කොන්ක්‍රීට් බලකාය


ඒ වැඩබිම පිහිටා තිබුනේ නගරයට සෑහෙන තරම් ඈතින්. බොහොම සුන්දර ගම්පලාතක. යන්තම් වටින් ගොඩින් කලුවර වැටීගෙන එද්දි පාරට අලි එන තරමට පිටිසරින්. ගොවිතැන් බතක් කරගෙන ජීවත්වුන මිනිස්සු තමයි අවට ගමේ සේරම හිටියේ.වැඩිදෙනෙක් අලින්ගෙන්,අවුවෙන්,වැස්සෙන් පීඩා විඳගනිමින් පොලොවත් එක්ක මුලු ජීවිත කාලයම ගැටෙමින් ඉන්න ඇත්තම අහිංසක මිනිස්සු.

පිටිසර නියම්ගමක් වෙච්චි හින්දම වැඩබිමට සමහර බඩු භාණ්ඩ සපයාගැනීමට තිබුනේ ලොකු අපහසුතාවයක්.ඒ වෙනකොට විදුලිබලයවත් නොතිබුනු ගම්පලාතක වෙච්චි වැඩබිමේ විදුලිය පවා සපයා ගත්තේ ජෙනරේටර් යොදාගෙන.වැඩබිමට කොන්ක්‍රීට් පිටතින් අරගෙන එන්න (ඔය රෙඩි මික්ස් කියන්නෙ) ලඟපාත තැනක්නම් තිබුනෙම නෑ.ඉතින් ලොකු ප්‍රමාණයක කොන්ක්‍රීට් දැමීමකදි වැඩබිමේ තිබුනෙ ලොකු දුෂ්කරතාවයක්.ඔය අතරෙදි සිමෙන්ති කොට්ට 950 ක් විතර යන කොන්ක්‍රීට් දැමීමක් එකවරම කරන්න  තිබුනා. එකට පිලියමක් හොයනකොට මේවගේ වැඩවලට කියාපු කණ්ඩායමක් හොයාගන්න ඔත්තුවක් ලැබුනා. එතනදි තමයි මේ කොන්ක්‍රීට් දැමීමේ සේනාංකය අල්ලගන්න ලැබුනේ.

මේ වැඩේට යොදවන මේ ඈයො “කුඩ්ඩො” කියලා කොහොමත් ප්‍රසිද්ධ කාරණාවක්. නමුත් වැඩේ කරන එකට මේ කුඩු ගැහිල්ල බාධාවක් වෙන්නේ නෑ කියන ආරංචිය හින්දා අන්තිමේදී “කොන්ක්‍රීට් බලකාය” මේ වැඩේට කැඳවන්න තීරණය උනා.ඉතින් අදාල දවසෙදි කණ්ඩායම,කණ්ඩායම් නායකයා වෙච්චි මුදලාලිවත් පෙරටුකරගෙන වැඩබිමට ආවා.දැක්ක ගමන්ම ඇස් යටට ගිලුන ,ඇටකටු පෑදුන තරම් කෘශ වෙච්චි මේ “කුඩ්ඩො” කියලා අඳුනාගන්නනම් කිසි අමාරුවක් තිබුනේ නෑ. මේ මිනිස්සුන්ගේ සාරයත් උරාගෙනදෝ මන්දා මුදලාලිනම් කඳ,බඩ මහතට සාරෙට වැවිලා හිටියා.වැඩේ පටන් ගන්න කලින් කට්ටියම වාඩියකට වැදිලා මුදලාලිම සපයලාදෙන හෙරොයින් වලින් සප්පායම් වෙලයි ආවේ.ආවා කිව්වට,පාවෙලා ආවා කිව්වත් වරදක් නෑ.ආපු විදිය දැකපු ගමන්නම් කාගෙත් හිතට එන ගැටලුව මේ ඈයොන්ට හිටගෙන ඉන්නත් පණ නැති කොට බර වැඩක් කරන්න පුලුවන් වෙයිද කියලා.

කොයි හැටි වෙතත් වැඩ පටන් ගත්තහමනම් මේ මිනිස්සුන්ගේ ඈලි,මෑලි දුබලගතිය පේන්න තිබුනෙ නෑ.කර්මාන්තශාලාවක ශ්‍රම විභජනය වගේම මෙ ඈයොන්ටත් තමන්ට වෙන්වෙච්චි කාර්යයක් තියනවා මේ වැඩේදි.සිමෙන්ති කොට්ටෙ කඩල සිමෙන්ති හැලීම,එතනින් සිමෙන්ති,ගල් ,වැලි කොන්ක්‍රීට් අනන තැනට විල්බැරෝවේ දාගෙන යාම,අනන මැෂිම ක්‍රියා කරවීම,අනපු කොන්ක්‍රීට් අරගෙන යෑම වගේ මෙකී නොකී හැම දේටම ඉන්නෙ ඒ වැඩේටම පුරුදුවෙච්චි පුද්ගලයෝ.

පියවි සිහියෙන් තොරව වැඩකරන මේ මිනිස්සු හිත යොමුකරන එකම කාරණාව තමන් කරන වැඩේ විතරයි.අනපු කොන්ක්‍රීට් විල්බැරෝවෙන් අරගෙන යන මිනිස්සු අනන යන්ත්‍රයෙන් (ඒ කිව්වේ කොන්ක්‍රීට් මික්සර් එකෙන්) ඒවා විල්බැරෝවට පටවනකම් එතන තමන්ගේ වාහනය නවත්තගෙන ඉන්නවා.හැබැයි ඔය නවත්තගෙන ඉන්න වෙලාවෙදි යන්ත්‍රයේ වැඩ කණ්ඩායමේ මොකක් හරි ප්‍රමාදයකින් බඩු පටවන්න පමා වුනත්,හිස් විල්බැරෝව තල්ලු කරගෙන ගිහින් ආපහු එන්න තරම් මේ මිනිස්සු වෙනත් දේ ගැන අන්ධවෙලා ඉන්නෙ.

වාහනයක පෙට්‍රල් ඉවරවෙද්දි එන්ජිම නවතිනවා වගේ හෙරොයින් මත අඩුවේගන යද්දි කණ්ඩායමේ වැඩකරන වේගය ටික ටික අඩුවේගන යනවා.ඕක ගැන ඇහැ ගහගෙන ඉන්න මුදලාලිගේ ගෝලබාලයෝ ආයෙත් සැරයක් වාඩියට එක්කගෙන යන කට්ටියට හෙරොයින් සංග්‍රහයක් පවත්වනවා.ඔන්න ඉතින් ආයෙත් සේනාංකය සුපුරුදු වේගෙන් නැවතත් වැඩට.

කන බොන වෙලාවට පොඩි විවේකයක් අරගත්තත්,කෑමට කලින් කිසිම කෙනෙකුගේ අතපය හේදීමක්නම් නෑ.සිමෙන්ති,වැලි පිටින්ම ඔහේ කාලා දානවා. කන්න හම්බවෙන දේ මොකක් උනත් රහක් ,ගුණක් බලන්නේ නැතිව ඔහේ ගිලලා දානවා. සමහරවිට පේන්නෙනම් දෙන නිසා කනවා මිසක කෑමක උවමනාවක් නැති විදියක් තමයි.

මේ කණ්ඩායම ඇත්තටම රොබෝලා වැඩකට දැම්මා වගේ.මේ පටන් ගත්තු වැඩේ ඉවර කරන්න එදා ගිය කාලය පැය 44 ක්.එක දිගට මනුස්සයෙකුට එච්චර මහන්සියක් දෙන කර්තවයක් කරන්න පුලුවන්ද කියන එක පුදුමයක්.ඒත් මේ මිනිස්සුන්ගේ දවසින් දවස දිරාගෙන යන ශරීර කූඩුව ඔය කලින් කියපු මුදලාලි තමන්ගෙ දියුණුවට බොහොම කපටි විදියට පාවිච්චි කරමින් හිටියේ. දවසකට රුපියල් දාහ ගනනේ ඒ දවස්වල මේ කණ්ඩායමේ සමහරුන්ට හම්බවුනා කියලයි ආරංචි උනේ.හැබැයි කෑම බීම,සිගරට්,කුඩු හැම දේටම අඩු කරගත්තු පඩියක් මේ මිනිස්සුන්ට දවස අන්තිමට ලැබෙන්නේ.කොන්ක්‍රීට් කොන්තරාත්තුව ගත්තු මුදලාලි,ඒ වැඩේට ලබන ලාබෙට අමතරව මේ මිනිස්සුන්ට හෙරොයින් විකුනලත් තව මල්ල පුරවා ගන්නවා. වැඩ නැතිවුනොත් ණයටත් කුඩු ගනුදෙනුව සිද්ද වෙන හින්දා මේ මිනිස්සුන්ට මේ චක්කරෙන් ගැලවීමක්නම් නෑ.හැමදාමත් මේ මිනිස්සු මුදලාලිට ණයයි.

අතපය වලංගුනොවුණු දවස එද්දි මේ මිනිස්සුන්ට ඉතිරිවෙන්නේ ජීවිතේ නැතිකරගන්න එක විතරයි.ඒ දවස එනකොට මුදලාලිනම් සමහරවිට සමාජසේවයේ යෙදෙන ,සමාදාන විනිශ්චයකාරතුමෙක්වෙලත් ඉන්න ඉඩ තියනවා. ඒ විතරක් නෙවෙයි මතට තිත වෙනුවෙන් තිතටම පෙනීඉන්න සමාජ ශෝධකයෙක් වෙන්නත් බැරි නෑ. එත් අදටත් සවලක් ,උදැල්ලක් උස්සන්න අතපය වාරු තියන මේවගේ බලකායන් කුඩු ගහමින් වැඩ කරනවා ඇති කොහෙ කොහෙ හරි.

Advertisements

6 thoughts on “කොන්ක්‍රීට් බලකාය

  1. හරියට මී හරක්ගෙන් වැඩ ගන්නව වගේ. ඒත් ගම්වල මිනිස්සු මී හරක්ගෙන් වැඩ ගත්තට උන්ව විනාශ වෙන විදියෙ දේවල් කලේ නෑ.
    මේකනම් මහ අපරාධයක්. මිනිස්සු මත්කුඩු වලට ඇබ්බැහි කරල උන්ගෙ සාරය උරාගන්න එක. මුදලාලි අනිවාර්යයෙන්ම දේශබන්දු සම්මානයෙන් පිදුම් ලබල අඩුම ගාණෙ පළාත් සභාවට හරි යන එක සිකුරුයි. නැත්නම් මේක ලංකාව නෙවෙයි.

  2. මේක දාපු දාම බැලුවා. ඒත් මොකුත් ලියන්න බැරි උනා. මේක ගැන කීප දෙනෙකුටම කියද්දි ඇතමෙක් මේ සිද්ධිය තරමක් දැනගෙනත් හිටියා. මැෂීන් එකක් මිනිහෙක් කරන්න බැරි උනාට මිනිහෙක් මැෂීන් එකක් කරන එක සිම්පල්නෙ බලං යද්දි.
    මේක ඉන්දීය ආදර්ශයක් වෙන්න උනත් පුළුවන් නේද?

  3. අපේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙකුත් මේ විදිහට බිල්ඩිම් හදන ව්‍යාපාරෙක ඉන්නේ. එයා කියන වීදිහටත් කොන්ක්‍රීට් දානවා වගේ වැඩක් සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න හරි අමාරුයිලු. කුඩ්ඩෝ ටිකක් හොයාගෙන ආපුවාම එක හුස්මට රෑ දවල් නැතුව වැඩලු. පස්සේ ඉතින් සල්ලි දීලා පිටත් කළාම ඒ සල්ලිවලිනුත් ඒ මිනිස්සු කරන්නේ කුඩු ගහන එකමලු

  4. පින්ග්කිරීම: kottuCopy › කොන්ක්‍රීට් බලකාය

ගල්ද මල්ද සමසිතින් පිළිගනිමී. වාරණ නොමැත.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )