත් මේකේ ඇත්ත නැත්ත බලා ගන්න ඔනෙනෙම් ඉස්ටෙසමට ගිහිල්ල ඔය විදියට ටිකට් එකක් ඉල්ලලා බලන්නකෝ එහෙමනම්.

හතරවෙනි වීරක්‍රියාව ගැන කියන්නනම් ඉතින් වෙනම පෝස්ට් එකක් ලියන්නම වෙනවා.ඒක ඉතින් අනාගතයේ ලියවෙයි කියලා හිතාගෙන පස්වෙනි සිද්ධිය මොකද්ද කියල විතරක් කියන්නම්කො.ඒ වීර ක්‍රියාව තමයි පෙරුම් පුරලා පුරලා කෙල්ලෙක් සැට් කර ගැනීම.ඕක වෙන කෙනෙකුටනම් ඔහොම ක්‍රියාවක් නොවුනට මල්රාජටනම් කලින් සිද්ධි එක්ක ඒක පෙලට තියන්න පුළුවන් වික්‍රමයක් තමයි.ඔය ඉස්සරවෙලා කියපු රැකෝඩ් තිබ්බට හැන්ඩියා වෙච්චි යාලුවා තාර පාර වගේ සුදුපාට,හරිම අවංක කෙලි පැටික්කියක් සැට් කර ගත්ත නොවැ.මේ ගෑනු දැරිවි රටේ තියන සේරම බොරු බේගල් ටික මල්රාජට කිව්වත් මිනිහ නෙවෙයි විහිළුවටවත් ඒවා බොරු කියල හිතන්නේ.කොටින්ම ඒ කාලේ මේ දැරිවි තමන්ගේ තාත්ත ශ්‍රිලංකාවේ ජනාධිපති කිව්වත් මේ යෝධයා ඒක ඇත්ත කියල තමයි හිතා ගන්නේ.ඉතින් කාලයක් ගිහින් අර උඩ ඉන්නවා කියල කියන දෙයියා බලලාද කොහෙද පස්සෙන් පහු මේ වෙඩේට පුල්ස්ටොප් එක වැටුනා.

මල්රාජගේ වීරක්‍රියා අර වටේ හිටපු යාලු මිත්‍රයෝ කා එක්කවත් කිව්වේ එහෙම නෑ හොඳද.එක හින්ද වැඩිපුර කවුරුවත් ඕවා දැනගෙන හිටියේ නෑ.දන්නා සීයක් හමාරක් වෙච්චි සොච්චම් පිරිස එකච්චන්දයෙන් මිනිහට ගෞරව නාමයක් ප්‍රදානය කළා.ප්‍රසිද්ධ මෝඩයා කියලා.ඕක ඉතින් රට්ටු ඉස්සරහ කියන්න හොඳ නැති හින්දා නම කෙටිකරලා මිනිහට කියන්න ගත්තා “ප්‍රමෝ” කියල.ඔහොම කියද්දී කවුරුවත් දන්නේ නැනේ මොකද්ද පසුබිම් කතන්දරේ කියලා.කොහොමින් කොහොම හරි අන්තිමේදී මල්රාජ තමන්ගේ නම අගට උපාධි කීපයක්ම ගහ ගත්ත. මල්රාජ (හ.බ.ර.ල  ,  ප්‍ර.මෝ) කියල.

ලේසි පාසු වැඩ කරලද ඉතින් මිනිහා නම හදා ගත්තේ ඈ.දැන්නම් කාලෙකින් දැක්කෙවත් නෑ කොහේ ඉන්නවද කියල.