බිකෝ-තාමත් හඬනවා නිදහස

කැලෑ නීතිය යටතේ ඔහු මරාදමා තිස් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගෙවී ගිහින්.එත් ලෝකය පුරා මිලියන ගණනක් මිනිසුන්ට තවමත් ඔහුගේ මතකය වැළලී ගිය පැරණි අතීතයක් නොවෙයි.කාලය වෙනස් වී ගියත්,දේශය වෙනකක් වුවත් ඔහුගේ ජීවයෙන් පිරීගිය ප්‍රාණය දඩයම් කර ගත්තා වූ ඒකාධිපති දඩයක්කරුවන් අදත් ලෝකය පුරා සැරිසරනවා.ඒ දඩයම් කිරීමේ උවමනාව වඩාත් වැඩියෙන් මිට මොලවාගෙන.දඩයම් ආයුධ වඩාත් වැඩියෙන් මුවහත් කරගෙන.

ස්ටීවන් බන්ටු බිකෝ,එහෙමත් නැත්නම් ස්ටීව් බිකෝ තමන්ගේ දේශපාලනය ආරම්භ කරන්නේ වර්ගවාදී සුදු පාලකයන් අතිශය අමානුෂික ආකාරයට අහිංසක කළු ජනතාව පාගාගෙන සිටි දකුණු අප්‍රිකාවකදී.නටාල් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයකුව සිටියදී  දකුණු අප්‍රිකානු ශිෂ්‍ය ව්‍යාපාරය හරහා බිකෝ වර්ගවාදයට එරෙහිව අවි අමෝරා ගන්නවා. ඒ ඔහු පළමුව සම්බන්ධව සිටි “ජාතික ශිෂ්‍ය සංගමය” සුදු  බලපෑමට යටවී කළු ශිෂ්‍යයන්ගේ අයිතීන් සුරැකීමට අසමත්වීම හේතුවෙන්, ඉන් ඉවත්වී “දකුණු අප්‍රිකානු ශිෂ්‍ය සංගමය” පිහිටුවා ගැනීම තුලින්. මේ සංගමය හරහා කළු ජාතිකයන්ට නීතිමය උපදෙස් ලබාදීම,වෛද්‍ය සායන පැවැත්වීම වැනි සමාජ ක්‍රියාකාරකම් ආරම්භ කරනු ලබනවා.

වසර ගණනාවක් තිස්සේ සුදු පාලක රෙජීමයන් විසින් පහත් පෙලේ ජන කොට්ඨාශයක් ලෙස හංවඩු ගසා ,පාගා දමමින් සිටි කළු ජාතිකයන් එවකට මානසිකව පවා හැඩ ගැසී සිටියේ තමන් පහත් පෙලේ ජන කොට්ඨාශයක් ලෙස සිතීමටයි.බිකෝ මේ කළු ජාතිකයන්ගේ හීන මානය හොඳින් වටහා ගත්තා.ඔහු ශිෂ්‍යයන්ගේ සමුළුවකදී මේ පිලිබඳ ප්‍රකාශයක් කරනවා “පීඩකයාගේ බරපතලම ආයුධය වන්නේ පීඩිතයාගේ මානසිකත්වයයි” යනුවෙන්.මෙය අද ලෝකයේ පවා තවමත් ප්‍රසිද්ධ කියමනක්.කල්ලන් පහත් මිනිසුන් බවට තිස්සේ දෙවේලේම මතුරන සුදු මන්තරයෙන් කළු ජාතිකයා මුදවා ගන්නයි බිකොගේ අභිප්‍රාය වූයේ. මේ අරමුණ ඉෂ්ඨ කර ගැනීමට ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය වඩා පුළුල් බහුජන ව්‍යාපාරයක උවමනාව රටේ ඇතිවෙමින් තිබුනේ.ඒ අත්‍යාවශ්‍ය හිඩැස පිරවීමට බිකෝ “දකුණු අප්‍රිකානු කළු මිනිසුන්ගේ සංගමය” පිහිටුවා ගැනීමේ පුරෝගාමියෙක් වෙනවා.

මේ සංගමය හරහා “ඩර්බන්” නගරය මූලික කරගෙන කළු ජාතිකයන්ගේ සාමාජීය තත්වය වර්ධනය කිරීමේ ව්‍යාපාරයක් අරඹන අතරම,එහි ආරම්භයේම ලබා ගත්තාවූ සුවිශේෂීම ජයග්‍රහණය වන්නේ ශිෂ්‍ය සංවිධාන ඇතුළුව කළු ජාතිකයන්ගේ සංවිධාන 70 ක් පමණ එකට ඒකරාශී කරගන්නට හැකිවීමයි.බිකෝට තවදුරටත් වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට අධ්‍යාපනය ලැබීමට කාලය වෙන් කර ගැනීම පහසු වුනේ නෑ.ඔහු වෛද්‍ය විද්‍යාලයට ආයුබෝවන් කියා පූර්ණ කාලීන අරගලය තොර ගත්නේ අනාගත වෛද්‍යවරයෙක් හැටියට සුවපත් කරන රෝගීන් ගනනට වඩා වැඩි පිරිසකගේ අනාගත සුවය උදෙසායි.තමන්ගේ අනාගතයට වඩා ,දහසක් පීඩිතයන්ගේ අනාගතය වටිනා ලෙස සැලකු නිසායි.

තවත් වසරක් ගතවුණ තැනදී වර්ගවාදී ඒකාධිපති ආණ්ඩුව විසින් බිකෝ යනු දුරු කල යුතු පිළිලයක් ලෙසට තීරණය කර ඔහු ඇතුළු තවත් ශිෂ්‍යයන් 7 දෙනෙකුගේ දේශපාලන කටයුතු තහනම් කරනු ලබනවා.එතැන් සිට ඔහුට ගමන් බිමන් වල යෙදීම,කතාපැවැත්වීම සහ ලේඛන කටයුතුවල යෙදීම තහනම් වෙන අතර ඔහු තම නිවස තුලම නිවාස අඩස්සියට පත්වෙනවා.නමුත් ආණ්ඩුවට බිකෝගේ දේශපාලනික කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමේ හැකියාව ලැබෙන්නේ නෑ.ඔහු නිවාස අඩස්සියේ හිඳම දිගටම රහසිගතව දේශපාලන කටයුතුවල නියැලෙනවා.අතරතුර එක අවස්ථාවකදී නිවසෙන් බැහැරව ගමන් කරමින් සිටි බිකෝ පොලිස් මුරපොලකදී අහම්බයෙන් පොලිස් පරික්ෂාවට ලක්වීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්වන්නේ ආණ්ඩුව ප්‍රීතියට පත් කරමින්.

මේ කළු කරදරයෙන් මිදීමට ලද පළමු අවස්ථාවේම ප්‍රයෝජනය ගන්නා සුදු ආණ්ඩුව යටතේ පොලිස් සිර මැදිරියකදී දහසක් වධ වේදනාවන්ට ලක්වූ බිකෝගේ  ජීවිතය  31 වන වියේදී අවසාන වෙනවා.ආණ්ඩුව වහා නිවේදනයක් නිකුත් කරන්නේ නිරාහාරව උපවාසයක් කල බිකෝ ඒ හේතුවෙන් මියැදුණු බව.කොයි හැටි වෙතත් බිකොගේ සගයෙක්ද, සුදු ජාතික පුවත්පත් කතුවරයෙක්ද වූ “ඩොනල්ඩ් වුඩ්ස්ගේ”රටින් පලාගොස් කරන ලද හෙළිදරව්ව සත්‍ය සිදුවීම් ලෝකය හමුවේ විවර කරනවා.ඉතින් තම ජීවිතය කැපකරමින් මානව යහපත වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල මේ නිර්භීත මිනිසා අදටත් ලෝකය පුරා සිහිපත් කෙරෙන්නේ ගෞරවයෙන්.

බිකෝගේ අරමුණ වූ කලුජාතිකයන්ට ඔවුන්ගේ සමාජය,සංස්කෘතිය පිලිබඳ ආඩම්බරයක් ඇතිකිරීමේ ක්‍රියාවලිය ඔහුගේ මරණය වෙද්දී තරමක් දුරකට සාර්ථක වී තිබුනේ.මිය ගිය ඔහුගෙන් වර්ගවාදී ආණ්ඩුවට ඇතිවූයේ ජීවත්ව සිටියාට වඩා වැඩි තර්ජනයක්.ඒ අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව සම්බාධක පනවන්නට තීරණය කළා.අනතුරුවයි  කාලයත් සමග පාලනය වෙනස් වූ දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ට අද වන විට වඩා යහපත් සමාජයක් ගොඩනැගී තියෙන්නේ.

ඒ ඒකාධිපතිවාදයේ පස අදටත් මෙවන් සොඳුරු මිනිසුන් ජනිත කරවන බිමක් ලෝකය පුරා විවිධ අහුමුලුවල හදමින් ඉන්නේ.තිස් වසරක් එපිට පාලක රෙජීමයන් විසින් මෙහෙයවූ මර්ධන හස්තය අදටත් වෙනත් ආකාරවලින් වෙනත් නම්වලින් ලෝකය පුරා දිගුවෙමින් පවතිනවා.මේ අතීතය අද රටේ ලෝකයේ සිදුවීම සමග කෙතරම් සමපාත වෙනවාද යන්න දවසින් දවස තහවුරු වෙමින් පවතින්නේ.මේ ඉතිහාසය සමහරවිටෙක මතුයම් දිනක තවත් ආකාරයකට,තවත් භූමියකදී ලියවෙනු ඇති.ඒ ආකාරයටම මෙවන් ජීවිත පරිත්‍යාගයන් පුද්ගලික දියුණුවක් බලාගෙන, වැලයන අතට මැස්ස ගැසීමට නොදන්නා උන්ගේ පුහු ක්‍රියාවන් ලෙස හඳුනාගන්නා පිරිසක්ද නිසැකයෙන්ම සිටිනවා ඇත.නමුත්, අද දවසේ තලා,පාගා,පොඩිකරදමන්නාවූ මෙවන් මිනිසුන් අනාගත සමාජය ආදරයෙන් සිහිපත් කරන්නාවූ දවසක්ද උදා නොවී තියෙන්නේ නැතැයි සිතිය හැකිද?