ඉස්කෝලේ යන කාලේ අපි කාටත් නානාප්‍රකාර යාලු මිත්රාදියෝ හම්බ වෙනවා නොවැ ඉතින්.ඔන්න ඔහොම කට්ටියකට හම්බ වෙලා හිටියා යාලුවෙක් “මල්රාජ” කියලා.මිනිහා ඉතින් හරිම හොඳ හාදයා.හැබැයි ඔය ඒ කාලේ කරපු වැඩ කීපයක් හින්දා ජනතාව අතරේ කාලයක් යද්දී නමක් හදාගත්තු හාදයෙක් වුනා.මේ නම හදාගන්න මිනිහ කරපු වැඩ පහක් තියනවා.එච්චර ජනප්‍රිය නමක් හදාගන්න මිනිහා අමාරුවෙන් කරපු වැඩ පහේ කතාව තමයි දැන් මේ දිග අරින්න යන්නේ.
දවසක් තවත් යාළුවො කීප දෙනෙක් එක්ක මල්රාජත් ගියා ගඟට නාන්න,මිනිහත් ඇනුවල් බාත් එක දාන්න යන හින්ද හරිම ප්‍රීතියෙන් තමයි හිටියේ.කට්ටිය ඉතින් ගියේ තල්ලු කරලා ඉස්ටාර්ට් කොරන කිරි ටොයිස් මෝටර් බයිසිකල් දෙකකින්.ඔන්න ඉතින් මග ගෙවාගෙන මේ ඈයෝ ටික ගඟ ගාවට ආවා.ගඟ දැකල චිත්ත ප්‍රීතිය ඉහවහා ගියපු මල්රාජ උන්හිටි තැන අමතක වෙලා පැන්න බයිසිකලෙන් බිමට.තකහනියක්ම බයිසිකලෙන් පනින්න ගිහිල්ල වැදුන නේද මිනිහගේ කකුල අර රත් වෙලා තිබුන සයිලන්සරේ.දැන් මල්රාජ කකුල පිච්චිලා දනවෝ දනවෝ කියල මෙතන මැරෙන්න තනනවා.ඔයවංගියේ එතන හිටපු තව පෝරිසාදයෙක් දැක්ක එතන සරුවට වැවිලා තිබුන වල් හබරල ගාලක්.ඉතින් මේ යාලුවා මල්රාජට කතා කරලා උපදෙස් දුන්න “මචෝ අන්න අර හබරල කොලයක් අරගෙන හොඳට හපල ඔය පිච්චිච්ච තැනින් තියාපන්” කියල.දැවිල්ල අල්ලලා නට නට හිටපු මල්රාජත් දෙපාරක් හිතන්න පරක්කු උනේ නෑ.හොඳ හබරල කොලයක් අරගෙන හපල හපල තියාගත්තා පිච්චුනා තැනින්.
විනාඩියක් ගියේ නෑ ඔන්න මිනිහ උඩ පනිනවා,බිම පෙරළෙනවා,ඒ මදිවට වැලි අරගෙන දිවට දාල මදිනවා,එක මල කෝලමයි.බැලින්නම් මේ දිව කසන්න අරගෙන.සෑහෙන වෙලාවක් ඔහොම නටල නටලා යන්තම් ඔන්න කැසිල්ල අඩුවූනා.කැසිල්ල හින්දා කකුල පිච්චුනා අමාරුවත් අමතක වෙලා ගිහින්.මේ පලවෙනි සිද්ධිය උනාට පස්සේ මල්රාජගේ නමේ අගට ඔන්න තව ගෞරව පදයක් ඈදුනා “හබරලයා” කියලා.දැන් මේක බලන ඇයො මල්රාජ කැහිල්ලක් අල්ලලා අච්චර නැටුවේ ඇයි කියලා හරියටම බලාගන්න ඕනෙනම් හබරල කොලයක් කටේ දාල හොඳට හපලා බලනවා හොඳයි ඔන්න.
මල්රාජගේ දෙවෙනි වික්‍රමය තමයි ඔන්න දැන් දෙසාබාන්න හදන්නේ.ඔය ඉස්කෝලේ යන වංගියේ දුර බැහැර දුනියාවේ ඉඳන් සිදාදියට ඇවිල්ල එහෙ නැවතිලා ඉඳන් ඉස්කෝලේ ගියපු යාලුවොත් හිටිය නොවැ.ඔය හාදයින්ට හදිසියට ගෙදරින් සල්ලි දාන්නේ බැංකු එකවුන්ට් එකට තමයි.ඉතින් ඒ කාලේ අපිට තිබුනේ නැතුවට ඔය උදවියට තිබුන ඔය සල්ලි ගන්න ATM කාර්ඩ් එහෙම.දවසක් මේ යාලුවෙක් ගෙදරින් දාපු සල්ලි ටිකක් ගන්න ඔය කාර්ඩ් එකත් අරගෙන ගියා සල්ලි ගන්න මැසිමක් හොයාගෙන මල්රාජත් අඬගහගෙන.ගියාට පස්සේ මිනිහත් කවද දැකපු තොරණක්ද මේ කියල බලන්නත් එක්ක මැසිම තියන කාමරේ ඇතුලටම ගියා දුනියාවේ යාලුවත් එක්ක.ඉතින් සේරම කරලා සල්ලි අරන් ඇවිත් මල්රාජ කියනවා “මම දැන් සේරම බලා ගත්ත.හොරෙන් ගහන නොම්බරේත් බලා ගත්තා.දැන් ඕනෙනම් මටත් ගත්තහැකි ඕකෙන් සල්ලි” .
ඔහොම පොර වදන් ප්‍රකාශ කර කර හිටපු මේ උන්නැහේ යේ දවසක දුනියාවේ යාළුවා සල්ලි ගන්න යද්දී බලෙන්ම එල්ලිලා ගියා.අතරමග කනිපින්දම් ගහල මල්රාජ සල්ලි අරන් දෙන්න කියල කාර්ඩ් එක එහෙමත් ඉල්ලා ගත්ත ඔන්න.දැන් යන්තරේ ලඟට ගිහිල්ල ,කාර්ඩ් එක දාල,භාෂාව තෝරලා,ඔන්න ආව රහස් අංකෙ ගහන වෙලාව.මල්රාජ හතර අතේ බැලුව,තට්ටු කෙරුව,ඔබල බැලුව,හරියන්නෙම නෑ.අන්තිමට ඔන්න කියනවා මිනිහා ” අඩේ මේකෙන් සල්ලි ගන්න බැරි එකක්ද කොහෙද.මේකේ ඔබන්න තියෙන්නේ ඉලක්කම් විතරයිනේ.ඉංග්‍රීසි අකුරු ගහන්න තැනක් නැනේ.” දැන් කියවල ටියුබ් ලයිට් උන උදවිය ඊළඟ පාර සල්ලි ගහද්දි ඔය හොර අංකෙ ගහල බලන්න ඩිස්ප්ලේ එකේ වැටෙන ඉංග්‍රීසි අකුරු හතර මොනවද කියල.(තරු හතරක් වැටුනොත් ඔන්න ඔට්ටු නෑ හරිද)
දැන් මේවගේ වීරක්‍රියා කරමින් රැකෝඩ් තියාගෙන යන මල්රාජගේ තුන්වෙනි වික්‍රමය තමයි මේ කියන්න යන්නේ.ඔන්න දවසක් මේ යාළුවො කට්ටිය ඉස්කෝලේ යන්න අමතක වෙලා වෙන කොහෙද ගිහින් ඉස්කෝලේ ඇරෙන වෙලාවට ගෙදර යන්න ආවා මරියකඩේ ඉස්ටේසම ගාවට.මල්රාජ මෙතන ඉඳන් බස් එකේ තමයි යන්න ඕනේ.ඔය මනුස්සය ජීවිතේ කවදාවත් කෝච්චියේ ගිහිල්ලත් නෑ.ඉතින් ඔතනට ආපු අල්ල පනල්ලේ මල්රාජට ඉවසාගෙන ඉන්න බැරිතරම් චූ බරක් හැදිලා.දැන් එක විදියක ඉන්න බැරුව එතන බාල් නටනවා.ඉතින් අර යාළුවො මිනිහට උපදෙසක් දුන්න ඉස්ටෙසමට ගිහින් චූ කරලා එන්න කියල ප්ලැට්ෆෝර්ම් ටිකට් එකක් අරන්.
ඉතින් මේ හාදයත් දෙකයි පනහක් අරන් දුවල ගියා ටිකට් කවුන්ටරේට.ගිය සැනින්ම මෙන්න එනවා ආපහු හැරිලා.දැන් අනික් කට්ටියට ප්‍රශ්න වැලයි මේ යෝධයා තකහනියක්ම ආපහු අවේ ඇයි කියලා.චූ බර හොඳ උනාද,මගදී මොකවත් අඩුයි වගේ තේරුනාද,ප්‍රශ්න පත්තරයයි.මල්රාජ කියනවා “කවුන්ටරේ එකා කිව්වනේ ටිකට් දෙන්නබෑ කියලා.”
එහෙම කියනවද මනුස්සයෝ ටිකට් දෙන්නේ නෑ කියල .මොකද්ද ගිහින් ඉල්ලුවේ.
“මම ගිහින් කිව්වා ප්ලැට්ෆෝර්ම් ටිකට් එකක් දෙන්න කියල චූ කරන්න යන්න.”
ඔය ගොල්ලොත් මේකේ ඇත්ත නැත්ත බලා ගන්න ඔනෙනෙම් ඉස්ටෙසමට ගිහිල්ල ඔය විදියට ටිකට් එකක් ඉල්ලලා බලන්නකෝ එහෙමනම්.
හතරවෙනි වීරක්‍රියාව ගැන කියන්නනම් ඉතින් වෙනම පෝස්ට් එකක් ලියන්නම වෙනවා.ඒක ඉතින් අනාගතයේ ලියවෙයි කියලා හිතාගෙන පස්වෙනි සිද්ධිය මොකද්ද කියල විතරක් කියන්නම්කො.ඒ වීර ක්‍රියාව තමයි පෙරුම් පුරලා පුරලා කෙල්ලෙක් සැට් කර ගැනීම.ඕක වෙන කෙනෙකුටනම් ඔහොම ක්‍රියාවක් නොවුනට මල්රාජටනම් කලින් සිද්ධි එක්ක ඒක පෙලට තියන්න පුළුවන් වික්‍රමයක් තමයි.ඔය ඉස්සරවෙලා කියපු රැකෝඩ් තිබ්බට හැන්ඩියා වෙච්චි යාලුවා තාර පාර වගේ සුදුපාට,හරිම අවංක කෙලි පැටික්කියක් සැට් කර ගත්ත නොවැ.මේ ගෑනු දැරිවි රටේ තියන සේරම බොරු බේගල් ටික මල්රාජට කිව්වත් මිනිහ නෙවෙයි විහිළුවටවත් ඒවා බොරු කියල හිතන්නේ.කොටින්ම ඒ කාලේ මේ දැරිවි තමන්ගේ තාත්ත ශ්‍රිලංකාවේ ජනාධිපති කිව්වත් මේ යෝධයා ඒක ඇත්ත කියල තමයි හිතා ගන්නේ.ඉතින් කාලයක් ගිහින් අර උඩ ඉන්නවා කියල කියන දෙයියා බලලාද කොහෙද පස්සෙන් පහු මේ වෙඩේට පුල්ස්ටොප් එක වැටුනා.
මල්රාජගේ වීරක්‍රියා අර වටේ හිටපු යාලු මිත්‍රයෝ කා එක්කවත් කිව්වේ එහෙම නෑ හොඳද.එක හින්ද වැඩිපුර කවුරුවත් ඕවා දැනගෙන හිටියේ නෑ.දන්නා සීයක් හමාරක් වෙච්චි සොච්චම් පිරිස එකච්චන්දයෙන් මිනිහට ගෞරව නාමයක් ප්රදානය කළා.ප්‍රසිද්ධ මෝඩයා කියලා.ඕක ඉතින් රට්ටු ඉස්සරහ කියන්න හොඳ නැති හින්දා නම කෙටිකරලා මිනිහට කියන්න ගත්තා “ප්‍රමෝ” කියල.ඔහොම කියද්දී කවුරුවත් දන්නේ නැනේ මොකද්ද පසුබිම් කතන්දරේ කියලා.කොහොමින් කොහොම හරි අන්තිමේදී මල්රාජ තමන්ගේ නම අගට උපාධි කීපයක්ම ගහ ගත්ත. මල්රාජ (හ.බ.ර.ල , ප්‍ර.මෝ) කියල.
ලේසි පාසු වැඩ කරලද ඉතින් මිනිහා නම හදා ගත්තේ ඈ.දැන්නම් කාලෙකින් දැක්කෙවත් නෑ කොහේ ඉන්නවද කියල.
මරු ඩයල් එකක් වෙන්ඩ ඕන ඔච්චර උපාධි ගොඩක් ගහන්න… 😀
අර හරතවෙනි කතාවත් ලියන්න පටං ගත්තනං
මිනිහව මං දන්නවා. මේ දවස්වල බ්ලොග් එකක් කරනවයි කියන්නෙ ‘සිතුවිලි මණ්ඩිය’ද මොකද්ද කියලා.
මල්රාජ ද මේ බ්ලොග් එක ලියන්නෙ. මරු…
හික් හික් මරු පොර නොවැ උබත්…. පුදන කොටම කාපි යකා කියල මාට්ටු නොවැ… හි හි
හපොයි,මදැයි ඉතින් කොලා.
නැට්ට පිටින් අලි පනින එකේ ඕවා මොනවද මල්රාජ් මලේ? ඔන්න ඔහේ හතරවෙනි එකත් ලිව්වනං.
(ඇත්තටම මේ නම රෙජිස්ටර් කරගන්න උනත් නරක නෑ)
කර ගත්ත වින්නැහියක මහත නේද? ලියමු ලියමු ඉතින් ඒකත් ඉක්මනටම චාමි මහත්තයෝ.ඔය මහත්තයගෙත් ලිවීමේ කටයුතු හරි හෙමිහිට මොකෝ මේ දවස්වල?
විනාසයි උඩ බලන් කෙළ ගහගත්තා වගේ වැඩක්ද මේ වුණේ 🙂