මහ වතුරක මරු ගමනක්


 

මේ ලියුමේ මාතෘකාව “ගුලි”එහෙමත් නැත්නම් ගුණදාස ලියනගේ  මහත්තයාගේ කෙටිකතාවක තිබුණු නම.බොහොම පුංචිකාලේ කියවපු ඒ කෙටිකතාව හදිස්සියේ අවුරුදු බර ගණනකට පස්සේ මතක් උනේ මේ දවස්වල වහින වැස්ස හින්ද තමයි.වැස්සත් එක්ක බැඳිච්ච පොඩිකාලේ මතකයන් ගුලි මහත්තයාගේ කෙටිකතාව වගේම තාමත් අමතක නොවී හිතේ තියෙන්නේ.

මුරුගසන් වරුසාව වගේ වහිනවා වහිනවා ඉවරයක් නැතුව.ඔය මුරුගසන් වරුසාව කියන්නේ ලෝකේ විනාස වෙන්න වහින වැස්ස කියලනේ කියන්නේ.ඔය වැස්සට තෙමුන මිනිස්සුන්ට අනික් මිනිස්සු මුවන් හැටියටත් , තණපත් කඩුපත් හැටියටත් පේනවා කියල තමයි කටවහරේ තියෙන්නේ. ඊට පස්සේ මිනිස්සු ඕවායින් ඇනකොටාගෙන විනාස වෙනවා කියනවනේ.මෙහෙම වහින කොට හොඳ හයිය නැට්ටක් තියන මොර ගෙඩිත් බිම වැටෙනවානම් ඒ තමයි මොර සූරන වැස්ස.අපේ ආච්චි ඉද්දිනම් ඕකට කියන්න නා කපන වැස්ස.නැත්නම් අනෝරා වැස්ස.ආතා කියන්නේ අද වහින්නේ බොලන් වැස්ස උපන් දවසේ වගේනේ කියල තමයි.

අපි පුංචි සන්දියේනම් මෙහෙම වහිනකොට පුදුම සන්තෝසයක් දැනෙන්නේ.එක හේතුවක් ඉස්කෝලේ යන්නේ නැතුව ගෙදර ඉන්න ලැබෙන එක.ගෙදර තියන තරම් පරණ පොත්වලින් කොළ කඩල බෝට්ටු පාකරන එක.බෝට්ටුවේ කපිතාන් හැටියට කූඹියෙක් අල්ලලා දාල වතුරේ යවන අපේ බෝට්ටු තරඟෙට වැහි වතුර දිගේ ගහගෙන යනවා.ඔය සේරම පරද්දන්න ලැබෙන ලොකුම ලොකු සන්තෝසේ තමයි ඔයේ වතුර අපිව බලලා යන්න වගේ ඕවිටත් වෙලත්  පහුකරගෙන අපේ වත්ත මායිමටම එන එක.ඔය පිටාර දානකොට අපේ පාරේ බස් යන එකත් නවතිනවා.හත්වලේ බෝක්කුව ගාවින් තමයි ඔයේ වතුර පාර හරහා යන්නේ.ඉතින් එතනින් ආයේ ඔය ආපහු යනකම් බස් යන්නනම් හම්බවෙන්නේ නෑ.ගමේ උදවිය ලොකු හබරල කොළ ඉහලගෙන චිරි චිරි වැස්සේම යනවා වතුර ගලලා තියන හැටි බලන්න.

වතුර වත්ත පල්ලෙහාටම ආවම මුළු වෙල් යායම දුඹුරු පාට වතුරින් යටවෙලා.හරියට මහා විසාල ජලාසයක් වගේ කෙළවරක් පෙනෙන්නේ නෑ.වෙලේ මහනියරවත් අඩුමගනනේ දකින්න හම්බවෙන්නේ නෑ.ඉතින් අපේ මාමලා වගේ ලොකු උදවිය කෙහෙල්ගස් එහෙම කපල ඉක්මනටම හදනවා කෙහෙල් කොට පාරුවක්.කෙහෙල් කොට පේලියට තියල,ඒවා ලී කෑලි ගහල එකට හයි කරලා, ලනු දෙපොටක් දාල බඳින එක විතරයි තියෙන්නේ.එකම පාඩුව කපපු කෙහෙල්ගස් හරි වඳ බැහැපු කෙහෙල්ගස් හරි නැතිවුනොත්,හොඳ කෙහෙල් ගස් ටිකක් විනාස කරන්න වෙන එක විතරයි.පාරුව පදින්න පොල්පිති හබලකුයි,දිග රිටකුයි හොයාගත්තම ඔන්න දැන් යාත්‍රාව දියත් කිරීමේ කටයුතු සර්ව සම්පූර්ණයි.පාරුව ගමනේ යෙදෙද්දී පුංචි මල් වැස්සකුත් තියනවනම් අපිට හරිම සන්තෝසයි ඒකට තෙමි තෙමි යන්න.අව් රැල්ලකුත් එක්ක  පුංචි මල් වැස්සකුත් තියනවනම් ඒකට කියන්නේ “අව්වයි වැස්සයි,නරියාගේ මගුලයි”කියල නොවැ.

ඔහොම හදන පාරුවලට නගින කොල්ලෝ කුරුට්ටෝ සේරම කරන්න දවස පුරාම වතුරෙන් යටවෙච්චි වෙල් යාය පුරාම කෙහෙල්කොට පාරුව පදින එක තමයි.පාරුව පැදගෙන ගිහින් වෙල පහුකරලා ඕවිටට ආවම මෙන්න තියනවා ඕනෑතරම් කුරුම්බා තියන  ගස්. “කුබෝටා” කියල නමක් වැටිලා තිබුන එගොඩහ ගොඩේ කොලුවෙක් තමයි ඔය ගස් නගින්න රුසියා.මිනිහා දනි පනි ගාල පොල් ගස් දෙක තුනකට නැගලා සේරටම සෑහෙන්න වෑවර  කඩනවා. කොල්ලෝ කුරුට්ටෝ ටික කෙහෙල් කොට පාරුවේ ඉඳගෙනම ,පාරුව පොල්ගහකට පාරුගුරම් දාලා (නැංගුරම් දාන්නේ නැව් වලට නොවැ) කුරුම්බා කපාගෙන බොනවා ඔන්න.පොල් ගස් අයිති කාරයෝ එයි කියල මේ දවස්වල කිසි බයක් වෙන්න ඕනේ නෑ.ආවොත් එන්න වෙන්නේ අපි වගේම කෙහෙල් කොටයක පිහිටෙන්ම තමයි. පරණ ලොරි රෝදවල ටියුබ් එහෙම තියනවනම්  මහතුන්ගේ බයිසිකල් වින්කලෙන් පැච් දාල හුලන් ගහගත්තහමත් ඒකත් හොඳ බෝට්ටුවක් තමයි.පොල් පිත්තක් කපල හබලක් හදාගන්න එක විතරයි අඩුවකට හිටින්නේ.

තව ටිකක් දුරට පාරුව පැද්දොත් එන්නේ බඩපිණුම් ගැහීමේ දස්සයන්ගේ වාරේ තමයි.වතුරට ගොඩ ඉඳන් නැමිලා තියන නා ගහක අත්ත දිගේ බඩගාගෙන ගොහිල්ල වතුරට පිනුමක් ගහල පනින එක කරන්න පුළුවන් ඈයෝ හිටියේ ඔය කොලු කුරුට්ටන්ගෙනුත් බොහොම ටික දෙනයි.”කුබෝටා” එහෙම ඔය වැඩේටත් දස්සයා.ඔතනින් ආපහු හැරිලා ගෙදර පැත්තට එන්නේ නැතුව ඕනෙනම් ඕවිට දිගේම පාර පැත්තට පාරුව පැදගෙන යන්න පුළුවන්.හැබැයි වතුරෙන් යටවෙලා තියන , ගඩොල් කපන්න මැටි ගන්න වලවල් උඩින් එහෙම යන්න වෙනවා.යන සේරම උදවියට පාරුව පෙරලිලා ගියොත් යන්තම් හරි ජබු ගහගහ ඉන්න පුළුවන් හින්ද පාරුව ඉතින් පාර දිහාවටත් යාත්‍රා කරනවා.

පාලම උඩත් දහ පහළොස් දෙනෙක්වත් ඉන්නවා ඔය දිහා බලාගෙන.පාවෙලා එන ලී කොට,පොල් එහෙම ගොඩට ඇදල ගන්න.හොඳටම පීනන්න පුළුවන් උදවිය වැඩ පෙන්නන්නත් එක්ක පාලමේ ඇන්ද උඩට නැගලා ඔයට පැනලා පහලට පීනනවා.මේ මහ සැඩ වතුරේ පහලට පීනුවට ආපහු කාටවත් උඩහට පීනන්නනම් බැහැ.ඉතින් ඔය උදවිය කොහේ හරි ඈත තැනකින් ගොඩට ඇවිදින් පයින්ම  ආපහු එනවා පාලම ගාවට.අපිත් ඔය සේරම දේවල් බලල කරලා ආපහු කෙහෙල්කොට යාත්‍රාවෙන් අපේ ගෙවල් තියන ඉසව්වට යාත්‍රා කරනවා.ඒ ගමනට එක්කහු වෙන්න බැරිඋන උදවිය ආපහු එන පාරුවක් බලාගෙන ඉන්නේ ඊළඟ ගමන යන්න.

කීප දවසක් ගතවුණාට පස්සේ හෙමිහිට වතුර බැහැල යන්න පටන් ගන්නවා.වතුර බහිද්දීනම් අපේ යාත්‍රාව දියත් කරන්න ගෙදරින් ඉඩ හම්බවෙන්නේ නෑ.ඒ බහින වතුරත් එක්කම අපිත් ඔය පහලට බැහැල යයි කියලා බය වෙලාද කොහෙද.වතුර බැස්සට පස්සේ රොන් මඩ පිරිලා ලියැදි සේරම දුඹුරුපාට වෙලා.සමහරවිට  අස්වැන්නත් බොහොමයක් විනාස වෙලා ගිහින්.එත් ඉතින් මොනවා කරන්නද.සොබාවදර්මේ හැටි තමයි කියල මිනිස්සු හිත හදා ගන්නවා.

හැබැයි මේ අවුරුද්දේ මෙයාකාර වැහැලත් අපිව බලන්න ඔයේ වතුර ඇවිත් නෑ.හුඟක් අය කියන්නේ වැලි ගොඩදැමිල්ල හින්ද ඔය ගැඹුර වැඩිවෙලා කියලා.ඒ කතාවත් ඇත්ත වගේ තමයි.ඉතින් මීට පස්සේ කොච්චර වැස්සත් පිටාර දාන වතුර අපේ වත්ත මායිමට එන එකක් නෑ කියලයි මට හිතෙන්නේ.වතුර නාවත් මේ මුරුගසන් වරුසාවේ වෙල්යාය පෙනෙද්දී ,ඒ යාය හරහා අපේ කෙහෙල්කොට යාත්‍රාව පාවෙන හැටි මට හැමදාම මැවිලා පේනවා.

 

Advertisements

7 thoughts on “මහ වතුරක මරු ගමනක්

  1. හොඳ අපූරු අතීතයක් පණ පිහිටවලා ලියලා තියෙනවා.
    අර ඔයේ වැලි ගත්තු නිසා මේ පාර පිටාර ගැලුවේ නෑ කියන කතාව මං හිතන්නෙ ඇත්ත.
    දැදුරුඔය ඉස්සර හැම අවුරුද්දේම පිටාර ගලලා සෑහෙන ගම් ප්‍රමාණයක් යට වෙනවා. නමුත් පස්සෙ කාලෙක අසීමාන්තිකව වැලි ගොඩ දාන්න ගත්තට පස්සෙ ඒ වසර ගණනාව තුල ඔය එක පාරක් වත් පිටාර ගැලුවේ නෑ.
    නමුත් දැනට වසර දෙකතුනකට පෙර දැදුරු ඔයෙන් වැලි ගොඩ දැමීම අධිකරණ නියෝගයක් මගින් සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. (දැනටත් සුළුපරිමාණයෙන් හොරෙන් දානවා තමා) මේපාර වැස්ස නිසා ඔය ආපසු පිටාර දැම්මා.

  2. ඒ කියන්නෙ වැලි ගොඩ දාන එකෙන් හොඳකුත් වෙනව එහෙනම්.

    ලස්සන අතීතයක් තමයි. මේ අත්දැකීම ලබල නැතත් ලැබුව වගේ දැණුන කියවද්දි.

  3. පුංචි කාලේ අපි ජීවත් උනු ගමේ පහල වෙල් යායවල් තිබුනට මේ කෙහෙල් කොට පාරු අත්දැකීම නම් මටත් නෑ.

    ඒත් ගමේ ගියාම යාලුවෝ ගංවතුරේ කෙහෙල් කොට ඔරු පැදපු හැටි කියපුවා මතක් උනා මේ ලිපිය කියවද්දී.

    නියමයි බන් . .

    මාර ලස්සනට ලියලා තියෙනවා.

ගල්ද මල්ද සමසිතින් පිළිගනිමී. වාරණ නොමැත.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )