බණ්ඩා මුදලාලිගේ අධ්‍යාපන වෙලඳාම.


සුමනවීර බණ්ඩා නිදහස් අධ්‍යාපනය කටුගෙට යැවීමේ දීර්ඝකාලීන සැලැස්ම ටිකින් ටික සාර්ථක කර ගනිමින් සිටින්නේ.කාලාන්තරයක් තිස්සේ මේ වැඩපිළිවෙල රෝපනය කරන්නට පස පෙරලමින්,වටපිටාව හදමින් සිටි භූමියට හොඳ වරුසාවක් බලා බීජ ඉසීමට බණ්ඩා දැන් කල්යල් බලනවා.

ඇමති ප්‍රකාශ කරන්නේ ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලවලට 5% ක් විදේශ සිසුන් ඇතුලුකරගන්නා බවත්,ඉදිරියේදී එම ප්‍රමාණය 10% දක්වා වැඩිකරන බවත්. මේ සිසුන්ගෙන් පාඨමාලාවන් සඳහා අයකරන ගාස්තු වල ප්‍රමාණය පවා දැන් වෙනකොට තීරණය කර හමාරයි.එම ප්‍රමාණය ඇතුලත් කරගන්නේ මෙහි අධ්‍යාපන අවස්ථාව හිමිවෙන දේශීය සිසුන් ප්‍රමාණය කප්පාදු නොකරමින්ලු.හැබැයි මෙතුවක් කලක් මෙවැනි වැඩි සිසුන් පිරිසක් ඇතුලත්කරගැනීමේ ඉඩ ප්‍රස්ථාවන්  තිබුනේනම්, ඒ ඉඩ ප්‍රයෝජනයට නොගත්තේ ඇයි යන්නට ඇමති බණ්ඩා උත්තරයක් තාමත් හදාගෙන නෑ.නමුත් උත්තර නැති ප්‍රශ්න ඉදිරියේ ගමන නවත්වන ඉතිහාසයක් ඔහුට නෑ.තම අරමුණට යෑමේ මාර්ගය වැටී ඇත්තේ හොඳින්ද නරකින්ද යන්න මෙතැනදී වැදගත් නොවෙනබව ඒ ඉතිහාසය සාක්ෂි සපයනවා.

ඉතින් සැලසුම්ප්‍රකාරව තවත් වසර කිහිපයක් යද්දී ජාතික විශ්වවිද්‍යාලවල මුදල්දී පාඨමාලාව හදාරන 10% ක් වෙන විදේශ සිසුන් ප්‍රමාණයක් සිටිනු ඇති. දැන් මෙතැනදී
මතුවන (බලෙන්ම මතුකරන) මීලඟ තර්කය පැහැදිලියි.විදේශ සිසුන්ට මුදලට ලබාගතහැකි ජාතික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන දොරටුව මෙරට සිසුන්ට නාරින්නේ මන්ද යන්න.මෙයට ලැබෙන පිළිතුරත් හෙට උදේට ඉර පායනවා නිසැක සේම ස්ථීර බව මද හෝ ඉවක් ඇති ඕනෑම පුද්ගලයෙකුට
දැනටම තේරුම්ගත හැකි.ඉතින් එකම අධ්‍යාපන ආයතනයක,එකම සිසුන් කණ්ඩායමක නොමිලේ සහ මුදලට අධ්‍යාපනය ලබන සිසුන් දෙකොට්ඨාශයක් බිහිවීමේ සංස්කෘතියක් බිහි කිරීමටයි බණ්ඩා මේ මුල පුරන්නේ.

තවත් ප්‍රකාශයක් කරන ඇමති නැවත පවසනවා,මූලික අධ්‍යාපන සුදුසුකම් නොමැති සිසුන් 20 ක් වසරකට විශ්වවිද්‍යාලයට ඇතුලත් කරගන්න බව.ඔවුන් දැඩිසේ පරීක්ෂාකර බලා තෝරාගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පවසනවා.රජයේ රැකියාවකට වුවත් අයෙක් තෝරාගන්නා, රටේ පවත්නා සංස්කෘතිය අනුව මේ දැඩි පරීක්ෂාව කුමක්දැයි රට්ටුන්ට තොරා බේරුම් කරදීමේ උවමනාවක්නම් නෑ.රාජපාක්ශිකයාගෙනුත් වඩාත්ම පාක්ශිකයා සහ මැරයාගෙනුත් වඩාත්ම මැරයා වැනි කුලක කීපයක  ඡේදන කුලකයට අසුවන්නාවූ ,අධ්‍යාපන ආයතනය තුල වඩාත් සේවයක් පාලකයා වෙනුවෙන් කලහැකි පුද්ගලයන් තෝරා ගැනීමේ දැඩි පරීක්ෂාවක්නම් පවත්වනු ඇති.

මෙම ක්‍රියාපටිපාටිය කරලියට ගෙන ඒමේදී නියතවම බාධාවන් දක්වන්නා වූ ශිෂ්‍ය කණ්ඩායම් අඩපණ කිරීමටයි  දැනටම මිලිටරි විනය සහිත ශිෂ්‍ය ප්‍රජාවක් බිහිකිරීමේ කාර්‍යය ආරම්භකර ඇත්තේ.මේ මිලිටරි පුහුණු වැඩපිළිවෙල දිගටම නොකැඩී දිවගියහොත්,බණ්ඩාගේ වැඩසටහනේ කූටප්‍රාප්තිය එලඹෙද්දී විශ්වවිද්‍යාල පිරීපවතිනු ඇත්තේ ස්වාධීන චින්තනයෙන් තොරව ඉහල අණට කීකරුවෙන හමුදා කඳවුරුවලින් නිපදවන ශිෂ්‍ය පරම්පරාවකින්.එවන් පසුබිමක් මත තවත් ඉදිරියට ගෙන එන්නාවූ වඩා තීව්‍ර විකිනීමේ පියවරයන්හිදී,ශිෂ්‍යයින් ඉතා අඩු ප්‍රතිවිරොධයක් සහ ඇල්මැරුණු උනන්දුවක් දක්වාවියැයි ඇමති උපකල්පනය කරමින් සිටිනවා ඇති.

මෙතැනින් එහාට මේ 10% සහ 90% සීරුමාරු කරගැනීමේ තියරියේ ක්‍රියාන්විතය බාධාවකින් තොරවම ඉදිරියට ගලාගෙන යනු ඇති.ඒ දේශීයත්වයට
මුල්තැන දෙන වත්මන් පරිපාලනයේ අවහිරතා මධ්‍යයේනම් නොවෙයි. ඒ අවහිරතාවයන් නොදක්වන්නේ මේ වැඩසටහනේ සාර්ථකත්වයේ ප්‍රථිඵල අඩු වැඩි වශයෙන් ඉන් සෑහෙන පිරිසකට හිමිවන නිසාවෙන්.චන්ද්‍රිකා පාලන සමයේ සමෘධිය භාර බලධරයාව සිට තනාගත් සුවිසල් මාලිගාවක හිමිකරුවාවන සුමනවීර බණ්ඩා ඇමති මේ ක්‍රියාන්විතය හරහා බලාපොරොත්තුවන්නේ කුමක්දැයි ඒ අතීතය මැනවින්ම පෙන්වා දෙනවා. ලක්ෂ 65,55,45 ආදී වශයෙන් ඇස්තමේන්තු කර ඇති පාඨමාලා අනාගත අධ්‍යාපන බලධාරීන්ට නව නිධානයන් මවා දෙන්නේ. බටහිරයන්ට පලු යන්න බැන අඬගහනා අතරම සීතලරටවල අධ්‍යාපනය ලබන්නාවූ දුවා දරුවන් හිමි දේශප්‍රේමී
පොල්මංකාරයනුත් මේ දෙස බලා සිටින්නේ නොඉවසිල්ලෙන් විය යුතුයි.ඔවුන්ටත් බණ්ඩාගේ නිදහස් කරනු ලබන අධ්‍යාපනයේ පිහිටෙන් දැනට උත්තරයක් නොමැතිව සිටින්නා වූ , බැන අඬගසන රටවලට තම දරුවන් ඉගෙන ගැනීමට යැවීමේ මේ උහතෝකෝටික ගැටලුව විසඳාගත හැකිවෙනු ඇති.

වඩාත් යහපත් ආකාරයට භාවිතාවෙන් රටට වඩා ප්‍රයෝජනයක් අත්කරගත හැකි පෞද්ගලික අධ්‍යාපනය හුදු දේශපාලනික අවශ්‍යතා සහ මූල්‍ය ප්‍රතිලාභ වෙනුවෙන්
පාවා දෙමින් සිටීම අනාගත දුවාදරුවන්ටත් සමස්ත රටටත් ගෙන එන්නේ දැවැන්ත විනාශයක්.රැකියා විරහිත උපාධිධාරීන් නොසලකා හරිමින්,වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නියැලෙන සරසවි ඇදුරන්ගේ ගැටලුව තුට්ටුවකටවත් නොසලකා හරිමින් ඔවුන් මේ අවස්ථාවේ තමන්ගේ සම්පූර්ණ බර යොදවමින් සිටින්නේ මේ විකිනීමේ කටයුත්ත මුදුන්පත් කරගැනීමටයි.

රටේ අනාගතය සඳහා කරන්නාවූ ආයෝජනයක් වෙනුවට,ලාභ ඉපැයීමේ පරමාර්ථය වෙනුවෙන් ගමන වෙනස් කරන්නාවූ අධ්‍යාපන රටාවේ අනාගතය,අනිකුත් හැම රාජ්‍ය ආයතනයක් මෙන්ම අදාල ඇමතිවරුන් සුරපුර ගෙනයන ආදායමක් ඔවුන්ට ගෙන එමින් රටට ණයක් සහ පාඩුවක් ලබාදෙන ආකාරයටම තීරණය වේදැයි දැන්නම් තියෙන්නේ සාධාරණ සැකයක්.මේ බණ්ඩාගේ අමන ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම වැලැක්වීම කල හැකිනම් එය  සමස්ත රටේ අනාගතයටම සුබ ලකුණක් වෙනු නොඅනුමානයි.

6 thoughts on “බණ්ඩා මුදලාලිගේ අධ්‍යාපන වෙලඳාම.

  1. “දැනටම මිලිටරි විනය සහිත ශිෂ්‍ය ප්‍රජාවක් බිහිකිරීමේ කාර්‍යය ආරම්භකර ඇත්තේ.මේ මිලිටරි පුහුණු වැඩපිළිවෙල දිගටම නොකැඩී දිවගියහොත්,බණ්ඩාගේ වැඩසටහනේ කූටප්‍රාප්තිය එලඹෙද්දී විශ්වවිද්‍යාල පිරීපවතිනු ඇත්තේ ස්වාධීන චින්තනයෙන් තොරව ඉහල අණට කීකරුවෙන හමුදා කඳවුරුවලින් නිපදවන ශිෂ්‍ය පරම්පරාවකින්”

    එකඟතාවය උපරිමයෙන්ම පල කරනව . ඔය ඉහල මම උපුට ගත්ත කාරණය ඒ විදිහට දකින කී දෙනාද ඉන්නේ . කඩේ යන බහුතරයක් (ගිහින් ආපු උනුත් ඇතුලුව ) මැද ඔය මතය ගෙනියන්න ගිහින් මම නම් එක්තරා දුරකට හතිවැටිලා ඉන්නෙ මේ වෙනකොට

  2. හරියටනම් එක වසරකට සුදුසුකම් ලබන නමුත් උසස් අධ්‍යාපනය අහිමිවන අපේ දරුවන් ලක්ෂයකට අධික ප්‍රමාණයට තමන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු වන ක්‍රමයකුයි ඇති වෙන්න ඕනි. එතකොට තමයි නිදහස් අධ්‍යාපනයක් ඇති වෙන්නෙ. දැන් ඇති නිදහස් අධ්‍යාපනයක් නෑ. ඒත් කරන්න හදන්නෙ තවත් ඒ දරුවන්ගෙ අධ්‍යාපන අයිතිය කප්පාදු කරල වෙන රටවල අයට ඒක දෙන්න. මූට හෙණවත් ගහන්නෙ නැති එකයි පුදුමෙ.

  3. මමනම් හිතන්නෙ බන්ඩ අවංක සිතින් කියපු දේ කරනවනම් ඉතා හොඳ දෙයක් කොරන්න යන්නෙ.. කොහොමත් අපි ළෝකෙට ඕපන් මදි.. අවංකව අපේ උපාධිකාරයකුගෙයි.. ඉන්දියාවේ උපාධිකාරයකුගෙයි වෙනස බලන්න…

    • ලොකයේ වැඩිම විශ්වවිද්‍යාල ගනනක් ඇති රට තමයි ඉංදියාව.ඒවායින් බිහිවෙන උපාධිධාරීන්ගේ වැඩ වෙනත් රටවලදි බලාගන්න පුලුවන්.ඩිග්‍රී තියන ඩ්‍රැයිවර්ලත්,ඩබල් ඩිග්‍රී තියන ටයිපිස්ට්ලත්,MBA තියන කැෂියර්ලත් ඕනේ තරම්.ඉංදියානු (සල්ලි දී ගන්නා)උපාධිය අපේ රටේ උසස්පෙල තත්වයට වඩා වැඩිවෙන්නේ නෑ.අපිත් ඒ පාරෙම යමුද ඉතින්.

සමීර වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න