ටේලර් සාප්පුවෙන් ධාන්‍යාගාරයට


අවුරුදු දහයකට පමණ පෙර උතුරු මැද පළාත් පාලන මැතිවරණ වේදිකාවයි.සන්ධානයේ අපේක්ෂක කථිකයා යුඇන්පීය පට්ට ගසමින් කතාවක් පවත්වයි.”යුඇන්පීය හදන්නේ අපේ රට කාර්මික රටක් කරන්න.අපි කවදාවත් ඒකට ඉඩ දෙන්නේ නෑ.අපි අපේ රට කෘෂිකාර්මික රටක් කරනවා.”ඒ සන්ධාන අපේක්ෂකයානම් දැනගෙන නොසිටියාට බොහෝ ලක්වාසීන් ලංකාවේ බොහෝ කාලයක සිට කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක්ව පැවති බව දන්නවා ඇත.පෙරදිගටම බත සැපයු ධාන්‍යගාරයක්ව පැවති බවද දන්නවා ඇත.ඒ කර්මාන්තය උදෙසාම වාරිමාර්ග තැනීමේ විස්මිත තාක්ෂණයක් සතුව පැවති බවද දන්නවා ඇත.එපමණටම…අද දවසේ ගොවියා වී විකුණා ගැනීමට නොහැකිව සහ ණය ගෙවා ගැනීමට නොහැකිව වහබී මැරෙද්දී හාල් නැව් පිටින් ආනයනය කරන බවත් දන්නවා ඇත.

එදා ඒ පෙරදිගට බත සැපයු රට අද ප්‍රකටව ඇත්තේ බටහිරට ඇඳුම් සපයන ටේලර් සාප්පුවක් ලෙසටයි.එදා මෙදා තුරදී රටේ පාලකයන් වූ කොට්ඨාශවල දක්ෂතාවය නිසාම අද අපේ රටට,රටට ප්‍රමාණවත් තරම් බත සපයා ගැනීමේ හැකියාවත් අහිමිවෙලා.ඒ වෙනුවට හිමිවෙලා තියෙන්නේ GSP+ හම්බවුනේ නෑ කියා හඩාවැටීමේ හැකියාව.77 න් පසු බිහිවූ කෘෂිකර්මාන්තය පිලිබඳ කිසිදු දැක්මකින් තොරවූ අමාත්‍යාංශ හිමි ආණ්ඩු යටතේ මේ තත්වයට රට පත්වීම එක අතකින් පුදුම විය යුතු කාරණාවක්ද නොවෙයි.

රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස ප්‍රකාශ කලේ රටේ සහල් අවශ්‍යතා සම්පූර්ණ වී ඇති බැවින් බස්නාහිර පළාතේ කුඹුරු ගොඩ කර වෙනත් සංවර්ධන වැඩ වලට යොදා ගතයුතු බවයි.ඒ ගල් ඔය ව්‍යාපාරය වැනි ව්‍යාපෘතීන් හරහා හරිත විප්ලවයට උරදුන් සේනානායකලාගේ පක්ෂයේ වත්මන් පුරුක් වැවිල්ල ගැන කල්පනා කරන අපූරුවයි. අපි වවමු රට නගමු කියමින් ආණ්ඩු කරන වර්තමාන ආණ්ඩුව යටතේද කෘෂිකර්මාන්තයේ දියුණුවක් පෙනෙන්නේ නැත.හිසරදේට කොට්ටය මාරුකරනවා මෙන් ඒ සිරිපාලගෙන් මේ සිරිපාලට සුහඳ මාරු ලබා දීම පමණක් වගාවේ දියුණුවක් ලබා දෙන්නේ නැත.යුද්ධ ජයග්‍රහණයට අයිතිකාරයන් දහස් ගණනක් හිටියත්,රටේ වෙනත් කිසිම වැඩපිළිවෙලකට කිසිදු අයිතිකාරයෙක් නැති වී තිබේ.සියරට දේ සිරිසැප දිය යුත්තේ ෆුඩ් සිටියට සහ වෑගපිටියට පමණක්ම නොවේ.සිරි සැප දෙන සියරට දේ වගා කර ගැනීමේ සහ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ලබාදීමේ ප්‍රතිපත්තියකුයි ආරම්භ කලයුතු වන්නේ.

මේ රටේ පුරන්ව යන කුඹුරු අක්කර ගණන දසදහස් ගණනක්.විනාශ වෙමින් පවතින කුඩා පරිමාණයේ වැව් අමුණුත් විශාල ප්‍රමාණයක්.මෙවැනි වැව් අමුණු පිළිසකර කරන වැඩපිළිවෙලක් 2005 න් පසු සන්ධාන ආණ්ඩුවෙන්  ඇරඹුවත් අද එය අතහැර දමා තියෙන්නේ ඒ සංකල්පයේ රටට අනුචිත කමකට වඩා සංකල්පයේ අයිතිකාරයන් හා ආණ්ඩුවේ පවතින විරසකය නිසාත් විය හැකියි.ගම්පහ යාගොඩ ප්‍රදේශයේ අතිවිශාල පුරන්ව පවතින කුඹුරු යායකි.මෙය වගා කල නොහැකිව පවතින්නේ සාමාන්‍ය වැස්සකටත් පසු මුළු කුඹුරු යායම වතුරින් යටවී යන නිසයි. වැසි වතුර බැසයාම පාලනය කිරීමේ සැලසුමක් සකස් කල හැකිනම් මෙම අතිවිශාල ගොවිබිම විසින් රටට බත සපයන ප්‍රමාණයට තව දුරකින් දායක වනු ඇති.නමුත් මැති ඇමතින්ට අවුරුද්දේ එක දවසක් පමණක් මඩේ බැස නගුල පස්සේ යාමේ උත්සවයට වියදම් කරන ධනය,කාලය සහ සැලසුම් මෙවැනි අනාගතයට ඵලදායී වන කාර්යයකට යොමු කිරීමට කිසිදු ඇමැත්තෙක්  ඉදිරිපත් වන්නේ නැත.

පවත්නා ආණ්ඩුවල බලධාරීන් බලය පවත්වාගැනීමට සහ වැඩිකරගනීමට යොදන ශක්තිය රට සංවර්ධනයේ සැබෑ මූලයන් හඳුනාගෙන එවැනි ස්ථානවලට යොදන තුරු ලාංකිකයන්ට සිදුවන්නේ “ලක්ෂ්මී බායි” කියනා ආකාරයට පිටරට සහල් නැව එනතුරා මුහුදට දත නියවාගෙන බලා හිඳීමටයි.ඒ පමණක් නොව වසර දහසකට එපිට තාක්ෂණයට වඩා දුප්පත් වාරි තාක්ෂණයකට හිමිකම් කියනා රටට  පිටරට වාරි විශේෂඥයින් පැමිණ වැව් අමුණු සැලසුම්කර දෙනතුරු බලා සිටීමටයි.

77 න් පසු ආණ්ඩු යටතේ සිදුවුයේ වී ගොවියාට බිත්තර වී පවා නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව අහිමි වීමයි.අද රටේ බිත්තර වී අලෙවිය තනිකරම CIC සමාගම සතු ඒකාධිකාරයක්.සමාගම අලෙවි කරන බිත්තර වී වලින් නැවත බිත්තර වී නිෂ්පාදනය කර ගත නොහැකියි.කෘෂි උපකරණ සහ පලිබෝධනාශක පවා ගොවියාට විකිණීමේ අයිතියෙන් වැඩි කොටසක් හිමිකරගෙන සිටින මේ සමාගම,මොනර කොළ දුටුවිට තමන් කරන්නේ කුමක්ද යන්න අනවබෝධ වන්නාවූ දුක්ගන්නාරාලලා වැනි කලාකරුවන් ලවා “ගොවි ගීත” නිර්මාණය කරමින් රටේ ඇස වසමින් සිටියි.කෘෂි බලධාරීන්ද මේවාට තවත් උල්පන්දම් දෙනු විනා මේ ඒකාධිකාරයන්ගෙන් ගොවියා බේරා ගැනීමේ යාන්ත්‍රණයක් සැදීමට අසමත්වයි  සිටින්නේ.

යහපත් දැක්මක් යටතේ නැවත  දෙපයින් සිටුවා ගත හැකි කර්මාන්තයක්,යලි ගොඩනැගූ “සුභ අනාගතයක්”ඉදිරි දිනෙයක උදා වුවහොත් GSP+ හිඟමින් ලෝකයට වැඳ වැටිය යුතු නොවේ.කෝටා නිසා දුවන ටේලර් සාප්පු වෙනුවට අතිරික්ත කෘෂි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත වලින් ඒ රැකියා නියුක්තිකයන් හට ජීවනෝපාය සකසා දීමේ හැකියාව තිබේ.ඒ හැකියාව උදා කිරීමේ වගකීම තව දුරටත් දරනුයේ ජනතාව නොවේ.මන්ද අද දේශපාලනයේ සාමාන්‍ය මහජනතාවට හිමි බලයක් නොමැති බැවිනි.දත් දෙතිසත් නිය විස්සත් යොදාගෙන කරගෙන යන බල සටනින් මතු යම් දිනයක තම බල අවශ්‍යතා සංතෘප්ත වූ අවදියෙක හෝ බලධාරීන් මෙවැනි අනාගතය ගොඩනැගීමේ ක්‍රියාමාර්ගවලට එළඹෙනු ඇතැයි බලා සිටිනු විනා පොදු ජනයාට කල හැකි අනෙකක් නැත.

Advertisements

6 thoughts on “ටේලර් සාප්පුවෙන් ධාන්‍යාගාරයට

  1. වී ගොවිතැන ගැන මගේ රළු නිරීක්ෂණයක් මේ. වී වගාව ගැන අද යම් ප්‍රබෝධ්‍යක් තියෙනවා.(පොහොර සහනාධාරය ප්‍රධාන හේතුවක්) මොනවා කිව්වත් ගොවියා යම් ලාභයක් ලබනවා. නැතිනම් මේක පවතින්නෙ නෑනෙ.හැබැයි එක් කුඹුරු යායක් ආශ්‍රිතව මගේ නිරීක්ෂණය තමා වගාවට දෙන සහනාධාර ටික තමා ඒ ගොවීන් ලබන ලාභය කියන්නෙ. වැව ගැඹුරු කිරීම, වෙලි සකස් කිරීම, පොහොර වගේ බොහෝදේ සපයන්නෙ මහජන මුදල් වලින්.
    ඒ කියන්නෙ මේක කර්මාන්තයක් විදිහට ගත්තොත් සොරිම තමා. අනික ඔච්චර සහනාධාර දීලත් වී ගිණී තියන්න වෙනවා කියන්නෙ ….
    වී අස්වනු ටික කළමණාකරනය කරගන්ඩ බැරි මුං අලුත් ව්‍යවස්ථාව ගැන පොරටෝක් දිදී තමන්ගෙ බිස්නස් ටික කරගන්නවා.

    • චාමිගේ අදහසට කොන්දේසි විරහිතව එකඟයි.එත් මම දකින්නේ මේක සොරි නොවිය යුතු කර්මාන්තයක් විදියට.මම සීගිරිය පළාතේදී වැඩ කරද්දී දැක්ක දෙයක් තමයි ගොවියා කන්නයකට කොච්චර අස්වැන්නක් ගන්නවද කියන එක.නමුත් අස්වැන්න ගත්තට පස්සේ තමයි සේරම ප්‍රශ්න.හතර පැත්තෙන්ම ගොවියා හූරගෙන කෑම විතරයි.ඇමතිලා ,අමාත්‍යාංශ, නිලධාරී මුන් සේරම නිදි වැදිලා ඉන්නේ.
      (නිදි වැදුන උන් දැන් ඇහැරෙන්නේ 18,19,20……………ට අත උස්සන්න විතරයි.)

  2. වී ගොවිතැනේ නිශ්පාදන වියදම වැඩි වෙලා තමයි. මේ රටේ තිබුණු පාරම්පරික වී වගාව තුල දැවන්ත නිශ්පාදන වියදමක් තිබුණෙ නෑ. ඒ වගේම තෙල් හෝ රසායනික පොහොර අද තරම් යොදන්න සිදුවුණෙ නෑ. ඒත් කෘෂිකර්මයට දේශපාලනය මැදිහත් වුණාට පස්සෙ පාරම්පරික වී භාවිතයෙන් ඉවත් වුණා. ඒ වෙනුවට නව වී වර්ග හඳුන්වා දුන්නා. ඒ වී වර්ග පස්සෙන් රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය වෙළෙන්දො කොටසක් ඇතිවුණා.

    ඒ වුණාට ඒ ප්‍රශ්ණ ඔක්කොම ඇතිවුණේ මේ රට කොරවන ලියවිල්ලෙ දෝෂයකින්. ඒකෙන් එකක් ඔන්න පහුගිය දවස්වල හරිගැස්සුව. තව දෙකක් ඉදිරියෙ හරි ගස්සල දානව. ඊට පස්සෙ වී වලට වුණත් තෙල් පොහොර වැඩිපුර ගහන්න ඕනි වෙන්නෙ නෑ.
    ඒවගේ අණවිණ ඔක්කොම දූරිභූත වෙලා යනව. මල්ලිල චුට්ටක් ඉවසන් ඉන්නකො….

  3. පින්ග්කිරීම: බ්‍රසීලයේ සෝයා බෝංචි හා ලංකාවේ උක් වගාව « අරුණි ශපීරෝ‍ වෙතින්

ගල්ද මල්ද සමසිතින් පිළිගනිමී. වාරණ නොමැත.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )