මග හොඳට තිබේනම්,යන්න දෑසත් පෙනේනම්….


හැමදාමත් වගේ තකහනියක් මම දුවමින් හිටියා.මහව කෝච්චිය වැරදුනොත් වෙලාවට කන්තෝරුවට යනවා බොරු ආයෙත්.පාර දිගේ දුවන,දුවනවා වගේ ඇවිදින දහසක් සේනාව අතරේ මම අහම්බෙන් දැක්කේ මධුරව.අවුරුදු ගානකට පස්සේ දැකපු යාලුවෙක් එක්ක කතා කිරීමේ ලොකු උවමනාවක්,එත් එක්කම පහුගිය අවුරුදුවල මේ යාළුවා ගැන දැකපු,අහපු කතා නිසා කතා කිරීමේ දෙගිඩියාවකුත් මැද්දේ හිර වෙච්චි වෙලාවේ මධුරම මගේ දෙගිඩියාව නැති කෙරුවා.ඒ මාව දැක්ක ගමන්ම ලඟට ඇවිත් කතා කරලා.ආගිය විස්තර මොනවත් අහන්නේ නැතුවම “මචන් රුපියල් සීයක් ගන්න තියනවද?”,ඔන්න එච්චරයි.

ඒ ඉස්කෝලේ කාලේ හරිම උනන්දුවෙන් ඉස්කෝලේ වැඩ කරමින් හිටිය,සමස්ත ලංකා තරග වලින් දුවලා ඉස්කෝලේ දිනවපු,ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක් වෙච්චි,අද වෙනකොට සමාජයේ ලොකු ඉහල තැනක හිඳීවි කියලා ඒ කාලේ අපි කල්පනා කරපු මධුර වෙන කතාවක් නැතුව රුපියල් සීයක් විතරක් ඉල්ලනවා.සල්ලි හම්බවුන ගමන් මධුර සෙනඟ අතරේ තත්පර ගානකින් නොපෙනී ගියා.මට කියලා ගියේ “පස්සේ හම්බවෙමු මචන්” කියලා විතරයි.

ස්ලෝ ට්‍රේන් එක පැය ගානක් නවත්ත නවත්ත කොළඹ යනකම්ම මට කල්පනා වුනේම අපේ මධුර එක්ක තිබුණු අතීත යාළුකම.එක ඉස්කෝලේ ඉගෙන ගත්තත් මධුර එක්ක අපේ පුංචි පන්තිවල ඉන්න කාලේ ලොකු ඇගෑළුම්කමක් තිබුනේ නෑ.එත් ඒ ලෙවෙල් කරන කාලේ යාලුවෙක් විදියට හුඟක් අපිත් එක්ක ලංවුනා.අපි තැබෑරුමට වැදිලා බොන හැමදාම අපිත් එක්ක එනවා.බොන්න නෙවෙයි යාළුකම හින්දා.ඇවිත් සෝඩා බිබී ඉන්නවා.හිමිහිට සින්දු කියනවා.හොඳට සින්දු කියන්න පුළුවන් හොඳ හඬක් තිබුන මනුස්සයෙක්.අනාගතයේදී සින්දු කියන්න පුළුවන් ඉංජිනේරුවෙක් වෙයිනෙ.

ඉස්කෝල ගමන ඉවර උනා.ඉන් ටික කාලෙකට පස්සේ වෙන වෙන දහසක් වැඩවලට සේරම යාලුවන්ට හිරවෙන්න වෙලා.රස්සාවල් කරන්න,රස්සාවල් හොයන්න,කැම්පස් යනකම් මොනවා හරි කරන්න,ඉගෙන ගන්න.ඔය අතරේ මධුර අතුරුදහන් වෙලා.කිසි කෙනෙක් දන්නේ නෑ මොනවා උනාද කියලා.කෙනෙක් ආරංචියක් ගෙනාවා “ඌ කුඩ්ඩෝ ටිකක් එක්ක සෙට් වෙලා”
“පිස්සුද හලෝ,එහෙම විනාස වෙන්න තරමටම ඔලුවේ අමාරුවක් තියනවද මූට”
තවත් ටික දවසකින් තවත් ඔත්තුවක්.”මධුර රට ගිහිල්ල කියන්නේ”.ඒකනම් ඇත්ත වෙන්න ඇති.නැත්නම් මේ පුංචි රටේ කවදා හරි අපි කාට හරි මේ මනුස්සයා හම්බ වෙන්නේ ඕනැනේ.

තවත් අවුරුද්දකින් විතර ඔන්න මට මධුරව දවසක් හම්බවුනා කෝච්චියේදී.තව කෙල්ලෙකුත් එක්ක.”මචන් මේ තමයි වරුණි”
“රට ගිහින් හිටියා කියලා ආරංචි වුනා”
“ආ ….ඔව් ටික දවසක් හිටියා.පොඩි අවුලක් වෙලා ආපහු ආවනේ.”
අර ගෑනු ළමය ඉස්සරහ ඒ ගැනවත්,කලින් හිටපු අච්චර හොඳ කෙල්ල කෝ කියලවත් අහන්න බැනේ.එක හින්ද මම ටෙලිෆෝන් නොම්මරේ විතරක් ඉල්ලගෙන කෝච්චියෙන් බැහැල ගියා.ගෙදර ගිහින් පස්සේ කෝල් එකක් දුන්න.බැලින්නම් කොහේදෝ රටකට ගිහින්,වැඩ කරපු තැන මිනිහෙකුට ගහලා,ඩිපෝට් කරලා.මට හරිම ප්‍රශ්නයක්.හරිම සන්සුන්ව හිටිය  මනුස්සයෙක් දැන් කරන දේවල්.

ඉන් පස්සේ දෙවෙනි වතාවට අතුරුදහන් වෙච්චි මධුර තවත් කාලෙකින් මට හම්බ උනේ අහම්බෙන් පාරේදී.තවත් වෙනස්කම් ගණනාවක් එක්ක.ඇගෙන් වගේම කල්පනා කරන විදියෙන්.රස්සාවක් කරන්නෙත් නෑ.දෙමාපියන්ට තවමත් බරක් වෙමින් ජීවත් වෙනවා.ඒ වතාවෙනම් මම හරියටම දැනගත්තා මධුර කුඩු ගහන්න පටන් අරන් කියලා.එදත් මට හිතාගන්න බෑ අපි ඉස්සර දැනගෙන හිටපු මනුස්සයා මේ තරමට වෙනස් වෙන්න හේතුව මොකද්ද කියන එක.එත් උපදෙස් දීම පලක් නැති බව තේරුන නිසා මම අවවාද දෙන්න හැදුවේ නෑ.හැබැයි මට ටවුමේ නගරන්කාරයන් අඳුනාගෙන හිඳීමේ වැදගත්කම ගැන දේශනයක්නම් ලැබුනා.වාද කිරීමෙන් ලැබෙන දෙයක් එවෙලේ නොතිබුන නිසාම මම එක අහගෙන ඉඳල යන්න ගියා.

මේ හම්බවීමෙන් පස්සේ උනත් ඉස්සර වගේ ලොකු යාළුකමක් ආයේ හැදුනේ නෑ.පරණ යාලුවෙක් වලේ ඉන්න එක ගැන හිත හදාගන්න බැරි අපි කීප පාරක් මධුරට පාර පෙන්නන්න උත්සහ කෙරුවා.බලෙන්ම එක්කගෙන ගිහින් පුනරුත්ථාපන මද්‍යස්ථානයකට දැම්ම.කොයි දේ කලත් වැඩක් නොවිච්චි තැනත් ඒක අපිටත් අවැඩක් වෙන්න පටන් ගත්තු තැනත් හිතේ කණගාටුවෙන් අපිට ඔය උත්සාහයන් අතැරලා දාන්නයි සිද්ධවුනේ.

කොයි හැටි වෙතත් වරුණි මධුරව අතඇරලා දාල තිබුනේ නෑ.කවදා හරි දවසක හරියාවි කියන හීනෙන් තවමත් ජීවත් වෙමින් හිටියා.ඒ හීනය හැබෑවටම හීනයක් විතරයි කියලා තේරුම් ගන්න කොට මධුරව කසාද බැඳලා හිටපු වරුණිට මාස ගණනක දරුවෙකුත්.තමන්ගේ හැම දෙයක්ම කැප කරගෙන,ආදරය හින්දම ඒ හීනේ ජීවත් වුන වරුණිට ඉතිරි උන එකම විකල්පෙ දරුවත් අරගෙන දික්කසාදවෙලා යන එක විතරයි.ඉස්සර යාලුකම හින්දම ඈතින් ඉඳන් දුක් වෙමින් හිටිය අපිටත් එතනින් එහාට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ.

මේ කාලෙන් පස්සේ මධුර තුන්වැනි සැරේටත් අතුරුදහන් වෙලා හිටියා.ඒ අතුරුදහන් වීම අවසානයේදී තමයි මගෙන් රුපියල් සීයක් ඉල්ලගෙන ගියේ.ඒ සල්ලිත් මිට මොලවාගෙන අර සෙනග කන්දරාව මැද්දේ අතුරුදහන්වුන මධුර ආයේ කවදා හරි දවසක අපිට හම්බවේවි සමහරවිට.බාග වෙලාවට ඔය හම්බුන අන්තිම වතාව වෙන්නත් පුළුවන්.එහෙම හම්බවුනොත් ඒ කොයි විදියකින්ද කියන එකනම් කාටවත් හිතාගන්න බෑ.

ඒ දක්ෂ පාසල් ශිෂ්‍යයා මේ තත්වෙට පත්වුණා එක කාගේ වැරද්දක්ද මන්දා.අපිටත් යාළුවන් විදියට මුලදීම වැඩිපුර මැදිහත් වීමක් කරලා මේ ගමන වෙනස් කර ගන්න තිබුන කියලත් නොහිතෙනවාම නෙමෙයි.කොයි හැටි වෙතත් ඒ අතීතය වර්තමානයට ගේන්න බෑ.අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ සාමාන්‍ය රජයේ සේවකයෝ විදියට ,එකම දරුවා ගැන බලාපොරොත්තු කන්දක් තියාගෙන ජීවත් වුන මධුරගේ දෙමවුපියොත්, වරුණි එක්ක දරුවත් හිස් ජීවිත වලට උරුමකම් කියන මිනිස්සු වීම.ඒ පුංචි දරුවා ලොකුමහත් කරගන්න වරුණිට ලොකු ආයාසයක් දරන්න වේවි.ඒ වගේම රටට වටිනා මිනිහෙක් වෙන්න හිටපු චරිතයක් රටට බරක් වෙච්චි හිස් නිකමෙක් වුන එක.ආයේ කවදාවත් හදාගන්න බැරි මේ වැරදි කොතනින්,මොකක් හින්ද පටන් ගත්තද කියලා මං තවත් කල්පනාකරනවා.

Advertisements

10 thoughts on “මග හොඳට තිබේනම්,යන්න දෑසත් පෙනේනම්….

  1. පුද්ගලයන්ගෙ අඩුපාඩුකම් තියෙන්න පුඵවන්. ඒත් ඒ අඩුපාඩුකම් නිවැරැදි වෙන ප්‍රවාහයකට වඩා ඒ ළඟ ඇද වැටෙන තරඟයක් පවතින්නෙ. මිනිස්සු කවුරුත් තමන්ගෙ ට්‍රැක් එකේ දුවනව. මේ වගේ පුද්ගලයන් ගොඩක් දැකල හමුවෙලා තියෙනව ඒත් කවදාවත් ඔවුන්ගෙ දුර්වල මානසික ශක්තියට ගරහන්න සිතිල නෑ. ඔවුන්ගෙ අත අල්ලගෙන ටිකක්වත් ඉදිරියට යන්න අපිටත් ශක්තිය නැතිවීම ගැන වේදනාවක් විතරයි දැනෙන්නෙ.

  2. මේ විදිහේම වගේ නැතත් ටිකක් වෙනස් අත්දකීමක් මටත් තියෙනවා.

    අර සල්ලි ඉල්ල්න් ගිය එක . . ඊට කලින් මුන ගහුනු එක වගේ දේවල් ගොඩක් සමානයි.

    ඌ චින්තක, අපිට වැඩිය අවුරුද්දක් වැඩිමල්, ආඩම්බර කාර නමුත් හොඳට ඉගෙන ගනන් පුලුවන් එකෙක්, ඉස්කෝලේ අපි ගොඩක් උන් ඉරිසියා කරපු හැන්ඩියෙක්, මොකද්දෝ එකකට ඌ මාත් එක්ක ඉස්කෝලේ යන කාලේ කතාබහ කලා,

    මේ සටහන කියෙව්වාම මාර දුකක් හිතුනේ මචන් . .
    මගේ හිත ත් මට දොස් කිව්වා . . .

ගල්ද මල්ද සමසිතින් පිළිගනිමී. වාරණ නොමැත.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )