විස්මලන්තයේ විස්කම්.

විස්මලන්තය පහුගිය වසර කීපය ඇතුලතදී ලෝක බලවතුන්ගේ ගොඩට ඇතුලත්වෙන්නට අවස්ථාව ලද රටක්.දන්නා කියන කාලෙක ඉඳන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරට වී තිබුණත්,ඒ වෙමින් පැවතුන සංවර්ධනය,කිසිදවසකදී අවසන් නොවුණු රටවල් කීපයකින් එකක්වුන විස්මලන්තය පිළිබඳ වාර්ථා වැඩසටහනක් දකින්නට ලැබුනේ අහම්බෙන් වගේ.ඒ ලෝකයේ වැඩිම ප්රේක්ෂක ආකර්ශනයක් හිමි සන්නිවේදන ජාලය වන හෝල්ටන් නාලිකා සමූහයේ හෝල්ටන් නිවුස් නාලිකාවෙන්.

“සුදුස්සට හිමි යුතුවෙයි සුදුසු තැන” යන පැරණි විස්මලන්ත කියමන ආදර්ශ පාඨය කරගනිමින් රට දියුණුවේ හිනිපෙත්තට පත්වුන බවයි වැඩසටහනේ අදහස වුනේ.කොටින්ම කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී,අදාල පුද්ගලයන්ගේ අතීත රැකියාවන්ට සුදුසු ඇමතිකමක්ම ලබාදීම අනිවාර්යයෙන්ම සිදුවන කාරණාවක්. එකපිට එක සේවක වර්ජන පැවති අතීතයක් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත්තේ ඒ නිසයි.මේ රටේ නිතර ප්රවාහන සේවයේ වර්ජන පැවතියත් මේ වෙනකොට ඒ වර්ජන අතීතයට එකතු වී හමාරයි.පැරණි පුද්ගලික බස් රථ රියඳුරෙක් සහ වර්තමාන මහාපරිමාණ බස් හිමියෙක් වෙන මුතුවට්ටි ඇමතිතුමා මතු නොව තවත් රටේ බස් රථ හිමියෙක් වන වැව්ගම ඇමතිතුමා ඒ වර්ජනවිරහිත ප්‍රවාහන සේවය ගොඩනැගීමට මූලිකවුනා.ඔවුන්ගේ ප්රවාහනය ගොඩනැගීමේ මූලධර්මය වූයේ බස් හිමියන්ගේ මනසින් ප්‍රශ්නය දෙස බැලීම.විස්මලන්තයේ කිසිදිනෙක මගීන් වර්ජනය නොකරන බවත්,වර්ජනය කරන්නේ සේවා හිමියන් සහ සේවකයන් බවත් ප්‍රවාහන අමාත්යාංරශයේ වර්ජන හේතු සෙවීමේ ත්‍රී-පුද්ගල කමිටුව මගින් හෙලිදරව් කරගත්තේ හයමසක අසීරු අභ්‍යාසයක් අවසානයේ.

ඉඳින්,ඇමති දෙකට්ටුව නව මාර්ග බලපත් නිකුත් කිරීමේදී තමන්ගේ බස් වලට පමණක් ඒවා නිකුත්කිරීම,බස් ගාස්තු වැඩිකල යුතුයැයි වර්ජනය කිරීමට පෙරම ඒ වැඩිකිරීම වැනි සරල ක්‍රම යොදාගනිමින් ප්‍රවාහන සේවය මේ තත්වයට ගෙනවිත් තියනවා.පොඩි හෝ පරහක්ව පැවතියේ ඔවුන්ට පාලනය කිරීමට අපහසුවුන දුම්රිය සේවය පමණයි.එයද ප්‍රතිසංස්කරණය කරමින් දුම්රිය මාර්ග ,දුම්රිය ,දුම්රිය ස්ථාන ආදිය කොටස් වශයෙන් විවිධ ආයතන යටතට පවරමින් සිටින්නේ. ඒ කොටස් වශයෙන් ඇමති දෙකට්ටුවට සහ තම ඉහල සගයන්ට ඒවා මිලදීගැනීම පහසු කිරීමටයි.මේ ක්‍රියාවලිය අවසානයේ සම්පූර්ණයෙන්ම වර්ජන විරහිත ප්‍රවාහන සේවයක් රටේ ස්ථාපිත වෙනු ඇති.

ප්‍රායෝගික වශයෙන් ඇමතිතුමන් කෙතරම් තම විෂය පථයට අවධානය යොමුකරනවාද සහ මැදිහත්වෙනවාද යන්න විදහාපාන ඓතිහාසික සිදුවීමක් මෑතදී සිදුවුනා.ඒ කෝටි ගනනාවක වියදමින් නොබෝදා බස් හිමියන්ගේ අයිතියට පැවරූ බස් නැවතුමක යකඩ බට කිහිපයක් නිසා බස්වලට සෙනඟ පැටවීමට පැවති අවහිරතාවය එතුමාම මැදිහත්වී ,බට කපාදමා විසඳා දැමීම.මේ ආරංචිය කණ වැකුණු නාථ දෙවියන්ද සාදුකාර දුන් වග තමාට දැන්වූ බවයි,මේ වැඩසටහනට අදහස් දැක්වූ විස්මලන්ත විශ්ව විද්‍යාල ඇදුරෙක් වන දෙයිනලීන් මහතා පැවසූවේ.

රටේ හැම පුරවැසියාම මේ වෙද්දී නීතිය හා සාමය අකුරටම ආරක්ෂා කරමින් සිටින්නේ.ඒ නව නීතිය සහ අධිකරණ කටයුතු සම්බන්ධ ඇමතිවරයා වෙන ආචාර්යය පින්ගැමුණු ඇමතිතුමාගේ උදාර සංකල්පයන් වලට අනුකූලවයි.විස්මලන්තයේ අධිකරණ සියල්ල දැන් ක්‍රියාත්මක වන්නේ නෑ.පැරණි අධිකරණ ශාලා හෝටල් සහ නිවාඩු නිකේතන සඳහා යොදාගෙන තියනවා.යම් සිද්දියක්වූ මොහොතේම ඒ ස්ථානයේම නඩුව අසා තීන්දුව දීමට ඇමතිතුමා සහ ඔහුගේ පුහුණු සහචරයන් ගනනාවක් පැය 24 පුරාම රටේ සංචාරය කරමින් ඉන්නේ.වැරදිකරුවා සතියක් ලයිට් කණුවක බැඳ තැබීම,කසපහර දීම,කණ කැපීම ආදී “ඔන් ද ස්පොට්” දඬුවම් ක්‍රමයක් හඳුන්වාදීමේ සම්පූර්ණ පේටන්ට් අයිතිය හිමිව ඇත්තේ පින්ගැමුණු ඇමතිතුමාට.පවතින ආණ්ඩුව විවේචනය කිරීම,තමාට නොදන්වා තම බලප්‍රදේශයේ සිල්ලර කඩයක් පටන් ගැනීම වැනි වඩා දරුණු අපරාධ සඳහා ඒ මොහොතේම මරණ දණ්ඩනය ලබා දීමට මේ ඇමතිතුමාගේ ක්ෂණික විහිදුම් නඩුකාර හමුදාව පැකිලෙන්නේ නෑ.මේ ඇමතිකම ලබාදීමේදිත් ඔහුගේ පැරණි නඩු ඇසීමේ හැකියාව ආණ්ඩු බලධාරීන් විසින් තදින්ම සොයා බලා තිබෙනවා.

මේ අතිශය දූරදර්ශී කලමනාකරණය නිසයි විස්මලන්තය අද ලෝක බලවතුන් අතරට එක්වී සිටින්නේ.ඒ විස්මිත කලමනාකරණය නොබෝදා පිටරැටි බැංකු කීපයකින් රුපියල් කෝටි 1600 ක් පමණ ලබාගන්නට සමත්වුනා.ඒ ඇමතිවරයෙක් සහ තවත් පිරිස දුර දක්නා නුවණින් යුතුව ගැසූ “හෙජින්” නම්වූ ගිවිසුමක් හේතුවෙන්.

මේ වෙනකොට ඇමරිකාව ඇතුලු බටහිට රටවල් මේ මහා සංවර්ධනයේ රහස් සොයා ගැනීම සඳහා විස්මලන්තයට චරපුරුෂයන් එවමින් සිටින බවයි හෝර්ටන් නාලිකාවට මේ වැඩසටහන නිෂ්පාදනය කල සුදලියගොඩ මහතා පවසන්නේ.වතුර පිරවීමෙන් පසු වරායේ ගල් කැඩීම සහ කඳු වලින් වටවූ ගුවන් තොටුපොලක් ඉදිකිරීමෙන් අනතුරුව ,ගුවන් යානා ගොඩ බැස්සවීමට වටේ කඳු කැපීම වැනි අධිතාක්ශනික කාරණාවන් මේ චරපුරුශයින් අධ්‍යයනය කරමින් සිටින බව සැලයි.තවදුරටත් ඔවුන් සොයාගෙන ඇත්තේ බටහිර රටවලින් විවිධ දොල පිදේනි ලබාදෙමින් මේ “ආර්ථික වර්ධකයන්” බිලීබා ගැනීමේ උත්සහයක්ද ඇති බව. මේ සියලු කාරණා සලකාබලා විස්මලන්ත ආණ්ඩු බලධාරීන් රටවල් සංවර්ධනය පිලිබඳ විශේෂ උපාධියක් සුමනවීර බණ්ඩා අන්තර්ජාතික විශ්වවිද්‍යාලයේදී ආරම්භ කිරීමට තීරණයකර තියෙනවා.ඉතින් විස්මලන්ත වාසීන්ට නොබෝ දිනකින්ම මේ පාඨමාලාව හැදෑරීමට විස්මලන්තයට පැමිණෙන බටහිර ප්‍රබල රටවල මුදල් ඇමතිවරුන්,බැංකු අධිපතිවරුන් වැනි පිරිස දැකබලාගන්නට ඉඩහසර ලැබෙනු ඇති.

බණ්ඩා මුදලාලිගේ අධ්‍යාපන වෙලඳාම.

සුමනවීර බණ්ඩා නිදහස් අධ්‍යාපනය කටුගෙට යැවීමේ දීර්ඝකාලීන සැලැස්ම ටිකින් ටික සාර්ථක කර ගනිමින් සිටින්නේ.කාලාන්තරයක් තිස්සේ මේ වැඩපිළිවෙල රෝපනය කරන්නට පස පෙරලමින්,වටපිටාව හදමින් සිටි භූමියට හොඳ වරුසාවක් බලා බීජ ඉසීමට බණ්ඩා දැන් කල්යල් බලනවා.

ඇමති ප්‍රකාශ කරන්නේ ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලවලට 5% ක් විදේශ සිසුන් ඇතුලුකරගන්නා බවත්,ඉදිරියේදී එම ප්‍රමාණය 10% දක්වා වැඩිකරන බවත්. මේ සිසුන්ගෙන් පාඨමාලාවන් සඳහා අයකරන ගාස්තු වල ප්‍රමාණය පවා දැන් වෙනකොට තීරණය කර හමාරයි.එම ප්‍රමාණය ඇතුලත් කරගන්නේ මෙහි අධ්‍යාපන අවස්ථාව හිමිවෙන දේශීය සිසුන් ප්‍රමාණය කප්පාදු නොකරමින්ලු.හැබැයි මෙතුවක් කලක් මෙවැනි වැඩි සිසුන් පිරිසක් ඇතුලත්කරගැනීමේ ඉඩ ප්‍රස්ථාවන්  තිබුනේනම්, ඒ ඉඩ ප්‍රයෝජනයට නොගත්තේ ඇයි යන්නට ඇමති බණ්ඩා උත්තරයක් තාමත් හදාගෙන නෑ.නමුත් උත්තර නැති ප්‍රශ්න ඉදිරියේ ගමන නවත්වන ඉතිහාසයක් ඔහුට නෑ.තම අරමුණට යෑමේ මාර්ගය වැටී ඇත්තේ හොඳින්ද නරකින්ද යන්න මෙතැනදී වැදගත් නොවෙනබව ඒ ඉතිහාසය සාක්ෂි සපයනවා.

ඉතින් සැලසුම්ප්‍රකාරව තවත් වසර කිහිපයක් යද්දී ජාතික විශ්වවිද්‍යාලවල මුදල්දී පාඨමාලාව හදාරන 10% ක් වෙන විදේශ සිසුන් ප්‍රමාණයක් සිටිනු ඇති. දැන් මෙතැනදී
මතුවන (බලෙන්ම මතුකරන) මීලඟ තර්කය පැහැදිලියි.විදේශ සිසුන්ට මුදලට ලබාගතහැකි ජාතික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන දොරටුව මෙරට සිසුන්ට නාරින්නේ මන්ද යන්න.මෙයට ලැබෙන පිළිතුරත් හෙට උදේට ඉර පායනවා නිසැක සේම ස්ථීර බව මද හෝ ඉවක් ඇති ඕනෑම පුද්ගලයෙකුට
දැනටම තේරුම්ගත හැකි.ඉතින් එකම අධ්‍යාපන ආයතනයක,එකම සිසුන් කණ්ඩායමක නොමිලේ සහ මුදලට අධ්‍යාපනය ලබන සිසුන් දෙකොට්ඨාශයක් බිහිවීමේ සංස්කෘතියක් බිහි කිරීමටයි බණ්ඩා මේ මුල පුරන්නේ.

තවත් ප්‍රකාශයක් කරන ඇමති නැවත පවසනවා,මූලික අධ්‍යාපන සුදුසුකම් නොමැති සිසුන් 20 ක් වසරකට විශ්වවිද්‍යාලයට ඇතුලත් කරගන්න බව.ඔවුන් දැඩිසේ පරීක්ෂාකර බලා තෝරාගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පවසනවා.රජයේ රැකියාවකට වුවත් අයෙක් තෝරාගන්නා, රටේ පවත්නා සංස්කෘතිය අනුව මේ දැඩි පරීක්ෂාව කුමක්දැයි රට්ටුන්ට තොරා බේරුම් කරදීමේ උවමනාවක්නම් නෑ.රාජපාක්ශිකයාගෙනුත් වඩාත්ම පාක්ශිකයා සහ මැරයාගෙනුත් වඩාත්ම මැරයා වැනි කුලක කීපයක  ඡේදන කුලකයට අසුවන්නාවූ ,අධ්‍යාපන ආයතනය තුල වඩාත් සේවයක් පාලකයා වෙනුවෙන් කලහැකි පුද්ගලයන් තෝරා ගැනීමේ දැඩි පරීක්ෂාවක්නම් පවත්වනු ඇති.

මෙම ක්‍රියාපටිපාටිය කරලියට ගෙන ඒමේදී නියතවම බාධාවන් දක්වන්නා වූ ශිෂ්‍ය කණ්ඩායම් අඩපණ කිරීමටයි  දැනටම මිලිටරි විනය සහිත ශිෂ්‍ය ප්‍රජාවක් බිහිකිරීමේ කාර්‍යය ආරම්භකර ඇත්තේ.මේ මිලිටරි පුහුණු වැඩපිළිවෙල දිගටම නොකැඩී දිවගියහොත්,බණ්ඩාගේ වැඩසටහනේ කූටප්‍රාප්තිය එලඹෙද්දී විශ්වවිද්‍යාල පිරීපවතිනු ඇත්තේ ස්වාධීන චින්තනයෙන් තොරව ඉහල අණට කීකරුවෙන හමුදා කඳවුරුවලින් නිපදවන ශිෂ්‍ය පරම්පරාවකින්.එවන් පසුබිමක් මත තවත් ඉදිරියට ගෙන එන්නාවූ වඩා තීව්‍ර විකිනීමේ පියවරයන්හිදී,ශිෂ්‍යයින් ඉතා අඩු ප්‍රතිවිරොධයක් සහ ඇල්මැරුණු උනන්දුවක් දක්වාවියැයි ඇමති උපකල්පනය කරමින් සිටිනවා ඇති.

මෙතැනින් එහාට මේ 10% සහ 90% සීරුමාරු කරගැනීමේ තියරියේ ක්‍රියාන්විතය බාධාවකින් තොරවම ඉදිරියට ගලාගෙන යනු ඇති.ඒ දේශීයත්වයට
මුල්තැන දෙන වත්මන් පරිපාලනයේ අවහිරතා මධ්‍යයේනම් නොවෙයි. ඒ අවහිරතාවයන් නොදක්වන්නේ මේ වැඩසටහනේ සාර්ථකත්වයේ ප්‍රථිඵල අඩු වැඩි වශයෙන් ඉන් සෑහෙන පිරිසකට හිමිවන නිසාවෙන්.චන්ද්‍රිකා පාලන සමයේ සමෘධිය භාර බලධරයාව සිට තනාගත් සුවිසල් මාලිගාවක හිමිකරුවාවන සුමනවීර බණ්ඩා ඇමති මේ ක්‍රියාන්විතය හරහා බලාපොරොත්තුවන්නේ කුමක්දැයි ඒ අතීතය මැනවින්ම පෙන්වා දෙනවා. ලක්ෂ 65,55,45 ආදී වශයෙන් ඇස්තමේන්තු කර ඇති පාඨමාලා අනාගත අධ්‍යාපන බලධාරීන්ට නව නිධානයන් මවා දෙන්නේ. බටහිරයන්ට පලු යන්න බැන අඬගහනා අතරම සීතලරටවල අධ්‍යාපනය ලබන්නාවූ දුවා දරුවන් හිමි දේශප්‍රේමී
පොල්මංකාරයනුත් මේ දෙස බලා සිටින්නේ නොඉවසිල්ලෙන් විය යුතුයි.ඔවුන්ටත් බණ්ඩාගේ නිදහස් කරනු ලබන අධ්‍යාපනයේ පිහිටෙන් දැනට උත්තරයක් නොමැතිව සිටින්නා වූ , බැන අඬගසන රටවලට තම දරුවන් ඉගෙන ගැනීමට යැවීමේ මේ උහතෝකෝටික ගැටලුව විසඳාගත හැකිවෙනු ඇති.

වඩාත් යහපත් ආකාරයට භාවිතාවෙන් රටට වඩා ප්‍රයෝජනයක් අත්කරගත හැකි පෞද්ගලික අධ්‍යාපනය හුදු දේශපාලනික අවශ්‍යතා සහ මූල්‍ය ප්‍රතිලාභ වෙනුවෙන්
පාවා දෙමින් සිටීම අනාගත දුවාදරුවන්ටත් සමස්ත රටටත් ගෙන එන්නේ දැවැන්ත විනාශයක්.රැකියා විරහිත උපාධිධාරීන් නොසලකා හරිමින්,වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නියැලෙන සරසවි ඇදුරන්ගේ ගැටලුව තුට්ටුවකටවත් නොසලකා හරිමින් ඔවුන් මේ අවස්ථාවේ තමන්ගේ සම්පූර්ණ බර යොදවමින් සිටින්නේ මේ විකිනීමේ කටයුත්ත මුදුන්පත් කරගැනීමටයි.

රටේ අනාගතය සඳහා කරන්නාවූ ආයෝජනයක් වෙනුවට,ලාභ ඉපැයීමේ පරමාර්ථය වෙනුවෙන් ගමන වෙනස් කරන්නාවූ අධ්‍යාපන රටාවේ අනාගතය,අනිකුත් හැම රාජ්‍ය ආයතනයක් මෙන්ම අදාල ඇමතිවරුන් සුරපුර ගෙනයන ආදායමක් ඔවුන්ට ගෙන එමින් රටට ණයක් සහ පාඩුවක් ලබාදෙන ආකාරයටම තීරණය වේදැයි දැන්නම් තියෙන්නේ සාධාරණ සැකයක්.මේ බණ්ඩාගේ අමන ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම වැලැක්වීම කල හැකිනම් එය  සමස්ත රටේ අනාගතයටම සුබ ලකුණක් වෙනු නොඅනුමානයි.