කොල්ලෙක් සමඟම විශ්‍රාම වැටුප් පනත වල පල්ලට.


අට පැයක වැඩමුරයක් ඉල්ලා අරගල කල කම්කරුවන්ගේ ලෙයින් රත් පැහැගැන්වුනු කම්කරු කොඩියට තවත්  රත් පැහැයක් එක්වුනා.ඒ තමන්ගේ ශ්‍රමයේ සාධාරණ අයිතිය පතා සටන්වදින කම්කරුවාට අද පාලකයන් ලබාදෙන පිළිතුරක් විදිහට. තම දහඩියේ  අයිතිවාසිකම පතා සටන්කල වැඩබිම් සේවකයන්ට,රටේ අස්සක් මුල්ලක් නෑර ක්‍රියාත්මක වෙන “ගමේ චණ්ඩි” පිලිවෙළට සලකමින් සිටි පාලකයා අවසානයේදී ඇණගෙන සිටිනවා.මෙතුවක් කලක් තම ශ්‍රමයේ වටිනාකමක් ගැන අවබෝධයක් නොමැති,සමාජයේ පෙරලිවලට අසංවේදීයැයි සියල්ලන්ම සිතාහුන් මහත්වූ පිරිසකගේ සවිය පීඩකයා විසින්  හඳුනාගන්නා පලමු අවස්ථාව වන්නේ මෙයයි.

පනත ගෙනා කම්කරු ඇමතිතුමා රටේ ඉන්නවාදැයි සෙවීමට අංජනම් බැලීමටයි සිදුවෙන්නේ.තව අතකින් කැබිනට් තීරණ පක්ශ මධ්‍යම කාරකසභාවෙන් අවලංගු කරද්දී ඇමතිට කතාකරන්නට වචන නැතිවාද වියහැකි.

සියලුම ජයග්‍රහණවල තනි අයිතිය ලබාගන්නා අතරම,පරාජයන්හි වගකීම කවුරුන් හෝ අවශේෂ පුද්ගලයෙක් මත පැටවීමේ සුපුරුදු න්‍යාය අනුව යමින් දැනට  අසාර්ථක මේ ව්‍යාපෘතියේ වගකීම හැකි පහලම බලධාරියා වෙත පැටවීමේ කර්තව්‍යය නිසැකයෙන්ම ආරම්භ කරලයි තියෙන්නේ. සමස්ත  රාජ්‍ය මර්ධන යාන්ත්‍රනයේම කොටසක් වූ මේ සිදුවීමට වගකියන්නට සිදුවන්නේ පොලිස් පොඩ්ඩන් කීපදෙනෙකුටයි.නමුත් තත්වයේ   බරපතලකම පිළිබඳ සමාජගතවූ මතය හේතුවෙන්ම  චෙස්පෙතේ නයිට්වරයෙකුත් කපාදැමීමට පාලකයාට සිදුවෙනවා.සදාචාරය පිළිබඳ නාටකයක් රඟමින් ,පොලිස්පතිවරයාටත් කරලියෙන් ඉවත්වීමටයි අණ ලැබී තියෙන්නේ.

ඒ අතරම විරුද්ධමතධාරීන් පාගාදැමීමට තැනක් ,නොතැනක් නැතිව දොඩවන, මෙය බටහිර කුමන්ත්‍රණයක්යැයි බිරුසන්දෙන  වාග්මාලාව ආත්මය පාවාදෙමින් සිටින්නාවුන් ලෙස රටම හඳුනන්නා කේවට්ටයන් රෑනගේ මුවින් දෝරේ ගලායෑම ඇරඹිලා. කාලාන්තරයකට පෙර විශ්‍රාමගිය ,පෙර කම්කරු නායකයන්යැයි හඳුන්වාගන්නා මවුලානා කොලඹදී උද්ඝෝෂනය කරන්නේ මරාදැමුණු තරුණයාගේ මරණය සිදුවූයේ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම නිසා බව කියමින්. තවත් මේ අදහස ඉදිරියට ගෙන යෑමට අඩුවී තිබෙන්නේ විමල්ගේ සහ අනිකුත් දේශහිතෛශීන්ගේ අදහස් සහ මැදිහත්වීම පමණයි.ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය ඇමතිත් පලකරන්නේ මේ  ප්‍රකාශයමයි.සිදුවීමේ වගකීමෙන් පලායමින් ගමන්ම,ආණ්ඩුවට පනත අකුලාගැනීමට බලකලවුන්ටත් ගලක් ගසාගෙන යෑමකි මේ.

මිනිස් බිල්ලක් ගැනීමෙන් අනතුරුව ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයන් මත පොල්ලෙන් ගසා පටවන්නට හැදූ විශ්‍රාමවැටුප් පනත තාවකාලිකව අකුලාගෙන තියෙනවා.ආණ්ඩුව ප්‍රකාශකරන්නේ නව යෝජනා අනුව වෙනත් ආකාරයකින් මේ පනත නැවත ගෙන එන බව. ඔය ගෙනා පනත හොඳයැයි උදම් අනමින්,අදහස් පලකරමින් සිටි,18 වැනි සංශෝධනයටත් විරුද්ධ නිසා පක්ශව අත එසවූ ,වාසු වැනි අවලංගු කාසිවලට  මෙතෙක් පටලවාගෙන සිටි යට ඇඳුමත් ගලවාදමා හෙලුවෙන්ම දේශපාලනය කරන්නටයි ඉතිරිවී ඇත්තේ.

තම හැකියාව දන්නා කම්කරුවාගේ ඇස් ,පාලකයාට වෙනත් දවටනයක ඔතාගෙන එන පරණ පනතම පෙන්වීමෙන්නම් දැන් වැසිය නොහැකිවෙනු ඇති.තම අයිතීන්  වෙනුවෙන් කෙලින් හිටගත් ඔවුන්ට අපගේ ආචාරය.

Advertisements

6 thoughts on “කොල්ලෙක් සමඟම විශ්‍රාම වැටුප් පනත වල පල්ලට.

  1. මේක අකුලගන්න මිනිහෙක් මැරෙනකම්ම ඉන්න උන එක තමයි දුක… අර අහිංසක ජීවිතය තමයි අදූරදර්ෂී තීරණ වලට වන්දි ගෙව්වේ…

  2. විමල් උන්නැහේත් කියල තිබුණ මේක අධිරාජ්‍යවාදී වුවමනාවන්‍ වෙනුවෙන් පෙනී හිටින දුෂ්ඨ බලවේගයක වැඩක් කියල. ඒ කියන්නෙ පොලීසිය විය යුතුයි.
    අන්තිමට ජෙප්පන්ගෙ කඩාකප්පල්කාරී වැඩක් ලෙස හඳුන්වල පුරුදු විදියට ආණ්ඩුව අත පිහදා ගනියි. ඒත් මැරිච්ච කොල්ලට ආපහු පණ එන්නෙ නෑ එහෙම කිව්වට.
    ජෙප්පන් නැතත් කරන හැම සක්කිලි වැඩේම හිස් මුදුනින් පිළිගැනීම වෙනුවට එහි වැරැද්දට එරෙහි වෙන්න කිසිවෙක් මූලිකත්වය ගත යුතු බව මේ අධමයින්ට නොදැනීමනම් ජාතියේ අභාග්‍යයක්.

  3. මෙය අවසානයේ ජනතා විමුක්ති පෙරමුනේ තවත් මිනිස් බිල්ලක් ගෑනීමක් ලෙස අනිවාර්යයෙන්ම සෑලකිය යුතුය…..රජයට විරුද්ධව පසුගිය කාලයේ සිදුවූ උද්ඝොශන වලදී මියගිය තරුණයන්ගේ වයස ඔබලා විමසා තිබෙනවාද? ඔවුන් සෑම විටම අවුරුදු 25 ට අඩුවීම පුදුම සහගතය…උද්ඝොෂණ එන්න පෙර මීඩියා වලින් කෑගහන එවුන් අවුරුදු 35 ඉක්මවූ පප්පලාය…ඒ එකෙක් වත් උද්ඝෝෂණ වල දී මෑරෙන්නේ නෑත…මෑරෙන්නේ කවදාවත් දෑකලා නෑති බොහොම පොඩි ” චූ කොල්ලන්ය” …උන් කිසිම හයක් හතරක් දන්නේ නෑති ගේමට බෑස්සාම ත්‍රිල් එක නිසා ලොක්කන් විසින් ඉදිරියට යවා විහින් මෑරුම් කව්වන උන්ය…ගෙවල් දොරවල්, දරු පවුල් ඉන්නේ උද්ඝොෂකයන්ට පමනක් නොව පොලිස් නිළධාරින්ට ද ඈත..ඔවුන් මියගිය විට ඒ පවුල් ද අනාථ වෙති…ඒ මිනිසුන් මියගිය විට ඔය ජේ.වී.පී. බල්ලන් සොයා ගන්නවත් බෑරිය…පොලිසිය කරපු වෑඩේ වෑරදිය..දෑන් එය තෑලෙන යකඩයක් වී ඈත..නමුත් උද්ඝොෂණයක දී හෝ වෙනයම් දේක දී හෝ පොලිසියට ගල් ගසන්නේ අහවල් කාරියකටක ද? ලන්කාවේ උද්ඝෝෂණයක් ඕනෑම තෑනක පවත්වා මීඩියා වලින් ලොකු ප්‍රසිද්ධියක් දුන්නොත් ඒ හොඳටම ඈතිය…එහෙත් ජෙප්පෝ මිනියක් කොහොම හරි මරා ගනි..උදාහරණ ලෙස ලිප්ටන් වට රවුමේ ජෙප්පන් ද , කොන්ඩයන් ද, කාන්තා සමිති ද , මෙකී නොකී සෑවොම උද්ඝෝෂණ කරති…නමුත් පොලීසියට ගෑසුවා යයි අපි නොදිටිමු…නොඈසුවෙමු…නමුත් බිල්ලක් ඕන වුනාම පොලිසියට ගල් ගසති…නෑත්තම් කොල්ලුපිටිය හන්දියෙන් ඉදිරියට පෙලපාළි මෙහෙයවති…පොලිසි වල ඉන්නෙත් ජීවිත වලට ආස , රෑකියා වලට ආස පිරිස් ය….කොහේවත් නෑති උද්ඝෝෂණ වල අතේ වෙපන් එකක් තියාගෙන තම දිවි පුදන්න ඔවුන්ට උවමනා නෑත…රොශේන් යනු උද්ඝොෂණ වලට හිටපු කොල්ලෙක් නොවේ.උද්ඝෝෂණ මග හෑර ගෙදර යන්න ගිය කොල්ලෙකි…තමන්ගේ ඉහල නිළධාරියාට ඈහෑක් පොට්ට වෙන්න ගල් ගෑසූ විට තමන්ගේ ඔලුව බේරගන්න ගල් ගෑසූ එකාත් නොගෑසූ එකාත් වෙන් කර කර ඉන්න අතේ ආයුධයක් ඈති අයෙක් සිත සිතා ඉන්නේ නෑත..( මම ඒ පොලිස් නිලධාරිය විනි නම් මම ද සමහර විට ඒ දෙය කරනු ඈත…) මේ සරල සත්ය හෑමොඅම දනිති…ජෙප්පෝ පාවිච්චි කලේ එයය…මේ බල්ලන් සෑමදා මෙලෙස මිනී බා ගත්හ..හෙට ද කරනු ඈත…තොපි ඔච්චර ජනතාවට ආදරේ නම්, විජිත හේරත්, අනුර කුමාර, ලාල් කාන්ත, වසන්ත සමරසින්හ,හඳුනෙත්ති, බිමල් රත්නායක..නම් ගොඩක් ඈත…එකෙක් ජනතාව වෙනුවෙන් මෑරිලා පෙන්නපියව් …!

    • මෙය ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බ්ලොගයක් නොවන හෙයින් ඔවුන්ගේ අඩුපාඩු සාධාරණීකරණය කරමින් ලිවීමට අපට අවශ්‍යතාවයක් නොමැත.නමුත් රාජ්‍ය හෝ සමාජ අසාධාරණයට එරෙහිව නැගෙන්නන්ගේ දේශපාලන ජාතකය නොසලකා අපි කොන්දේසි විරහිතව එයට සහය පල කරන්නෙමු.

      අවුරුදු 25 ට අඩු තරුණයන්ගේ දේශපාලනික මැදිහත්වීම පසුපස සිට මෙහෙයවීමක් පමණක් ‍යැ‍යි සිතන මහතුන්ට ,ඒ වයසේම වු නාමල් රාජපක්ෂගේ දේශපාලනය පිළිබද වගේ වගක් නැත.තාරුණ්‍යයට හෙටක්හි ක්‍රියාකාරී ලාබාල තරුණයන්ගේ දේශපාලනය පිලිබද ගැටලුවක් නැත.මෙලෝ සමාජ අවබෝධයකින් තොර ඔය වයස්වලම සිටිනා පබාගේ සහ අනර්කලීගේ දේශපාලනය පෙනෙන්නේ නැත.නමුත් තම බත් පතට පහර එල්ල වෙද්දී ඒ රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටිනා තරුණයන්ගේ මැදිහත්වීම අතිශය ප්‍රශ්නකාරී වෙයි.

      ඉඳින් අපේ මතය වන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් වු පාලකයාගේ මතය නැවත වමාරනු වෙනුවට,පීඩිතයාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම වඩා යහපත් බවයි.

      අප්පුහාමි මතුකරන පිලිගත හැකි තර්කයනම් එකම පංතියේ උන් වූ පොලිස් නිලධාරීන් හා කම්කරුවන් නොගැටිය යුතු බව.ඒ මේ දෙගොල්ලන්ගෙන් හානි වන්නේ කාට වුවත් ගැටුම නිර්මාණය කල උන් යහතින් නිසා.

ගල්ද මල්ද සමසිතින් පිළිගනිමී. වාරණ නොමැත.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )