පල නොකල මහාවංසය


තරමක කාලෙකට පස්සෙයි ගම්පලාතෙ යන්න පුලුවන්කමක් ලබුනෙ.අන්තිම වතාවෙ ගොහින් ඇවිත් මහ කාලයක් ගත නොවුනත් තරමක වෙනස්කම් තැනින් තැන සිද්ධවෙලා.බස් පාරෙන් හැරිල අපේ ගෙවල් පැත්තට යන අතුරු පාරත් කොන්ක්‍රීට් දාලා,මහපාරට පේන වංගුව ගාවටම.එතනින් එහාට පහුගිය ප්‍රාදේශීය සභා චන්දෙන් පස්සේ කොන්ක්‍රීට් දානවා කියලා වසන්ත මන්ත්‍රීතුමා පොරොන්දුවෙලා තියනවා.ඉතින් එහෙව් පුද්ගලයෙකුට ඡන්දේ නොදී ඉන්නෙ කොහොමද කියලයි අල්ලපු ගෙදර ගීතා නැන්දා කියන්නෙ.එහෙම හිතන පාරවල් ගානක මිනිස්සු ඉන්න හින්දද මන්දා මෙදා පාරත් වසන්ත මන්ත්‍රීතුමා නූලෙන් වගෙ ප්‍රාදේශීය සභාවට පත්වෙලා තියෙන්නේ.

ඉතින් හවස් වෙන්න ඇරලා මම ඔය පාර දිගේම කඩේ පැත්තට යන්න පිටත් උනා.මාතර මාමා කොහේදෝ ගිහින් එනවා මට හම්බවුනේ ඒ අතරෙදි.මාතර මාමා අපේ ගමේ පද්මිණී නැන්දාව කසාද බැඳලා එහෙ බින්න බැහැපු මනුස්සයෙක්.ලී බඩු සාප්පුවල බඩු පොලිෂ් කිරීම වගෙ පොඩි පොඩි වැඩ තමයි රස්සාවට කරමින් හිටියෙ.රස්සාව එහෙමවුනත්, සමාජ අවබෝධයක් තියන, උසස්පෙලත් සමත් වෙච්චි කෙනෙක්.ඔය පුංචි පුංචි රස්සාවල් කරලා හම්බවෙන මුදලත් සමහරවිට සෑහෙන්න වියදම් කරන්නෙ අමුතුම තාලේ වැඩ වලට තමයි.

එක වතාවක් ඔය යුද්ධය තදින්ම යන දවස්වල “අපෙ රටේ රණවිරුවෝ” කියලා කවිකොලයක් ලියල අච්චු ගස්සවලා ගමේ ගෙවල් වලට බෙද බෙදා ගියා මට මතකයි.ගමේ කොල්ලෝ කුරුට්ටෝ එකතුකරගෙන දේශයට ආදරේ කරන්නන්ගේ සංවිධානයක් හදන්නත් සෑහෙන උත්සාහයක් දැරුවා ඒ දවස්වල,ඒ වැඩේ අසාර්ථකවුනත්.ඔය වැඩ කොච්චර තිබුනත් පද්මිණී නැන්දා එක්ක බැන අඬගහගන්නවනම් අපිට කවදාවත් ඇහිලා නෑ.සමහරවිට නැන්දාත් මාතර මාමාගේ රට වෙනුවෙන් කරන සේවයට නිහඬ සහයෝගයක් දක්වනවා ඇති.මාමා ගෙදර ඉන්නවනම් ගේ ඉස්සරහ පාරෙන් කවුරුහරි යනකම් බලාගෙන ඉන්නෙ අල්ලගන්න,රටේ තොටේ තත්වය ගැන කතා කරන්න.මමත් ඉතින් අනික් වැඩ පැත්තකට දාල ඔහොම වෙලාවට මාතර මාම එක්ක රටෙ අභිවෘද්ධිය ගැන කතා කරන නිසා මනුස්සයාට මාව කතාවට අල්ලගන්න තියනවනම් හරිම සතුටුයි.

පහුගිය අවුරුදු ගානක් තිස්සේම මාතර මාමාට තිබුනෙ එකම අරමුණයි.ඒ විජය කුමාරයාගේ ලංකාගමනයේ ඉඳලා,වර්තමානය දක්වාම ලංකාවේ කථාව ඇතුලත්කරපු ඉතිහාස පොතක් ලියන එක.මම ඔය කාරණාව දැනගන්නකොටත් ඔය වැඩේ පටන් අරගෙනයි තිබුනේ.හම්බවුන වෙලාවට හැමදාමත් කියන්නෙ මේ ලියමින් ඉන්නා පොත ගැනම තමයි.
“මේ පොත අඩු ගනනේ පිටු පන්දාහක්වත් වෙයි” මාතර මාමා කියනවා.
“එච්චර මොනවද තියෙන්නෙ ලියලා.”
“ඔයා දන්නෙ නැද්ද අපේ රටේ කොච්චර පෝසත් ඉතිහාසයක්ද තියෙන්නෙ,ඒක වර්ණනා කරලා ලියන්න ඕනේ.මේකේ කවි තියනවා,චිත්‍ර ඇඳලා තියනවා.ඉතින් පිටු පන්දාහට වැඩි මිසක් අඩු වෙන්නෙ නෑ”.මාතර මාමා  හරිම උජාරුවෙන් කියන්නේ පොතට ඇතුලත් කරන්න යන සනත් ජයසූරිය ගැන ලියාපු කවියකුත් කියන ගමන්.”ඔයා ගෙදර එනවා කිව්වට ලියපු ටික පෙන්නන්න කෝ එන්නෙ නෑනෙ කවදාවත්.” කිව්වත් වගේ කවදාවත්ම මට ලියපුටික බලන්න ගෙදරටනම් යන්න බැරිවුනා.

කරන රස්සාවත් එක්ක පොත ලියන්න හොයාගන්න තියන  කාලය අඩුවීම ගැනනම් මනුස්සයා හිටියෙ හරිම විස්සෝපයෙන්.දෙදරු පියෙක්වුන මාතර මාමා බලාපොරොත්තුවෙන් හිටියෙ ඒ වෙනකොට උසස් පෙල කරමින් හිටි දුව විභාගෙන් පස්සේ තරමක කාලෙකට හරි රස්සාවක් කරන්න පටන් ගනීවි කියලා.
“එතකොට ඒ කාලෙදි මට පුලුවන් ගෙදර නඩත්තුව එයාට බාර දීලා ෆුල්ටයිම් පොත ලියන්න”
“එහෙම සාධාරණ නෑ නේද,අනික් දුවත් තාම හයේ පන්තියෙ නේද?”
“මේක ජාතික වගකීමක්,මගේ දරුවො සංතෝෂ වෙන්න ඕනෙ මම කරන වැඩේ ගැන.ඉතින් ටික කාලයකට ඒ කැපකිරීම ඒ ගොල්ලො කරන්න අකමැති වෙන්න හේතුවක් නෑනේ”. ඉතින් ඔය උත්තරේ පලවෙනි පාරට හම්බවුනාට පස්සේ මම ආයෙත් ඔය කාරණාව මතක් කලේ නෑ තවත් වතාවක්.

ඔය කතාබහ වෙච්චි කාලෙන් පස්සෙ දුර බැහැර පලාතක රස්සාව කරන්න සිද්දවුන මට ගමට එන්න ලැබුනෙ සති ගනනාවකට වතාවක්.ඉතින් වෙනදා වගේ කඩපිලට යමින් ගමන,උදේ බස් එකට දුවමින් ගමන අපිට කතාබහක් කරන්න ලැබුනේ නෑ.ආයෙත් මට මාතර මාමාව හම්බවුනෙ දවස් දෙක තුනක නිවාඩුවකට ගමට ආපු ගමනකදි.
“කොහොමද දැන් පොත”
“සෑහෙන දුරට ඉවර කරලා තියෙන්නෙ.දුව රස්සාවට යන නිසා දැන් මට මෙ වැඩේට ලේසියි.බලන්නකෝ ටීවී වල රටට ආදරෙන් බෙරිහන්දෙන මිනිස්සුන්ගෙන්වත් මේ වැඩවලට කිසිම සහයෝගයක් නෑනේ.”
“ඇයි මොකද උනේ?”
“මම ගියා සූරිපෙරුම මහත්තයා හම්බවෙලා පොත පෙන්නලා අදහසක් ගන්න.කොහෙද පෙන්නපු ගමන් කිව්වනේ අනේ අනේ මටනම් ඕවාට ආධාර කරන්න සල්ලි නෑ කියලා.”
“ඉතින් ඔයා කියන්න එපායැ ඔයාට සල්ලි නෙවෙයි ඕනේ කියලා”
“කිව්වා,දැන් මට ඕවා බලලා විචාර කරන්න වෙලාවක් නෑ,මේ දවස්වල හරි බිසී.එහෙමනෙ උන්නැහේ මට සැලකුවේ”
“ඒක තමයි ඉතින් ඔය පොත් ප්‍රකාශකයෙකුට පෙන්නලා බලන්නකෝ සෑහෙන්න වැඩේ ඉවරනම්.”
“එයිට කලින් මම මේ ජනාධිපතිතුමා හම්බවෙලා පෙන්නන්න බල බල ඉන්නේ.මම ලියුමකුත් යවලා තියෙන්නේ.උත්තරයක් එවාවි අද හෙටම”

ඔය මාතර මාමා තමයි මම අලුත කොන්ක්‍රීට් දාපු පාර දිගෙ කඩේ පැත්තට යමින් ගමන මූණට මුලිච්චි වුනේ.කාලෙකින් තමුන්ගේ හිතේ තියන දේවල් කියද්දි අහගෙන ඉන්න මනුස්සයෙක් හම්බවුන නිසාද මන්දා මූණේ මතුවුනේ ලොකු හිනාවක්.මමත් දැක්ක සැරේම සුපුරුදු ප්‍රශ්නය ඇහුවා.
“ඉතින් කොහොමද,කොහොමද පොතේ වැඩේ”
“පොත දැන්නම් ලියලා ඉවරයි,තාම ප්‍රින්ට් කරගන්න ලැබුනේ නෑනෙ.ඒ වැඩේ පරක්කු වෙන්න වෙන්න තව තව ඉතිහාසය ලියන්න වෙනවනේ.මම ඉතින් රටේ දැන් සිද්ධවෙන සංවර්ධනය ගැනත් ටික ටික ලියනවා.”
“පොත ජනාධිපතිතුමාට පෙන්නන්න ලැබුනද?”
“තාම නෑ,එතුමාටත් ඉතින් කොච්චරක් කියලා වැඩ රාජකාරිද,නේද?”
“ඒක තමයි,තාම රස්සාවක් කරන්නේ නැද්ද,දැන් වැඩේත් සෑහෙන්න ඉවර නිසා ඔය වැඩේ කරන ගමන් රස්සාවකුත් කලානම් නේද හොඳ?”
“ආයෙත් මම පරණ පොලිෂ් කරන රස්සාවම කරන්න පටන් ගත්තා”

“ඒක හොඳයි,පොත ප්‍රින්ට් කරන්න ප්‍රකාශකයෙක් බලන්නෙ නැද්ද?”
“තාම කෙනෙක් හොයා ගන්න බැරිවුනානේ.ඒ මිනිස්සුත් බාල බාල පොත් ගහ ගහ ඉන්නවා මිසක මේ වගේ වටිනා වැඩකට අත තියන්න බයයිනේ.”
“ඒක තමයි”
ඒ වචන ටික ඇරෙන්න ,අවුරුදු ගානක් තිස්සේ හිතේ තිබුණු එකම අරමුණ තවමත් සම්පූර්ණ කරගන්න බැරිව ඉන්න මාතර මාමාට වෙනත් ධෛර්‍යය දෙන වචනයක් කියන්න මට එවෙලේ මතක්වුනේ නෑ.ආයෙත් ගමට තවත් කාලෙකින් යනකොටත් අවුරුදු හත අටක් පුරාම හිතේ එකම අධිෂ්ඨානයක් නොසැලී පවතින මේ මනුස්සයා මේ “පල නොකල මහාවංසය” අතේ තියාගෙන හිඳීවි,සමහරක්විටෙක,.

ඊලඟ ඡන්දෙන් පස්සේ තවත් වංගුවකින් එහා පැත්තට පාරේ ඉතුරු ටික කොන්ක්‍රීට් දානකම් කාන්ති නැන්දලත් බලාගෙන ඉන්න නිසා වසන්ත මන්ත්‍රී තුමාටත් තවත් කාලයකට ප්‍රාදේශීය සභාවේ පුටුව නැතිවෙන එකක් නෑ.

Advertisements

25 thoughts on “පල නොකල මහාවංසය

  1. වසන්ත මන්ත්‍රී තුමානම් ඊළඟ ඡන්දෙන් පළාත් සභා යයි මයේ හිතේ.
    හැමදාම මාතර මාමලට ඉතුරු වෙන්නේ ඉතින් පළ නොකළ පොත් තමයි. ඒත් මාතර මාමලා නෙමෙයි ඒ ගැන අහිතක් හිතන්නේ.

    සිරා මචන්.

    • හරියට හරි මචං,මාතර මාමා තව අවුරුදු ගානකින් හම්බවුනත් ඔය විදියටම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.වසන්ත මන්ත්‍රීතුමානම් මොකක් හරි කරගනීවගේ ඊලඟ් පාර.

  2. මාතර මාමගෙ මහාවංශය කවදාවත් පලවෙන එකක් නෑ…බං…..හෙහ්, හෙහ්,

    හැබැයි අනික් අතට ඔය මාතර මාමල වගේ කස්ටිය ඔය මහාවංශෙ පළකරන්ට චාන්ස් එකක් ආවත් පළකරන්නෙ නෑ……..හෙහ්, හෙහ්,හැමදාම බලාපොරොත්තු වලින් ජීවත් වෙන්නයි ඒ ගොල්ල කැමති.

  3. ඇත්තටම සිරා බං…..
    ඔය වගේ පුද්ගලයෝ කීප දෙනෙක් මමත් දන්නවා. ඒ අයට අනුව මාර සිරා වැඩ තමා ඒගොල්ලො කරන්නෙ. බලද්දි මෙලෝ රහක් නෑ. හිත කැඩෙන නිසා මොකුත් කියන්නත් බෑ. වෙලාවකට මල ඇනයක්.

    එක හාදයෙක් මෑතකදි කවි පොතක් ගැහුවා. ඒවා කවි නෙමේ පල්හෑලි. වයසත් සලකලා බලලා මාත් හොඳයි කියලම කිව්වා. වැඩේ අවසන් උනේ මුද්‍රණ ගාස්තු කවර් වෙන්ඩ මගෙනුත් සැලකිය යුතු මුදලක් කඩාගැනීමෙන්.
    පෙරේදා පොර හම්බඋනා. හද්දෙයියනේ පළවෙනි එක සාර්ථක හින්දා මේකා තව කවි පොතක් ලියලලු…..

      • මදැයි කොලා,මටත් බරපැන දරන්න වෙයිද දන්නෙ නෑ මේ යෝධයාගෙන් පොත් ගැන අහන්න ගොහින්.චාමිගේ මිතුරු කවියා පාරේ යනකොට චාමිට හැංගෙන්න කාලේ ඇවිත් වගේ.(බැයිද දන්නේ නෑ අවුට්සයිඩර් ගොයියාගේ පොතටත්……………..)

    • @Charmi,

      ඔය වගේ පුද්ගලයෝ කීප දෙනෙක් මමත් දන්නවා. ඒ අයට අනුව මාර සිරා වැඩ තමා ඒගොල්ලො කරන්නෙ. බලද්දි මෙලෝ රහක් නෑ. හිත කැඩෙන නිසා මොකුත් කියන්නත් බෑ. වෙලාවකට මල ඇනයක්.

      මෙලෝ රහක් නැතිනම්, ඒ වෙලාවට ඒ මනුස්සයට ඇත්ත තත්ත්වය සුහදව පහදලා දීම බොරු කියලා මඟහරිනවට වඩා [දීර්ඝ කාලීනව බැළුවම] හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
      [ඔය වගේම සීන් එකක් තියෙනවා “මොටර් සයිකල් ඩයරිස්” ෆිල්ම් එකේ]

      එහෙම වුනහම ඒ මනුස්සය ඔයාට ආයේ මල ඇණයක් වෙන එකකුත් නැහැ. 🙂

      • නැහැ මාලන්. ඒක හැම තැනටම සාධාරණ නැහැ. දැන් මෙතන මහාවංශය ලියන ලේඛකයා (ඒ වෙනුවෙන්ම හදාගත්තු ෆැන්ටසියක් මත ඉඳං) ඒක ලියන නිසා තමයි ඔහු පවතින්නෙ. . ඒ පුද්ගලයට ඔයා කියපු එක කියනවට වඩා හොඳයි එක පාර පිහියකින් අනින එක. සමහරවිට ඔහු ලිවීම නවත්තලා ඒ වෙනුවට බොන්ඩ පටන් ගනී. ඒක අරකට දෙවෙනි නෑනේ.

        නමුත් තමන් ගැන වැරදි තත්සේරුවක ඉඳං යමක් කරන්න උත්සාහ කරන තරුණ අයෙකුට නම් මම කිව යුත්ත කියනවා. ඔහු තරහා උනත් ඒක හොඳ වැඩක්. (හැබැයි ඒකත් එක පාරයි)

    • ඉන්දික,තමුන් හදාගත්තු මනෝ ලෝකෙක ජීවත් වෙන අහිංසක මිනිහෙක් මේ.ඔයා කිව්වත් වගේ ඔය පොත ප්‍රින්ට් කරන්න තියා කාටවත් පෙන්නන්නවත් ලැබුනද දන්නේ නෑ මෙයාට.

  4. හපොයි මාතර මාමට ඔක්කොටම කළින් දේශප්‍රේමියෙක් වෙන්න තිබුණ මොකක් හරි ඔය පක්ෂෙකට රිංගගෙන. එහෙම වෙලා තිබුණනම් එයා ලියපු මහවංශය පුස්සක් වුණත් හොඳ පබ්ලිසිටියක් ගන්න තිබ්බ ආණ්ඩුවේ මාධ්‍ය වලින්ම. (ඇත්තටම මිනිහ පොතක් ලිව්වද කියන එක හොයල බලන්න)
    කොහොම වුණත් මෙහෙම චරිතත් ගමකට අවශ්‍යයි.

  5. හැම මනුස්සයාම ඔහොම වැඩ පටන් ගත්තොත් තමා වැඩේ කියන්නේ 🙂 පොඩි නිවැරදි කිරීමක් කරන්නම් අයියා මහාවංශය කියන වචනේ වැරදියි. නිවැරදි වචනේ වෙන්නේ “මහාවංසය”

  6. ඉතා හොඳ නිර්මාණශීලිත්වයක් ඇති, ලිවීමේ ආසාවක් ඇති කී දෙනෙක් ඉන්නවද තමන්ට අවශ්‍ය දේ කියා ගන්න බැරුව. අනේ මේ බ්ලොග් කෙරුවාව හින්දා ගොඩ නොයන්ට අපිත් ඉතිං ඔය ගොඩේම නොවැ…

    මාතර මාමා ගැන මටත් බොහොම දුකයි. ඒත් ඉතිං මක් කොරන්ටද??

ගල්ද මල්ද සමසිතින් පිළිගනිමී. වාරණ නොමැත.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )