අද දකිනා හෙට අරුමය.

ජයන්ත චන්ද්‍රසිරිගේ අකාල සන්ධ්‍යා හෙවත් කාලාත්‍රයේ තීර්ථ යාත්‍රිකයා ආයෙත් බලන්න කියලා කල්පනාවට ආවා.අන්තර්ජාලය හරහා නාටකය දිග ඇදෙද්දී,නාගසිංහ කැරකිලා කැරකිලා අනාගත ලෝකයෙන් ප්‍රාදුර්භූත වෙන මොහොතේදීම මම ඉඳගෙන හිටිය පුටුවත් භ්‍රමණය වෙන්න පටන් ගත්තා.කරකැවිල්ල නතර වෙද්දී වටෙන් පෙනෙන්න ගත්තේ අපේ ගෙදරම නුපුරුදු වටපිටාවක්.කොයි එකටත් කියලා මිදුලට බැහැලා බැලුවමත් අහල පහල සේරම ලොකු වෙනසක් වෙලා තියෙන්නේ.

මේ උදේ කාලෙදිත් ඉස්සර වගේම ගේ ඉස්සරහ පාරේ ළමයි රෑනක් ඉස්කෝලේ යනවා.හැබැයි කිරිකොක් සුද නෑ.නිල් පාට කහපාට ඇඳුම් ඇඳගෙන.මමත් වැට අයිනට ගිහින් පොඩ්ඩක් එබිකම් කරලා බැලුවා.ඉස්කෝලේ ඇඳුම් වල පිටිපස්සේ සබන් ඇඩ් එකකුත් ගහල තියනවනේ බොලේ.කට ඉස්සර කරගෙන නොදන්නා දේවල් අහල ඇන ගන්නේ මොකටද කියල හිතාගෙන ඉද්දි එහාගෙදර හිටපු නංගිත් පොඩි එකෙක් අතින් අල්ලාගෙන එනවා ඉස්කෝලේ යන්න.මම හිමිහිට කෝකටත් කියල මේ වෙලා තියන විනම්බැසිය මොකක්ද කියලා බලන්නත් එක්ක කතාවක් දාල බැලුවා.

“ආ අයියා අවුරුදු ගානකින් දැක්කේ,කවදද ගෙදර ආවේ.”අහපු දේ නොතේරුණත් මම කිව්වා “ඊයේ රෑනේ ආවේ.”
“පුතාව ඉස්කෝලේ එක්කන් යනවද,ලස්සන ඇඳුම නේද?”
“මේ අවුරුද්දේ ඉස්කෝලේ සන්ලයිට් කොම්පැනියෙන් ගත්තනේ,එකයි ඇඳුම වෙනස් කරලා තියෙන්නේ.”
“මොකක් ,මේ රන්ගිරිගම ඉස්කෝලේ?”
“ඔව් ඔව්,වෙන්දේසියෙන්නේ අරගෙන තියෙන්නේ.තව කොම්පැනි බර ගානක් හිටියලු මේ ඉස්කෝලේ ගන්න.මේ කොම්පැනියෙන් ඉස්කෝල ෆීස් අඩුකළ හින්ද හොඳයි.නැත්නම් ගිය අවුරුද්දේ පුතා ඉස්කෝලේ යවන්න හිටියේ.සල්ලි හොයා ගන්න බැරිවුනානේ.”
“පරක්කු වෙනවා,ගිහින් එන්නම් එහෙනම්”

මොලේ ඔල්මොරොන්දම් වෙච්චි මම ගෙදරට ඇවිත් වතුර වීදුරු දෙක තුනක්ම බීල තමයි නතර උනේ.ගමේ විස්තර මෙහෙමනම් රටේ විස්තර කොහොමද කියලා බලාගන්නත් එක්ක මට හිතුනා කොළඹ පළාතේ රවුමක් ඇවිදලා එන්න.ටවුමට ගිහින් බස් එකකට නගින්න කලින් “දිවයින”පත්තරේ අරගත්තා කියවන්න කියලා හන්දියේ කඩේකින්.මුල පිටුවේම හෙඩ් ලයින් එක තියනවා පොල්ගෙඩි අකුරින්,”ලබන වසරේ ජනපතිවරණයෙන් මුචලින්ද රාජනායක ශ්‍රීමතාණන්ට විශිෂ්ට ජයග්‍රහණයක්.”
මම තව ටිකක් කියවලා බැලුවා,යකඩෝ එන අවුරුද්දේ චන්ද ප්‍රතිඵලේ අද පත්තරේ දාන්න තරම් මේ තියන දියුණුව මොකද්ද කියල.

“හතලිස් අටවෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එක් ජනපති කාලසීමාවක් අවුරුදු 10 ක් බවට පත්කිරීමෙන් අනතුරුව පවත්වන්නට නියමිත පළමු ජනාධිපතිවරණයෙන් 75% ක පැහැදිලි ජනවරමක් වත්මන් ජනපති රාජනායක ශ්‍රීමතාණන් විසින් ලබාගනු ඇත.දිවයින ජාතික පුවත්පත, ස්වර්ණවාහිනිය සහ ශ්‍රී එෆ් එම් ගුවන් විදුලිය එකාබද්ධව පැවැත්වූ ජනමත සමීක්ෂණයෙන් මෙම ප්‍රතිඵලය නියත බව තහවුරු වී ඇත.එබැවින් පොදු ජනතාවගේ වටිනා කාලය හා ශ්‍රමය නාස්ති කිරීමන් තොරව මීළඟ ජනපතිවරණය නොපවත්වා,ඉහත ප්‍රතිඵලය අනුව වත්මන් ජනපති ශ්‍රීමතාණන් මීළඟ ජනපති ලෙසද එන වසරේ දිවුරුම් දීමට ඒකපුද්ගල මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.පාර්ලිමේන්තුව වසර දෙකකට කල් තබා ඇති බැවින් ගතයුතු තීරණ සහ කලයුතු මාධ්‍ය ප්‍රකාශයන් පිලිබඳ උපදෙස් ඇමති මණ්ඩලයට යථා කාලයේදී ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන්නට සලස්වනු ඇත.”

පත්තරේ කියවලා උතුර දකුණ මාරුවෙලා ටික වෙලාවක් හිටිය මට ,පත්තරේ  ආයෙත් බලන්න කල්පනාවක් ආවේ බස් එක සෑහෙන දුරක් ගියාට පස්සේ.මුල් පිටුවේම තව පුවතක් තියනවා ටිකක් යටට වෙන්න.
“ජෝන් කීල්ස්-කැලණිය සරසවියට එරෙහිව බටහිර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවන බව එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලීන් ද සිල්වා මහතා හෙළි කරයි.උපකුලපතිතුමා වැඩිදුරටත් හෙළි කරන්නේ තමන් බලයට පැමිණියහොත් සරසවි සිසුන්ගෙන් 50% කට නොමිලේ අධ්‍යාපනය ලබාදෙන බවට යම් යම් පක්ෂ කරන ප්‍රකාශයන් ,බටහිර අධිරාජ්‍යවාදී  අනුකාරක ඇන්කරයන්ගේ  මෙහෙයවීමෙන් එන් ජී ඕ මුදල් වලින් නඩත්තු වෙන කණ්ඩායම් විසින් කරන ප්‍රකාශයන් බවයි.මේ කුමන්ත්‍රණ පරාජය කිරීමට දිවි හිමියෙන් කැපවී සටන් කිරීමට තමන් උසස් අධ්‍යාපන ඇමති මහාචාර්ය කුක්කු සිල්වා  මහතා සමග අත්වැල් බැඳ ගන්නා බවට එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.”

ඔය අල්ල පනල්ලේ බස් එක දළුගමටත් ලංවෙලා.මටත් හිතුනා ඔය හරියෙන් බැහැලා කීල්ස් සරසවියේ දියුණුව බලලා යන්න ඕනේ කියලා.බැස්ස ගමන් වටේම සුරපුරයක් වගේ.වයිවාරන්න කඩසාප්පු.මැක් ඩොනල්ඩ්ස්ද පීසා හට්ද,කාර් ෂෝරූම්ද වටේටම.මොනවද නැත්තේ.ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තනි තනියම,ජෝඩු ජෝඩු පියඹල යනවා පාට පාට කාර් වලින්.සරසවි පාර දිගේ හිනාවෙවී ඇවිදගෙන එනවා.හැබැයි අපි ඉස්සර දන්නා කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ හැඩරුවනම් හොඳටම වෙනස් වෙලා ගිහින්.අර ඉස්සර දවසක තනියම ගිහින් කැම්පස් එක ඉස්සරහ උද්ඝෝෂණයකට ගලක් ගහල දුවන්න ගිහින් අම්මලා ආදරෙන් අල්ලාගෙන ටොකු ඇන්න පුතා ජාතියේ කෙසඟ ශිෂ්‍යයෝනම් කොහෙවත් පේන්න නෑ.

දැන් ඉතින් ඉස්සරවගේ උපවාස ,උද්ඝෝෂණ බලන්න වෙන්නේ පරණ වීඩියෝ වලින් තමයි කියල හිත හිතා පොඩ්ඩක් ඉස්සරහට යද්දී මෙන්න බොලේ අර ඒ කාලේ වාගේම කොල්ලෝ කෙල්ලෝ බෝඩ් උස්සගෙන කෑ ගහනවා.මමත් ලංවෙලා බැලුවා මොනවද මේ බෝඩ් වල ලියලා තියෙන්නේ කියලා.
“ශිෂ්‍යයන්ගේ කාර් පාර්කින් ඉඩ වැඩිකරනු.”
“සරසවියේ කැබරේ ඩාන්ස් තහනම වහා ඉවත් කරනු”
“සරසවි තානායමේ කාමර ප්‍රමාණය දෙගුණයක් කරනු”
“…………………………………………”

මේ රට තොට දැක්ක හොඳටෝම ඇති කියල හිතුනු මම ඉක්මනට ආපහු ආව ගෙදරට ආයේ කැරකිලා කැරකිලා ගෙදර යන්න හිතාගෙන.පුටුවේ කැරකෙන ගමන් මම හිතුවේ ආපහු ආව ගමන් ඔය පාර දිගේ කෑ ගහන ගොන් කොල්ලන්ට කියන්න ඕනේ කියලා ඔය ගුටිකන්නේ නැතුව තමන්ගේම කියල ස්වයං රැකියාවක් හරි කරගෙන පැත්තකට වෙලා ජීවත් වෙන්න කියලා.

පිටකොටුවේ නිධානය.

කොටුවේ ඉස්ටේෂම පැත්තේ ඉඳලා බෝ ගහ දිහාට වෙනකම් තියන පේවේමන්ට් කඩ පේලිය කොළඹ ගිය කාටවත් මග ඇරෙන්න විදියක් නෑනේ.ඔය කඩ වල වෛවාරන්න විච්චූරණ තියනවා.සමහරවෙලාවට රුපියල් විස්සට තිහට බොහොම වැඩදායක වෙන කෑලි බෑලි ඔතනින් හොයාගන්න පුළුවන්.මමත් ඔය ඉසව්වෙන් ඔහොම තුට්ටු දෙකට ගත්තු දේවල් සමහරවෙලාවට බොහොම උවමනාවුන වෙලාවල් තියනවා.ඔය කාරණාව හින්දම මම ඔය පැත්තේ ඉස්සර යන වෙලාවල්වල ඉස්ටේෂම ගාවින් බස් එකෙන් බැහැලා කඩ දිහා බල බලා පයින් එනවා බස් ස්ටෑන්ඩ් එකට.

දැන් කියන්න හදන කතාව වෙලා අවුරුදු  හතක් ,අටක් විතර වෙනවා.මම ඔහොම කඩ පේලිය බල බලා පයින්ම එනවා බෑග් මල්ලත් පිටේ එල්ලගෙන.ඔහොම ටික දුරක් එද්දී කවුදෝ මනුස්සයෙක් මට තට්ටුවක් දාල කථා කෙරුවා.
“මහත්තයා ස්වීප් එකක් හූරනවාද?”
මම ටිකක් වටේට බැලුවා ලොතරැයි කූඩුවකවත් තියනවද කියලා.ඇහැට පේන මානෙක එහෙම එකකුත් නෑ.ඒක හින්දත් මගේ ලොතරැයි හූරන පුරුද්දක් නැති හින්දත් මම කිව්වා, “නෑ ඕනේ නෑ ” කියලා.මේ හාදයත් වැඩේ අතාරින්නෙම නෑ.
“මේක අද අඳුන්නල දීපු ටිකට් එකක්.විකිනුවට සල්ලි ගන්නේ නෑ.දිනුමක් තිබුනොත් විතරයි රුපියල් දහයක් ගන්නේ.ගන්න මහත්තයා.”
ඔය අස්සේ එතන හිටපු තව හාදයෙක් මනුස්සයෙකුට රුපියල් දෙදාහක් දුන්න, “මෙන්න මේ මහත්තයාට දිනුමක් හම්බවුනා” කියලා.

මටත් හිතුනා මේ මොකාටද එන්න හදන්නේ කියලා මේකක් හූරල බලන්න ඔන්න.ඉතින් මම ස්වීප් ටිකට් එක අරගෙන පිටිපස්සේ තියන දිනුම් ඇදෙන විස්තර එහෙම සේරමත්  කියවල මේක හූරල  බැලුවා.විස්තරේ විදියටනම් සත පනහක්වත් දිනුමක් නෑ.ඉතින් මම මිනිහාට ටිකට් එක දීල කිව්වා “ඔයාම මේක තියා ගන්න,දිනුමක් නෑනේ”.මේ හාදයත් බලල කියනවා “ආ මෙතන දිනුමක් නෑ තමයි.හැබැයි මේ යට තියන බෝනස් දිනුම තියන කොටුව හූරල බලන්නකෝ”.
බැලින්නම් බෝනස් කොටුව කියල මනුස්සයා මේ පෙන්නන්නේ ලොතරැයියේ ඔය සීරියල් නොම්මරයක් වගේ මොකද්ද එකක් තියන හීනි කොටුව.
කරන දේ බලන්න මම ඔන්න එකත් හීරුවා.ඔය කොටුවේ ඉලක්කම් හත අටක අංකයක් මිසක් වෙන මොකවත් තියන එකක්යැ ඉතින්.

හූරල පෙන්නුවා ලොතරැයි කාරයාට.”දැන් ඉතින් ඇදිලද බෝනස් දිනුමක්.”
“ආ ඔන්න මහත්තයා වාසනාව.මෙන්න ඇදිලා දහදාහක්.බෝනස් දිනුමක්.”හරි හරි ඉතින් ඇදිලනම් සල්ලි ගන්න එපායැ.කොහෙන්ද දිනුම දෙන්නේ.” මම ඇහුවා.”මෙතනම දෙනවා මහත්තය.මේ දැන් දෙනවා.
” හරි එහෙනම් දෙන්නකෝ දහදාහ”
“මේක බෝනස් දිනුමක්නේ ඇදුනේ මහත්තයා.මේක දෙන්න නිදන් කාඩ් එක ගන්න ඕනේ.එක අටසිය අසූවයි.”
“හරි ඔය අටසිය අසූවට දාහක්ම අරගෙන මට නවදාහක් දෙන්නකෝ” මම කිව්වා.
“එහෙම බෑ මහත්තයා.කලින් ගන්න ඕනේ නිදන් කාඩ් එක නැත්නම් දිනුම දෙන්න බෑ.”
“මාර වැඩේනේ මම ගාව සල්ලි නෑනේ එච්චර.ඔය 1500 ක්ම අරගෙන මට ඉතුරු ටික දෙන්න”මම ආයේ කිව්වා.
“බෑනේ මහත්තයා,මේකේ පිළිවෙලක් තියනවනේ.”මිනිහා කියනවා.මමත් ඉතින් කිව්වා “එහෙනම් කරන්න දෙයක් නෑනේ ඔයාම නිදන් කාඩ් එක අරන් දිනුම ගන්න කමක් නෑ.”කියල ඔන්න මම එතනින් එන්න ලෑස්ති උනා.ඒ ගමන මේ හාදය මගෙන් දැන් රුපියල් දහයක් ඉල්ලනවා.දිනුම තිබුන හින්ද රුපියල් දහයක් ඕනෙලු දැන්.
“ඔයාට දහයක් දෙන්න ඕනේ නෑනේ.ඔය දිනුම දහදාහක්ම තියෙන්නේ ඒක ගන්න”
“එහෙම බෑනේ මහත්තයා,මේකේ පිළිවෙලක් තියනවානේ.”
මමත් ඉතින් බැරිම තැන දහයක්  ගන්න කියලා මිනිහට පනහක් දුන්න.මනුස්සයා ගාව එකට මාරු නෑ.මිනිහගේ වෙන ගෝලයෙක් මාත් එක්ක කඩේකට ගියා 50 මාරු කර ගන්න.යමින් ගමන් කියනවා.”අපරාදේ නේද,දහදාහක් මිස් උනානේ.මහත්තයාගේ ගෙවල් ලගනම් ගෙදර ගිහින් සල්ලි අරන් එන්න.”
“මරුනේ,මම සල්ලි අරන් එද්දී ඒ ගොල්ලෝ ඉඳීද,ටෙලිපෝන් නොම්මරයක් නැද්ද?”මම ඇහුවා.නොම්මරයක් තියනවනම් එකත් එක්කම බෝ ගහ ගාව පොලිස් කූඩුවට දන්වලා යන්න.කොහොම හරි එහෙම නොම්මරයක් හම්බවුනෙත් නෑ.මම ඉතුරු රුපියල් හතලිහ ඉල්ලගෙන එන්න ආවා.

ඊයේ පෙරෙයිදා යාලුවෙක් ඔය කඩවල බෙල්ට් ඒක විස්සට විකුණලා,හිල් විදින්න හිලකට දහය ගානේ ගන්න කතාවක් කිව්වා.ඒක අහද්දී තමයි මට මේ පරණ යටගියාව මතක් උනේ.කාලේ ගතවෙලා ගියත් මිනිස්සු හොයා ගන්න තුට්ටු දෙක වංචාවෙන් ගන්න සංස්කෘතියනම් වෙනස් වෙලා නෑ තාමත්.මේ වගේ කෙහෙල්කන් කපන මට්ටමේ හොරු වගේම,නීත්‍යානුකූලව අපිට තට්ටු කරන බලය තියන හොර රෑනත් යහතින් ඉන්නවා නොවැ.ඔය සේරම ලොකු,පොඩි හොරු මැද්දේ ඒක අතකින් බැලුවමඅපි මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්.

ආවා….ආවා….පරිසර දූෂණයට තිත.

පරිසර දූෂණය සිද්ධවෙන අලුත්ම විදිය ලංකාවේ “පරිසර දූෂණයට විරුද්ධ විද්වතුන් කමිටුව “කියන පර්යේෂක කණ්ඩායමක් හොයාගෙන තියනවා.ඒ තමයි ආණ්ඩුවට විරුද්ධව පෝස්ටර් ඇලවීම.මේ ආණ්ඩු විරෝධී සංවිධානාත්මක කල්ලියට හෝ කීපයට බටහිර රටවලින් ආධාර ලැබෙනවා කියලත් සක්සුදක් වගේ ඔප්පු වෙලා තියෙන්නේ.කෝටි ගණන් එහෙම ආධාර නොලැබෙනවානම් මෙච්චර පාන්පිටි ගණන් යද්දී පාප්ප හදල පෝස්ටර් ගහන්නේ කොහොමද කියලා කමිටුව ප්‍රශ්න කරනවා.ඒ අතරේම දේශීය හාල්පිටි පාප්ප වලින් පෝස්ටර් ගහමින් පරිසරය සුරකින්නට විශාල තල්ලුවක් දෙන ටියුෂන් මාස්ටර්ලා  ,සිනමාශාලා හිමියන් ,වේදිකානාට්‍ය කාරයන්  සහ තවත් එවැනි පෝස්ටර්කාරයන් වැඩි වැඩියෙන් දිරිමත් කරන්න අනාගතයේ පහසුකම් සපයන්නත් කමිටුව පියවර ගනිමින් ඉන්නවා.

ශබ්ද දූෂණය සිද්ධවෙන අලුත්ම විදියත් කමිටුව මේ එක්කම හොයාගන්නට සමත් වුනා.ඒ ආණ්ඩු විරෝධී කතාබහේ යෙදෙන පුද්ගලයන් කතාබහේදී නිකුත් කරන ශබ්ද නිසා ඇතිවෙන පරිසර දූෂණය.කමිටුව වැඩිදුරටත් හොයාගත්තේ ආණ්ඩුවේ දේශපාලන රැස්වීම්වලට ගස් බැඳපු ලවුඩ්ස්පීකර් නිකුත්කරන්නේ මේ පුද්ගලයන් නිකුත් කරන ඩෙසිබල් ප්‍රමාණයෙන් දහඅටෙන් එකක් කියලයි.මේ දූෂණය නැවැත්වීමේ පලවෙනි පියවර විදියට ලංගම බස් සහ දුම්රිය වගේ පොදු ප්‍රවාහන සේවාවල ආණ්ඩු විරෝධී කතාකාරයන් ගමන් කිරීම තහනම් කරනවා ඇති.එයින් බලාපොරොත්තු වෙන්නේ කන්තෝරු දුම්රිය වැනි පොදු ස්ථානවල මෙවැනි කතාකාරයන් එකතුවෙන එක වැලැක්වීම.

වායු දූෂණයට ප්‍රධානම හේතුව විදියට කමිටුව හඳුනාගත්තේ පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවල විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ  සහ මහින්දට චන්දය නොදුන්න චන්දදායකයන්ගේ වාහනවලින් පිටවෙන දුම් වලාවන් විදියටයි.කොමිස් ගසා ලබාගත්තු සුපිරි වාහන වලින් රට පුරා සැරිසරන මේ පිරිස වායුගෝලයට එකතු කරන කාබන් මොනොක්සයිඩ් ,ඊයම් ඇතුළු විෂ අංශු  ප්‍රමාණය පුත්තලම් සිමෙන්ති කම්හලෙන් වායුගෝලයට එකතුවෙන මිනිසාට අහිතකර අංශු ප්‍රමාණය මෙන් හතලිස් තුන් වාරයක් දරුණු බවයි දත්ත වාර්තා හෙළිකරන්නේ.මේ වායු දූෂණය පිටුදැකීමේ මූලිකම පියවර විදියට විපක්ෂ මන්ත්‍රීන්ට කාර් පර්මිට් දීම නැවැත්වීම යෝජිතයි.ඒ වාගේම අදාළ චන්දදායකයන් වාහන මිලදී ගැනීමේදී සියයට හාරසිය විසි අටක පරිසර ආරක්ෂක බද්දක් පැනවෙනු ඇති.

මේ කමිටු තීරණ පරිසරය සුරැකීමට අනාගතයේ ලොකු පිටුබලයක් වෙනු ඇති කියලයි කමිටු සභාපතිතුමා විශ්වාසය පළකරන්නේ.මෙයට තවත් එකතු විය යුතු පරිසර ආරක්ෂක උපක්‍රම ඔබට යෝජනා කල හැකිනම් නොවලහා කමිටුවට ලිඛිතව දන්වා සිටින්න.හොඳම යෝජනා වලට මාසයක් කන්න සෑහෙන පාන් නොමිලේ.

සොඳුරු අඳුරු සළුව මිතුරු..

දෙයියෝ තමයි අඳුර දුන්නේ
අපේ ඇඟපත නිවාලන්න,
යමන් කලුවේ ගාල් වෙලා
අඳුරු රෙද්ද පොරව ගන්න….
සිංහල පොතේ කවි පේලියේ තිබුණ අඳුරු රෙද්ද මුළු වටපිටාවම වෙලාගෙන.ලාම්පු එළියෙන් විතරක් එලිය වෙච්චි ගෙවල්වල එලිය ඈත තැන් තැන් වලින් දිලිසෙනවා,කණාමැදිරියෝ එක්ක තරඟෙට වගේ.පුංචි පුංචි ලයිට් එලි වගේ ගස් අස්සෙන් ගස් උඩින් උන් පියඹලා යන අපූරුව.මට එකෙක් දෙන්නෙක් අල්ලගන්නකම් ඉවසුමක් නෑ.පුංචි කුප්පියක් අරගෙන එක ඇතුලට දාල ගේ ඇතුලින් තියා ගන්න.”අල්ලනවා හෙම නෙවයි උන්ව.කෑවොත් හොඳ කරන්න අහසේ තරුයි මුහුදේ මඩයි ඕනැ වෙනවලු”. අම්මගේ කතාව හිතට පුංචි බයකුත් ගෙනාවට,එකෙක් අල්ලාගෙන ගේ ඇතුලේ තියාගන්න ආසාව එයිට වඩා දහස් ගුණයක්නේ.

ඒ අතරේ බිම දිගේත් කොළ පාට ලයිට් එළියක් ඇදෙනවා.ආ,ඒ කෝච්චිය බදුලු යනවනේ.කණාමැදිරියෙක් අල්ලගන්නවාට වඩා රෑ බදුල්ලා අල්ල ගන්න වැඩේ ඊට අපූරුයි.වඩු කුරුල්ලත් රෑට කූඩුව එලිය කරගන්නේ රෑ බදුල්ලෙක් කූඩුවට අරන් ගිහිල්ලලුනේ.ඉතින් අපි රෑ බදුල්ලා පස්සෙන් යනවා ඔන්න.කොහොම හරි අපේ පුංචි කුප්පියට කොටුවුණු රෑ බදුල්ලා ටිකකින් ඔන්න ගේ ඇතුලේ.එත් එක දිහා බලාගෙන දිගටම ගේ ඇතුලේ ඉන්නේ කොහොමද?තව කොච්චරක්නම් දේවල්,පුංචි ළමයින්ගේ හිතට ප්‍රශ්න අරන් එන අපූරු දේවල් මේ කළුවර අහස යට තියනවාද.හරියට කලාතුරකින් දවසක මිදුල කෙලවරේ පොල් ගහ යට පිපෙන ලා නිල් පාට එලිය මවන හතු වගේ.

ක්‍රීක්,ක්‍රීක් ගාල රැහැයියෝ කෑ ගහන්න පටන් අරගෙන.එක පැත්තකින් ඉවරවුණු ගමන්ම තවත් පැත්තකින්.ඉවරයක් නැතිව දාල තියන රේඩියෝ එකක් වගේ.ඔච්චර කෑ ගහද්දි  රැහැයියන්ගේ කට රිදෙන්නේ නැද්ද මන්දා.”උන් ඔය සද්ද කරන්නේ පිහාටු වලින්නේ,ඉතින් කට රිදෙන්නේ නෑ”.අම්මා කියනවා. ඉතින් මේ පිහාටු වලින් සද්දේ එන හැටි බලන්න එකෙක් අල්ල ගන්නම ඕනෑ.එත්  කණාමැදිරියෙක් හරි බදුලු කෝච්චියක් හරි අල්ලගන්නවා තරම් ලේසි වැඩක් නෙවෙයිනේ ඒක.ඉතින් කවදාවත්ම ඒ සද්දේ එන විදියනම් බලාගන්න අපිට බැරිවුනා.

ඔය අස්සේ මෙන්න බස්සෙකුත් කෑ ගහන්න පටන් අරගෙන.හූම්…….හූම්……හූම්………බස්සාව එලවන මන්තරේ තියනවනේ අපි ගාව.

බස්සා ඉන්න ගහ කපන්න කැත්ත ගෙනෝ,
බස්සා උයල හොදි හදන්න මිරිස් ගෙනෝ…..

අපේ මන්තරේට බයවුන බස්සා සට සට ගාල තටු ගහලා පියාඹලා යනවා.ටිකකින් උඩහ ගෙදර වත්තේ ඉඳන් කෑ ගහනවා ඇහෙනවා හීනියට.ටිකකින් එතනිනුත් පියාඹලා යන්න වෙයි.ඒ ගෙදර සුසන්තලත් බස්සා එලවන මන්තරේ දන්නවානේ.

හැමදාමත් වගේ දාන් ආතාගේ බටනලා සද්දේ වෙලේ එහා පැත්තේ ඉඳන් මෙහා ගොඩටත් ඇහෙනවා.අපි නලා පිම්බහම රෑට නයි එනවා කියන්නේ,දාන් ආතාගේ  නලා සද්දෙට නයි එන්නේ නැද්ද මන්දා.බටනලා සංගීතෙට රැහැයියොත් එකතුවලා සංගීත කණ්ඩායමක් වගේ.ඒ සංගීතය අතරේම ගේ ඇතුලේ රේඩියෝ එකෙන් සංගීතයක්.ටුරුරූ……..ටුරුරූ … ,ටී එම්ගේ “ලාහිරු පායලා” සින්දුවේ වාදනය.උන්මාද චිත්‍රා රේඩියෝ නාට්‍යය පටන් ගන්නා වෙලාව.කමල් දේශප්‍රියගේ බරසාර කටහඬ මතුවෙනවා දීඝ ගාමිණී විදියට.

සමන් පිච්ච මල් ඉහිරුණු-නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු-කොච්චර ලස්සනද රෑට……

ඒ ඉහිරිච්ච සමන් පිච්ච මල් රූප ගණනාවක් මවලා අහස පුරාම.අපි අඳුනන රූප කවුද කියලා අපි අහස පුරාම හොයනවා.ඒක පේලියට තරු තුනක් තිබුණ තැන ඔන්න මම හොයාගත්තා ඉස්සරවෙලාම.ඒ කියන්නේ එතන ඉන්නේ දඩයක්කාරයානේ,ඔරායන්.ඇයි අර හත්දින්නක් තරු පන්තිය.හැබැයි එකේ තරු හතක්‌ කවදාවත් අපිට ගනින්න හම්බවෙන්නේ නෑ.ගැනෙන්නෙම තරු හයක් විතරයි.ඔය තරු හතමපේන්නේ මැරෙන්න ලංවුනාමලුනේ.ඉස්කෝලේ පුංචි යාළුවො කොහෙන් හරි අහගත්තු කතාවක්.එකත් හොඳයි,අපි කාටවත් තරු හතම පෙන්නේ නැනේ.

ඒ පුංචි දවස්,කළුවර අහස යට,වටපිටාවට ආදරය කරන්න පුරුදුකරන තක්සලාවක් වගේ.ඒ කාලේ පහුකරලා කොච්චරක්නම් කල් ගෙවිලා ගිහිල්ලද.ලෝකේ රවුම් කීයක් කැරකිලාද.එත් හිතේ මැවුණු ඒ සුන්දරම සිතුවිලි මේ රාත්‍රියේත් හිතට හීනයක් වගේ සතුටක් අරගෙන එනවා.අද ගෙදර ගියහම ඒ හීනය විඳගන්න බැරි තරමටම වටපිටාව වෙනස්වෙලා ගිහිල්ල.දාන් ආතාගේ බටනලා සද්දේ දැන් ඇහෙන්නේ නෑ.නලාව පිම්ඹත් ඒ සද්දේ නොඇහෙන තරමට වටපිට අලුත් සද්ද ඇතිවෙලා .

එත්………
මගේ දුවේ ඔබ අවදින්නම්-මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර අරන් එලියට ආවොතින්-මේ මිහිරි දේවල් නුඹටමයි.

වටාපිටාව ලෝකය එක්ක කොච්චර හැල්මේ දුවගෙන ගියත්,පුංචි දෝණිට සොබාදහම අපිට එදා උගන්නපු පාඩම නොවැරදීම කියල දෙන්න ඕනේ.එතකොට අද ඒ සුන්දර වටපිටාවට ආදරය කරන පුංචි දරුවා හෙට රටටත්,ලෝකයටත් ආදරය කරන්නට ඉගෙන ගනීවි.

ලොව දුන්න දේවල් අද අපට-හෙට ලොවට පෙරලා දිය යුතුයි.
නුඹ මේ ලොවට ආදරේනම් -මුළු ලොවම නුඹටත් ආදරෙයි.