පල නොකල මහාවංසය

තරමක කාලෙකට පස්සෙයි ගම්පලාතෙ යන්න පුලුවන්කමක් ලබුනෙ.අන්තිම වතාවෙ ගොහින් ඇවිත් මහ කාලයක් ගත නොවුනත් තරමක වෙනස්කම් තැනින් තැන සිද්ධවෙලා.බස් පාරෙන් හැරිල අපේ ගෙවල් පැත්තට යන අතුරු පාරත් කොන්ක්‍රීට් දාලා,මහපාරට පේන වංගුව ගාවටම.එතනින් එහාට පහුගිය ප්‍රාදේශීය සභා චන්දෙන් පස්සේ කොන්ක්‍රීට් දානවා කියලා වසන්ත මන්ත්‍රීතුමා පොරොන්දුවෙලා තියනවා.ඉතින් එහෙව් පුද්ගලයෙකුට ඡන්දේ නොදී ඉන්නෙ කොහොමද කියලයි අල්ලපු ගෙදර ගීතා නැන්දා කියන්නෙ.එහෙම හිතන පාරවල් ගානක මිනිස්සු ඉන්න හින්දද මන්දා මෙදා පාරත් වසන්ත මන්ත්‍රීතුමා නූලෙන් වගෙ ප්‍රාදේශීය සභාවට පත්වෙලා තියෙන්නේ.

ඉතින් හවස් වෙන්න ඇරලා මම ඔය පාර දිගේම කඩේ පැත්තට යන්න පිටත් උනා.මාතර මාමා කොහේදෝ ගිහින් එනවා මට හම්බවුනේ ඒ අතරෙදි.මාතර මාමා අපේ ගමේ පද්මිණී නැන්දාව කසාද බැඳලා එහෙ බින්න බැහැපු මනුස්සයෙක්.ලී බඩු සාප්පුවල බඩු පොලිෂ් කිරීම වගෙ පොඩි පොඩි වැඩ තමයි රස්සාවට කරමින් හිටියෙ.රස්සාව එහෙමවුනත්, සමාජ අවබෝධයක් තියන, උසස්පෙලත් සමත් වෙච්චි කෙනෙක්.ඔය පුංචි පුංචි රස්සාවල් කරලා හම්බවෙන මුදලත් සමහරවිට සෑහෙන්න වියදම් කරන්නෙ අමුතුම තාලේ වැඩ වලට තමයි.

එක වතාවක් ඔය යුද්ධය තදින්ම යන දවස්වල “අපෙ රටේ රණවිරුවෝ” කියලා කවිකොලයක් ලියල අච්චු ගස්සවලා ගමේ ගෙවල් වලට බෙද බෙදා ගියා මට මතකයි.ගමේ කොල්ලෝ කුරුට්ටෝ එකතුකරගෙන දේශයට ආදරේ කරන්නන්ගේ සංවිධානයක් හදන්නත් සෑහෙන උත්සාහයක් දැරුවා ඒ දවස්වල,ඒ වැඩේ අසාර්ථකවුනත්.ඔය වැඩ කොච්චර තිබුනත් පද්මිණී නැන්දා එක්ක බැන අඬගහගන්නවනම් අපිට කවදාවත් ඇහිලා නෑ.සමහරවිට නැන්දාත් මාතර මාමාගේ රට වෙනුවෙන් කරන සේවයට නිහඬ සහයෝගයක් දක්වනවා ඇති.මාමා ගෙදර ඉන්නවනම් ගේ ඉස්සරහ පාරෙන් කවුරුහරි යනකම් බලාගෙන ඉන්නෙ අල්ලගන්න,රටේ තොටේ තත්වය ගැන කතා කරන්න.මමත් ඉතින් අනික් වැඩ පැත්තකට දාල ඔහොම වෙලාවට මාතර මාම එක්ක රටෙ අභිවෘද්ධිය ගැන කතා කරන නිසා මනුස්සයාට මාව කතාවට අල්ලගන්න තියනවනම් හරිම සතුටුයි.

පහුගිය අවුරුදු ගානක් තිස්සේම මාතර මාමාට තිබුනෙ එකම අරමුණයි.ඒ විජය කුමාරයාගේ ලංකාගමනයේ ඉඳලා,වර්තමානය දක්වාම ලංකාවේ කථාව ඇතුලත්කරපු ඉතිහාස පොතක් ලියන එක.මම ඔය කාරණාව දැනගන්නකොටත් ඔය වැඩේ පටන් අරගෙනයි තිබුනේ.හම්බවුන වෙලාවට හැමදාමත් කියන්නෙ මේ ලියමින් ඉන්නා පොත ගැනම තමයි.
“මේ පොත අඩු ගනනේ පිටු පන්දාහක්වත් වෙයි” මාතර මාමා කියනවා.
“එච්චර මොනවද තියෙන්නෙ ලියලා.”
“ඔයා දන්නෙ නැද්ද අපේ රටේ කොච්චර පෝසත් ඉතිහාසයක්ද තියෙන්නෙ,ඒක වර්ණනා කරලා ලියන්න ඕනේ.මේකේ කවි තියනවා,චිත්‍ර ඇඳලා තියනවා.ඉතින් පිටු පන්දාහට වැඩි මිසක් අඩු වෙන්නෙ නෑ”.මාතර මාමා  හරිම උජාරුවෙන් කියන්නේ පොතට ඇතුලත් කරන්න යන සනත් ජයසූරිය ගැන ලියාපු කවියකුත් කියන ගමන්.”ඔයා ගෙදර එනවා කිව්වට ලියපු ටික පෙන්නන්න කෝ එන්නෙ නෑනෙ කවදාවත්.” කිව්වත් වගේ කවදාවත්ම මට ලියපුටික බලන්න ගෙදරටනම් යන්න බැරිවුනා.

කරන රස්සාවත් එක්ක පොත ලියන්න හොයාගන්න තියන  කාලය අඩුවීම ගැනනම් මනුස්සයා හිටියෙ හරිම විස්සෝපයෙන්.දෙදරු පියෙක්වුන මාතර මාමා බලාපොරොත්තුවෙන් හිටියෙ ඒ වෙනකොට උසස් පෙල කරමින් හිටි දුව විභාගෙන් පස්සේ තරමක කාලෙකට හරි රස්සාවක් කරන්න පටන් ගනීවි කියලා.
“එතකොට ඒ කාලෙදි මට පුලුවන් ගෙදර නඩත්තුව එයාට බාර දීලා ෆුල්ටයිම් පොත ලියන්න”
“එහෙම සාධාරණ නෑ නේද,අනික් දුවත් තාම හයේ පන්තියෙ නේද?”
“මේක ජාතික වගකීමක්,මගේ දරුවො සංතෝෂ වෙන්න ඕනෙ මම කරන වැඩේ ගැන.ඉතින් ටික කාලයකට ඒ කැපකිරීම ඒ ගොල්ලො කරන්න අකමැති වෙන්න හේතුවක් නෑනේ”. ඉතින් ඔය උත්තරේ පලවෙනි පාරට හම්බවුනාට පස්සේ මම ආයෙත් ඔය කාරණාව මතක් කලේ නෑ තවත් වතාවක්.

ඔය කතාබහ වෙච්චි කාලෙන් පස්සෙ දුර බැහැර පලාතක රස්සාව කරන්න සිද්දවුන මට ගමට එන්න ලැබුනෙ සති ගනනාවකට වතාවක්.ඉතින් වෙනදා වගේ කඩපිලට යමින් ගමන,උදේ බස් එකට දුවමින් ගමන අපිට කතාබහක් කරන්න ලැබුනේ නෑ.ආයෙත් මට මාතර මාමාව හම්බවුනෙ දවස් දෙක තුනක නිවාඩුවකට ගමට ආපු ගමනකදි.
“කොහොමද දැන් පොත”
“සෑහෙන දුරට ඉවර කරලා තියෙන්නෙ.දුව රස්සාවට යන නිසා දැන් මට මෙ වැඩේට ලේසියි.බලන්නකෝ ටීවී වල රටට ආදරෙන් බෙරිහන්දෙන මිනිස්සුන්ගෙන්වත් මේ වැඩවලට කිසිම සහයෝගයක් නෑනේ.”
“ඇයි මොකද උනේ?”
“මම ගියා සූරිපෙරුම මහත්තයා හම්බවෙලා පොත පෙන්නලා අදහසක් ගන්න.කොහෙද පෙන්නපු ගමන් කිව්වනේ අනේ අනේ මටනම් ඕවාට ආධාර කරන්න සල්ලි නෑ කියලා.”
“ඉතින් ඔයා කියන්න එපායැ ඔයාට සල්ලි නෙවෙයි ඕනේ කියලා”
“කිව්වා,දැන් මට ඕවා බලලා විචාර කරන්න වෙලාවක් නෑ,මේ දවස්වල හරි බිසී.එහෙමනෙ උන්නැහේ මට සැලකුවේ”
“ඒක තමයි ඉතින් ඔය පොත් ප්‍රකාශකයෙකුට පෙන්නලා බලන්නකෝ සෑහෙන්න වැඩේ ඉවරනම්.”
“එයිට කලින් මම මේ ජනාධිපතිතුමා හම්බවෙලා පෙන්නන්න බල බල ඉන්නේ.මම ලියුමකුත් යවලා තියෙන්නේ.උත්තරයක් එවාවි අද හෙටම”

ඔය මාතර මාමා තමයි මම අලුත කොන්ක්‍රීට් දාපු පාර දිගෙ කඩේ පැත්තට යමින් ගමන මූණට මුලිච්චි වුනේ.කාලෙකින් තමුන්ගේ හිතේ තියන දේවල් කියද්දි අහගෙන ඉන්න මනුස්සයෙක් හම්බවුන නිසාද මන්දා මූණේ මතුවුනේ ලොකු හිනාවක්.මමත් දැක්ක සැරේම සුපුරුදු ප්‍රශ්නය ඇහුවා.
“ඉතින් කොහොමද,කොහොමද පොතේ වැඩේ”
“පොත දැන්නම් ලියලා ඉවරයි,තාම ප්‍රින්ට් කරගන්න ලැබුනේ නෑනෙ.ඒ වැඩේ පරක්කු වෙන්න වෙන්න තව තව ඉතිහාසය ලියන්න වෙනවනේ.මම ඉතින් රටේ දැන් සිද්ධවෙන සංවර්ධනය ගැනත් ටික ටික ලියනවා.”
“පොත ජනාධිපතිතුමාට පෙන්නන්න ලැබුනද?”
“තාම නෑ,එතුමාටත් ඉතින් කොච්චරක් කියලා වැඩ රාජකාරිද,නේද?”
“ඒක තමයි,තාම රස්සාවක් කරන්නේ නැද්ද,දැන් වැඩේත් සෑහෙන්න ඉවර නිසා ඔය වැඩේ කරන ගමන් රස්සාවකුත් කලානම් නේද හොඳ?”
“ආයෙත් මම පරණ පොලිෂ් කරන රස්සාවම කරන්න පටන් ගත්තා”

“ඒක හොඳයි,පොත ප්‍රින්ට් කරන්න ප්‍රකාශකයෙක් බලන්නෙ නැද්ද?”
“තාම කෙනෙක් හොයා ගන්න බැරිවුනානේ.ඒ මිනිස්සුත් බාල බාල පොත් ගහ ගහ ඉන්නවා මිසක මේ වගේ වටිනා වැඩකට අත තියන්න බයයිනේ.”
“ඒක තමයි”
ඒ වචන ටික ඇරෙන්න ,අවුරුදු ගානක් තිස්සේ හිතේ තිබුණු එකම අරමුණ තවමත් සම්පූර්ණ කරගන්න බැරිව ඉන්න මාතර මාමාට වෙනත් ධෛර්‍යය දෙන වචනයක් කියන්න මට එවෙලේ මතක්වුනේ නෑ.ආයෙත් ගමට තවත් කාලෙකින් යනකොටත් අවුරුදු හත අටක් පුරාම හිතේ එකම අධිෂ්ඨානයක් නොසැලී පවතින මේ මනුස්සයා මේ “පල නොකල මහාවංසය” අතේ තියාගෙන හිඳීවි,සමහරක්විටෙක,.

ඊලඟ ඡන්දෙන් පස්සේ තවත් වංගුවකින් එහා පැත්තට පාරේ ඉතුරු ටික කොන්ක්‍රීට් දානකම් කාන්ති නැන්දලත් බලාගෙන ඉන්න නිසා වසන්ත මන්ත්‍රී තුමාටත් තවත් කාලයකට ප්‍රාදේශීය සභාවේ පුටුව නැතිවෙන එකක් නෑ.

අඩෝ…….. සංගක්කාර .

අත පය හිරිඇර ගන්නට නෙලන්න කෙනෙක් කාලෙකින් හම්බනොවුණු විමලසිරි හිටියේ හරිම අමාරුවෙන්.ඒ විතරක්නම් මදැයි,තමුන්ගේ ආර්‍යාවත්  මෙච්චර කලක් ගෙදරදී විතරක් දාපු වලිය ටික ටික ලෝකෙටම පේන්න දාන්න ගත්තු එක ගැන විමලසිරිගේ හිතට හරිම අමාරුයි.ඉස්සර රතු පාටියේ ඉන්නැද්දී කොච්චරනම් ලෝකේ පෙරලෙන්න කෑ ගහනවද,කී දෙනෙකුටනම්  වලි අදිනවද කියල හිතෙනකොටත් හිතට දැනෙන්නේ හරි දුකක්.පහුගිය දොහේ පුරාවටම අත තියන තියන වැඩේ අල වෙලාගියේ පූරුවේ කරපු අකුසලකර්මයක් හින්දද කියලත් වෙලාවකට හිතෙනවා.

පුංචිකාලේ ගමේ සාපින් මාමගේ කඩෙන් ලෙමන් පෆ් පැකට් එකක් හොරෙන් අරන් මාට්ටු වෙච්චි දා ඉඳල ඔය බිස්කට් ජාතිය එක්ක විමලසිරිගේ තිබුනේ ලොකු ආරෝවක්.අවාසනාවකට ඔය බිස්කට් හදන ෆැක්ටේරිය ලංකාවේ එකක් වෙච්චි කොට ඔය අධිරාජ්‍යවාදී ආයතනවල නිෂ්පාදන  කන්න එපා කියල ගුස්තියක් අල්ලන්න පුළුවන් කමක් තිබ්බෙත් නෑ.අන්තිමේදී තමයි ඕක කාලම තරහ පිරිමහගන්නවා කියල හිතල මාරාන්තික උපවාසයක් පටන් ගත්තේ.උපවාසේ තිබිච්ච පැය තුනට කිලෝ තුනක් ලෙමන් පෆ් කාල තමයි යන්තම් ඒ තරහ අකාමකා ගත්තේ. ඒත් ලෝකයා තමන්ට බත්නොකන මුඛයෙනුත් හිනාවෙනවා කියන එක දැනගත්තු කොට ලෙමන් පෆ් කාපු සන්තෝසේ නැතිවෙලා ගියේ,මේ දැන් විරුද්ධ වෙච්චි දේකට රජතුමා දෙන එක ෆෝන් කෝල් එකෙන් පස්සේ පක්ෂ වෙනවාටත් වඩා ඉක්මනින්.

ඉස්කෝලේ නමේ පන්තියේ ඉන්න වංගියේ  හඳ පායපු රෑක අටේ පන්තියේ හිටපු සමන්මලී  බලන්න ඒ ගෙයි පිළිකන්නේ ටැක් ගැහි ගැහි ඉද්දි සමන්මලීගේ අයියා නන්දනට අහුවෙලා කනේ පාරක් කාපු දා ඉඳලා විමලසිරිගේ හඳ ගැන තියෙන්නෙත් ලොකු ආරෝවක්.පස්සේ කාලෙක අතිජාත මිත්‍රයා ජාගොඩ එක්ක සෙට් වෙච්චි වෙලාවක කිව්වේ දවසක හඳට පොල්ලකින් හරි ගහනවා කියලා දාගත්තු දෙක වැඩිවෙලා හෙම නෙවෙයි ඔන්න .පොඩි කාලේ අහපු පරණ කතාවක් මතක් වෙච්චි ජාගොඩ විමලසිරිට මතක් කරලා දුන්නා හදිස්සියෙවත් හඳට පොලුගහන කොට ගොරක පොල්ලකින් හෙම ගහන්න එපා කියලා.

ඔය අහුඅස්සේ තමයි අර බෑන් කී මූනා කියල හාදයෙක් කරලියට ආවේ.තැටිය රත්වෙච්චි වෙලාවේ රොටිය පුච්ච ගන්න වහාම ඉදිරිපත්වුන වීරයා ඒ මූනා මොකද මේ මූනා මොකද කියලා හිතලා,මේ මූනට පොලුගහන්නයි  ආයෙත් ඉක්මනටම සෙට් උනේ. ඉතින් මහා ජන පෙළපාලියකින් එජා කාර්යාලයට ගොහින් හඳට පොලුගහලා ,කණේ පාර කාපු තරහ යන්තම් අකා මකා ගත්තා.වැඩි දොහක් යන්න ලැබුනේ නෑ මේ නාට්ටියත් වල් උනා වගේ,රටේ තොටේ ඇහෙන කොන්ඩම් කතා වලින් දැනගත්තු විමලසිරි ඉන්තීරුවෙන්ම හිතාගත්තේ මේනම් නරක ග්‍රහ අපලයක්ම තමයි කියලා.කොයි එකටත් කියල කේන්දරේ බලවාගන්න එක හොඳයි කියල නුවණක්‌ කියල දුන්නේ,මීම නාකිඋනත් අඟ නාකි නොවෙන ජේ ආර් පී මාමා.ඉතින් විමලසිරිකොයිකටත් කියල තකහනියක්ම බ්‍රහ්මදත්ත නුවරට ගොහින් කේන්දරේ බලවා ගත්තා. සාත්තර ගුරුන්නාන්සේත් කිව්වේ හිතේ තියන තරහවල් සේරම කොහොමහරි හිරකරගෙන ඉන්නේ නැතිව පිටකරන්න කියලා නොවැ.

ඉතින් ආර්‍යාවගේ ගෝරනාඩු අහගෙන  මහා -ලඹේ තුන්මහල් ප්‍රාසාදයේ මුල්ලකට වෙලා විස්සෝපෙන් ඉන්නගමන් විමලසිරි අතීතයට නුවණ විහිදලාබලන්නේ තව මොනවද තමන්ගේ හිතේ තියන තරහවල් කියලා.ඔහොම “අල්ප දයන්නක්” වගේ වකුටුවෙලා හිටපු මිනිහා හදිසියේම”ඉංගිරිසි එල් අකුර” වගේ කෙලින් වෙලා යුරේකා කියල උඩ පැන්න සද්දෙට මෙච්චරවෙලා ආඩපාලි කියකියාහිටිය ආර්‍යාවත් තක්බීර් වෙලා ගියපි.මේ හදිසියේම මතක්වුන තරහව මොකද්ද බලන්න දුවගෙන ආවේ මුසා,”ඇයි බොසා”කීයාගෙන.ඉස්කෝලේ දහයේ පන්තියේ ඉන්න වන්ගියේ,බෑක්-බෝල් කණ්ඩායමට බැඳෙන්න තිබුන ආසාවයි මේ මතක් වෙලා තියෙන්නේ තකහනියක්ම.විමලසිරි තටු ඇවිත් වගේ පියාඹලා ගියා තමුන් බෑක්-බෝල වලට පෙම් කරපු ඒ සමනල වයසට.ආසාව නිසාම ඉස්සරවෙලාම පිත්තෙන් ගහලා කණ්ඩායමට එන්න බැලුවට එක හරිගියේ නෑ.”ඔයිට වඩා හොඳ පිත්තෙන් හරඹ කාරයෝ ඉන්නවා.”බෑක්-බෝල උගන්වන ගුරුතුමා කිව්වා.බෝලෙන් දමල ගහලා කණ්ඩායමේ තැනක් ගන්න එකත් එච්චරම හරිනොගිය තැන තමයි කඩුල්ල රකින වැඩෙන් ගොඩයන්න බැලුවේ විමලසිරි.

එකනම් ටිකෙන් ටික හරියාගෙන එද්දී අලුත් කඩුලු  රකින හාදයෙක් ආපි ඉස්කෝලෙට.අලුත් මිනිහා පෙන්නපු වැඩ ඉස්සරහ විමලසිරි සෙකන්ඩ් උනේ දවසින් දෙකෙන්.ඉතින් කණ්ඩායමට යන්න ඔන්න මෙන්න ඉන්නකොට වෙච්චි මේ වින්නැහිය හින්දම තමයි ඔය කඩුල්ල රකින උන් ගැන හිතේ තරහව තාමත් තියෙන්නේ.ඔය තරහව මේ අහුඅස්සේ මතකෙට ආවේ සංගක්කාර එංගලන්තේ ගොහින් කතාවක් කලාට පස්සේ.ඉතින් සතියක් දෙකක් සංගක්කාරට වලිය අදින්න අපේ වීරයා ඉවසල හිටියා වෙන කවුරු හරි ඔය වැඩේට මුලපුරනකම්.කවුරුත් මේකට වලියක් අදින්න ලැස්ති නෑ වගේ පේනකොට තමුන්ගේ “චී නිවුස්”එකේ අභීත මාධ්‍යවේදීන් සංගාට බැස්ටිය දෙන වැඩේට යොදවන්නයි අන්තිමේදී තීරණයවුනේ.

ඒ වැඩෙන් පස්සේ උනත් වෙන කිසිම මාධ්‍යයකින් මේක පයිසෙකට ගණන්ගත්තේ නෑ.එහෙම කියලා අතට ගත්තු සටන පණ ගියත් අත අරින මිනිහෙක් නෙවෙයි මේ විමලසිරි. එහෙම කිව්වේ පහුගිය දොහක හවස්කොරේ දෙකක් දාගන්නගමන්  බණ්ඩාර දොස්තරමහත්තයට.ඉතින් කේන්දරේ පිළිවෙලට තවත් මේ තරහවනම් නිවුණේ නැති වෙච්චි මේ වීර පුරුෂය සංගක්කාර ඌ ඇම් පී එකෙන් චන්දෙ ඉල්ලනවා කියලා ආයෙත් සංගාට නෙලන්න පටන් අරන් තියෙන්නේ.මේ වැඩෙත්  වල්වුනොත් එහෙම,බලාපොරොත්තුවන්න ප්‍රේක්ෂක මහජනතාවෙනි,ඊ ළඟ එකනම් නෙලනවා ඇඩ්රස් නැතිවෙන්නම.

කොහොමහරි මේ අපල කාලේ ගෙවාගන්නත්  එපායැ.විමලසිරි කොච්චරනම් සම්පතක්ද අපේ මේ මුතුඇටේට.