අට පැයක වැඩමුරයක් ඉල්ලා අරගල කල කම්කරුවන්ගේ ලෙයින් රත් පැහැගැන්වුනු කම්කරු කොඩියට තවත් රත් පැහැයක් එක්වුනා.ඒ තමන්ගේ ශ්‍රමයේ සාධාරණ අයිතිය පතා සටන්වදින කම්කරුවාට අද පාලකයන් ලබාදෙන පිළිතුරක් විදිහට. තම දහඩියේ අයිතිවාසිකම පතා සටන්කල වැඩබිම් සේවකයන්ට,රටේ අස්සක් මුල්ලක් නෑර ක්‍රියාත්මක වෙන “ගමේ චණ්ඩි” පිලිවෙළට සලකමින් සිටි පාලකයා අවසානයේදී ඇණගෙන සිටිනවා.මෙතුවක් කලක් තම ශ්‍රමයේ වටිනාකමක් ගැන අවබෝධයක් නොමැති,සමාජයේ පෙරලිවලට අසංවේදීයැයි සියල්ලන්ම සිතාහුන් මහත්වූ පිරිසකගේ සවිය පීඩකයා විසින් හඳුනාගන්නා පලමු අවස්ථාව වන්නේ මෙයයි.
පනත ගෙනා කම්කරු ඇමතිතුමා රටේ ඉන්නවාදැයි සෙවීමට අංජනම් බැලීමටයි සිදුවෙන්නේ.තව අතකින් කැබිනට් තීරණ පක්ශ මධ්‍යම කාරකසභාවෙන් අවලංගු කරද්දී ඇමතිට කතාකරන්නට වචන නැතිවාද වියහැකි.
සියලුම ජයග්‍රහණවල තනි අයිතිය ලබාගන්නා අතරම,පරාජයන්හි වගකීම කවුරුන් හෝ අවශේෂ පුද්ගලයෙක් මත පැටවීමේ සුපුරුදු න්‍යාය අනුව යමින් දැනට අසාර්ථක මේ ව්‍යාපෘතියේ වගකීම හැකි පහලම බලධාරියා වෙත පැටවීමේ කර්තව්‍යය නිසැකයෙන්ම ආරම්භ කරලයි තියෙන්නේ. සමස්ත රාජ්‍ය මර්ධන යාන්ත්රනයේම කොටසක් වූ මේ සිදුවීමට වගකියන්නට සිදුවන්නේ පොලිස් පොඩ්ඩන් කීපදෙනෙකුටයි.නමුත් තත්වයේ බරපතලකම පිළිබඳ සමාජගතවූ මතය හේතුවෙන්ම චෙස්පෙතේ නයිට්වරයෙකුත් කපාදැමීමට පාලකයාට සිදුවෙනවා.සදාචාරය පිළිබඳ නාටකයක් රඟමින් ,පොලිස්පතිවරයාටත් කරලියෙන් ඉවත්වීමටයි අණ ලැබී තියෙන්නේ.
ඒ අතරම විරුද්ධමතධාරීන් පාගාදැමීමට තැනක් ,නොතැනක් නැතිව දොඩවන, මෙය බටහිර කුමන්ත්‍රණයක්යැයි බිරුසන්දෙන වාග්මාලාව ආත්මය පාවාදෙමින් සිටින්නාවුන් ලෙස රටම හඳුනන්නා කේවට්ටයන් රෑනගේ මුවින් දෝරේ ගලායෑම ඇරඹිලා. කාලාන්තරයකට පෙර විශ්රාමගිය ,පෙර කම්කරු නායකයන්යැයි හඳුන්වාගන්නා මවුලානා කොලඹදී උද්ඝෝෂනය කරන්නේ මරාදැමුණු තරුණයාගේ මරණය සිදුවූයේ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම නිසා බව කියමින්. තවත් මේ අදහස ඉදිරියට ගෙන යෑමට අඩුවී තිබෙන්නේ විමල්ගේ සහ අනිකුත් දේශහිතෛශීන්ගේ අදහස් සහ මැදිහත්වීම පමණයි.ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය ඇමතිත් පලකරන්නේ මේ ප්රකාශයමයි.සිදුවීමේ වගකීමෙන් පලායමින් ගමන්ම,ආණ්ඩුවට පනත අකුලාගැනීමට බලකලවුන්ටත් ගලක් ගසාගෙන යෑමකි මේ.
මිනිස් බිල්ලක් ගැනීමෙන් අනතුරුව ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයන් මත පොල්ලෙන් ගසා පටවන්නට හැදූ විශ්‍රාමවැටුප් පනත තාවකාලිකව අකුලාගෙන තියෙනවා.ආණ්ඩුව ප්රකාශකරන්නේ නව යෝජනා අනුව වෙනත් ආකාරයකින් මේ පනත නැවත ගෙන එන බව. ඔය ගෙනා පනත හොඳයැයි උදම් අනමින්,අදහස් පලකරමින් සිටි,18 වැනි සංශෝධනයටත් විරුද්ධ නිසා පක්ශව අත එසවූ ,වාසු වැනි අවලංගු කාසිවලට මෙතෙක් පටලවාගෙන සිටි යට ඇඳුමත් ගලවාදමා හෙලුවෙන්ම දේශපාලනය කරන්නටයි ඉතිරිවී ඇත්තේ.
තම හැකියාව දන්නා කම්කරුවාගේ ඇස් ,පාලකයාට වෙනත් දවටනයක ඔතාගෙන එන පරණ පනතම පෙන්වීමෙන්නම් දැන් වැසිය නොහැකිවෙනු ඇති.තම අයිතීන් වෙනුවෙන් කෙලින් හිටගත් ඔවුන්ට අපගේ ආචාරය.