මා දේශහිතෛශියෙකු වෙන්නට තීරණය කලෙමි.

හම්බන්තොට වරාය හදන කටයුතු නිසිකලට,නිසි සැලසුමට ටක්කෙටම අහවර වෙලා බවයි හැම පත්තරේකම ඔල්වරසන් නගමින් වාර්තාකලේ.රූපවාහිනියේ විකාශනය කරමින් තිබුණේ ජැක්-සන් ඇන්තනී සූරීන් සැලසුම් කලායැයි කියන,සුරලියන් පරදවන ලලනාවන් පිරිවරාගත් මේ මහා නාවික තොටුපොලේ විවෘත කිරීමේ උත්සවය. ‍යාපනයේ සිට පවා බස් කුලියට ගත් මහා සේනාවක් මේ රාජකීය උත්සවය දැකබලා ගන්නට ඇවිත් හිටිය බවයි කියැවුනේ.

ඒත් මගේ හිතටනම් නැගෙමින් තිබුනේ ඉතිහාසගත මහා විනාශයක් වෙමින් තියනවායැයි මහා කාලකන්නි හැඟීමක්.තවත් වරායක් හදන්නට යන වියදම හා සමාන වූ ආටෝපකාරී උත්සවත්,මේ වරායට පිහිටි කලුගලක් නිසා නැව් එන්නට අමාරු බවත්,ඒ ගල කඩන්නට තවත් මහත් මුදල් කන්දරාවක් වියදම් වන බවත් ආදිය මගේ හිතේනම් ඇතිකලේ මහා අප්‍රසන්න හැඟීමක්.හැබයි අපේ කන්තෝරුවේ වැඩකරන සුසිල්නම් කොහෙන්ද මන්දා හොයාගෙන ඇවිත් කිව්වේ මෙහෙව් වරායක් මේ මුලු ලෝකෙටම නෑ කියලායි ඒ ගොල්ලො කියන්නේ කියලා.

යුද්ධයෙන් පස්සේ අවුරුදු ගානක් ගිහිල්ලත් උතුරේ අහිංසක මිනිස්සු බුරුතු පිටින් තවමත් සරණාගත කඳවුරුවල ගාල්කර ඇති බව සමහර දේශද්‍රෝහී මාධ්යි වාර්තා කරද්දී මට ඇතිවුනෙ ඒ මිනිස්සු ගැන මහා අනුකම්පාවක්.ඒ විතරක්නම් මදැයි, මේවාට වගකිවයුතු ඇත්තන් ගැන කෝපයක්.හැබැයි එදාම රෑ ටී වී බලපු අපේ අල්ලපු ගෙදර සිරිපාල මාමානම් කියනවා “උතුර දැන් දකුනට වඩා දියුණුයි කියලා ඔය අයි ටී එන් එකේ නිවුස් වලටත් කියන්නේ බං” කියලා.

18 වැනි සංශෝධනය ගෙනල්ලා රට පාලනය තමන්ගේ බූදලයක් කරගන්නවා කියලයි යූ ඇම් පී කාරයෝ කෑ ගහන්න තිය ගත්තේ.මේකනම් විශාල කරදරයක් කියල තමයි මමත් අපේ පවුලට කිව්වේ.හැබැයි අපේ පවුල කිව්වේ විශාල කරදරේ ඕක නෙවෙයි එහා වත්තේ උන් අපේ පැත්තට කරලා වැට ගහන එක කියලා.රටේ මායිමනම් හොයන්න යනවා වත්තේ මායිම දන්නේ නෑ කියලා තව දෝස්මුරයකුත් දමාපි.මම ඉතින් හිතින් හිතාගත්තා අපේ වැට ඉතුරුවෙන්නත් රට ඉතුරුවෙලා තියෙන්න එපායැ කියලා.

අපි හැමදාමත් කන්තෝරු යන කෝච්චියේ නම් ඉන්නෙම මේ වැඩ හින්දා ආණ්ඩුවට බැන අඩගහන මිනිස්සු.මේ අසාධාරණ වැඩ හින්දා ඒ මිනිස්සුන්ගේ ලේ කකියනවා කියලයි කියන්නේ.කන්තෝරුවේ මට එහා පුටුවේ ඉන්න බන්දුල මහත්තයටනම් ටික දොහකට කලින් තිබුණු ලොකුම ප්‍රශ්නේ කැම්පස් වහල හින්දා ලොකු දුව ගෙදර ඉන්න එක.කවදා මේකෙන් ඉගෙනගෙන පිටවෙන්න ලැබෙයිද කියල උන්නැහේ විස්සෝප වෙනවා.”අපේ ළමයින්ට වහල තිබුණට අරගොල්ලොනම් විභාගත් හොරට ලියල ඒ මදිවට තව නඩුත් කතාකරනවලු දැන්”.දවසක් උන්නැහේට පත්තරේ තිබ්බ දෙයක් දැකල මරුවා ආවේස වෙලා.

ඔය අහුමස්සෙ තමයි පලාත් සභා ඡන්දෙත් ආවේ.දේශද්‍රෝහි ඇන් ජී ඕ කාරයන්ගේ සේරම කියමන්,අනාවැකි බොරුකරලා ආයෙත් මේ ජනහිතකාමී ආණ්ඩුව උඩින්ම ගේම දිනුම්. (මේ එන්ජීඕ ගොඩට කේ පීගේ එන්ජීඕව අයිති නැති බව කරුණාවෙන් සලකන්න).ඒ විතරක්නම් මදැයි යූ ඇන් පීය කැලෑ වැදිලා.ජෙප්පො කියලා ජාතියක් නැති ගානයි.බුලත් කොලේ නැතුව,යන්තම් ඡන්දෙදි පේන්න ඉන්නේ තමන්ගේ ජාතිකත්වය විකුණලා ඡන්දේ ගන්න උදවිය විතරයි.කෝච්චියේ වැඩට යන උන් සේරම,කන්තෝරුවේ බන්දුල උන්නැහේ වගේ උදවියත් බැනලා බැනලා ආයෙත් බුලත් කොලේටම කැමැත්ත දීලා වගේ.

ඉතින් මම එක ඉරිදා නිවාඩු දවසක නිවාඩු පාඩුවේ කල්පනා කරන්න පටන් ගත්තා.මිනිස්සු මේ මෙච්චර මේ ආණ්ඩුව කරන දේවල් වල වැරදිම කියනවා.ඒකට මොකෝ ආණ්ඩුවට හැමදාම ඡන්දනම් මදි නොකියන්න හම්බවෙනවා.මේකනම් ආණ්ඩුව කියන විදියට ඇන් ජී ඕ කුමන්ත්‍රණකාරයෝ පතුරවන කතාවක්ම වෙන්න බැයිද?රටේ සංවර්ධනය ඉවසගෙන ඉන්න බැරිව ,කාල ඉන්න බැරිව නලියන බටහිර ඒජන්තයන්ගේ උප්පරවැට්ටියක් වෙන්න බැයිද?

නැත්නම් රටේ මෙච්චර ගානක් මේකටම කතිරේ ගහයියැ.අපිත් දන්නේම නැතුව මේ දේශද්‍රෝහියෝ ගොඩට වැටිලා නේද මේ කුමන්ත්‍රණ හින්දා.ඉතින් මමත් කල්පනා කරලා කරලා දේශහිතෛශියෙක් වෙන්න තීරණය කලා.රටට ආදරේනම් කලයුතු ප්‍රධානම දේ වෙච්චි ආණ්ඩුවෙ දෑත ශක්තිමත් කරන එක ඉතින් දැන් පටන් ගන්න ඕනෑ.

අපේ ගමේ වසන්ත මන්ත්‍රීතුමාට පාරවල් කොන්ක්‍රීට් දාලා ඉතුරු සල්ලිවලින් ට්‍රැක්ටර් එකක් ගත්තේ ඇයි කියල අහන්නේ නැතුව මම තව ට්‍රැක්ටර් එකක් ගන්න මගේ ෆුල් සපොර්ට් එක දෙන්න තීරණය කලා.මාලක බේබි හිරේ යැවුවනම් හිර ගේ ඉස්සරහ කරන උද්ඝෝෂණයට එනවා කියල මම කලින්ම අපේ ගමේ තරුණ සමිතියට නම දීල තිබ්බේ.(වෙලාවට හිරේ දැම්මේ නැත්තේ.දැම්මනම් බලන්න තිබ්බ )

ලබන මහ ඡන්දෙට පබා අක්කිට බැහැලා වැඩකරන්නත් මම දැම්මම හිතාගෙන ඉන්නේ.18 වෙනි සංශෝධනය කියවල ,සරණ ගිහින් ඉන්නේ එතුමියට ශක්තියක් වෙන එකත් ජාතිමාමක ක්‍රියාවක් නොවැ.සරණ මහත්තයා හම්බවෙලා අහන්නත් ඕනැ නුවර පාර අයිනේ ඉන්න රඹුටන් කඩ කාරයින්ගෙන් දවසට 100 ගානේ එකතු කරලා දෙන එකත් මම උදව්වක් හැටියට කරලා දෙන්නඩ කියලා.(කප්පමකට නෙවෙයි ,රට ගොඩනගන්නනේ.)

ආයේ ඔය කැම්පස් ආචාර්යැවරුන්ගගේ හරි වෙන එන් ජී ඕ හාල්පාරුවන්ගේ හරි මොකක් හරි තියෙන්න කවදද කියලා කල්පනාවෙන් ඉන්න ඕනැ,එදාට නිවාඩුවක් දාන්න කලින්ම.අපේ ගමේ දේශහිතෛශී තරුණ පිරිසට ඕවාට ගල් ගහන්න යන්න බස් එකක් එවනවලු ඩිපෝ එකෙන්.නිවාඩුවක් වියදම්වුනත් මොකද මේක ජාතික අවශ්‍යතාවයක්නේ.

දැන් ඉතින් රට ගැන උන්නැහේලම බලාගන්න හින්දා අපි විශාල කරදරයකින් නිදහස් කියල හිතෙනවා.ඒක හින්දා අපේ වැට එහා මෙහා කරන අල්ලපු ගෙදර උන්ට හොඳ අංචියක් අදින්න නිවාඩු පාඩුවේ කල්පනා කරන්න බලන්න ඕනෑ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැවත නොපරදින්නට ගුරුකමක් මෙන්න.

විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන තරඟය පරදින ලකුණු හැම පැත්තෙන්ම පෙනෙන්නට පටන් ගනිද්දී මම මේ පරාජයට පලි කවුරුදැයි හිතන්නට පටන් ගත්තා. මාලිංග , ඩිල්ෂාන් , පිට්ටනිය වටේ නටන ගෑණු උදවිය එකින් එක මතකෙට එද්දිම තමයි ඔන්න එතුමාගේ මූණ ටී වී එකෙන් පේන්න පටන් ගත්තේ.

එතුමා මේ ෆයිනල් එකත් බලන්නට ගොහින් හිටියා. තුන්වෙනි පන්තියේ මහජනයාට වගේ ටිකට් ගන්නට මහන්සි වෙන්න ඕනෑ නැති හින්දා උන්නැහේට ඕනෑම මැච් එකක් බලන්නට යන්නට පුලුවන්කම තියනවා. සමහරවිට කලින් ගිය කට කැඩිච්ච කථා වල හැටියටනම් එතුමා ටිකට් අරන් මැච් එක බලන්න හිටියානම් ටිකට් ගන්න වෙයිද කියලනම් තියෙන්නේ සැකයක්. මේ මෙතනත් කියන්න යන්නේ ඔය මැච් එක එතුමා හින්දා පැරදුනා කියලා හෙම නෙවෙයි ඔන්න.ඒක එහෙම නෙවෙයි කියලා ඕනෑම දේශප්‍රේමියෙක් දන්නවා.

අපේ කණ්ඩායමටත් තියෙන්නේ දැන් රටේ ලොකු තැන්වලින් ආදර්ශයට අරගෙන මෙතැනින් ඉදිරියට අනික් තරඟ දිනන සැලැස්මක් හදා ගන්නා එක මෙන්න මේ වගේ. එහෙම නැතුව අරයා බලන්න ආවම පරදිනවා වගේ බොරු දේවල් හිත හිතා හිටියොත් හැමදාම පරදින එක ආයේ සක්කරයටවත් වලක්වන්න බෑ.

1.ක්‍රිකට් කණ්ඩායමට උපදේශකයන් පත් කර ගැනීම.
(පෑඩ් දැමීමට උපදේශක,ග්ලවුස් දැමීමට උපදේශක,බෝල් ගාර්ඩ් දැමීමට උපදේශක වාගේ පට්ටම් 100ක් පමණ සුදුසුය)

2.අම්පයර්ලාගේ ගෙවල් වලට ගල් ගැසීම.
(එතකොට උන්නැහේලා අපේ කණ්ඩායමට විරුද්ධව ඇඟිල්ල උස්සන්නේ නැත.)

3.ප්‍රතිවාදී ප්‍රබල කණ්ඩායම් ඇත්නම් දෙකට තුනට බෙදා දැමීම.
(කොදෙව් A,කොදෙව් B,කොදෙව් C ආදී ලෙස බෙදා දැමූ විට අපට ඔවුන්ගෙන් වෙන තර්ජනය ඉතා අඩු කර ගත හැකිය.)

4.ප්‍රබල කණ්ඩායම් වල නායකයින් මාරු කිරීම.
(ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් හෝප්,ඉන්දියානු නායක රාජිව් භාතියා වැනි මීට පෙර නමවත් අසා නැති විපක්ෂ නායක පන්නයේ නායකයන් පත් කල යුතුය.ඔවුන්ට සදාකල් නායකත්වයේ රැඳී සිටීමට කොන්දේසි විරහිතව සහය පල කල යුතුය)

5.ප්‍රතිවාදී කණ්ඩායම් වලට බොරු කියා රැවට්ටීම.
(විස්සයි විස්ස මැච් එකක අනෙක් කණ්ඩායම පලමුව පන්දුවට පහර දී සියල්ලම දැවී ගියහොත්,මේ ඕවර් 50 මැච් එකක් බව දන්නේ නැද්දයැයි ඔවුන්ට කියා අපි ඕවර් 50ක් පාවිච්චි කර මැච් එක දිනීම වැනි උපක්‍රම )

6.අනෙක් කණ්ඩායම් වල ප්‍රබල ක්‍රීඩකයන්ගේ සාමාන්‍ය ජීවිතයේ ඇතැම් තැන් සොයා ප්‍රසිද්ධ කිරීම.එසේ සොයා ගත නොහැකිනම් නැති දේවල් ඇතිකර ඒවා ප්‍රසිද්ධ කිරීම.
(කෝලි ඉස්කෝලේ යන කාලේ වීරප්පන් එක්ක ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කිරීමට කථා කර තිබේ,ෂහීඩ් අෆ්‍රිඩි ඉස්සර ෆාදර් කෙනෙක්,පේන්නේ නැද්ද දැනුත් කතා කරද්දි ඒ ස්ටයිල් එක තියෙන්නේ…….වැනි දේ සුදුසුයි)

7. තරගාවලියේ තරඟ කොටස් වශයෙන් පැවැත්වීම.
(මෙහිදී තරඟ එකවර පවත්වන්නේ නැත.තරගාවලිය අවසාන කිරීමට නියමිත කාලයක් කලින් තීරණය කරන්නේ නැත.ඉන්දියානු කණ්ඩායම දුර්වලතා පෙන්වන කාලයක් බලා ඉන්දියාව සමග වශයෙන් එක එක කාලවලදී තරඟ පවත්වනු ලැබේ…)

8.අනෙක් කණ්ඩායම් වලට ක්‍රීඩකයන් තෝරා ගන්නාතුරු බලාසිට ඔවුන් සල්ලි දී කණ්ඩායමට ක්‍රීඩා නොකිරීමට පොළඹවා ගැනීම.
(තරඟ වදින්නට සූදානම් වන අවසාන මොහොතේදී එවිට ඒ කණ්ඩායම් වලට තමන්ගේ සංචිතයට තෝරා ගත් ක්‍රීඩකයන් අඩුවී ඇති බව දැනගන්නට ලැබීමෙන් මහත් අපහසුතාවයට පත් වීමට සිදුවේ)

මේවා කල නොහැකි වැඩයැයි කිසිවෙක් සිතනවානම් එතුමා මේ උපක්‍රම සාර්ථක කර ගත හැකි කෙටි ක්‍රම අපේ ක්‍රිකට් කණ්ඩායමට කියා දෙනු නොඅනුමානය.
මේවා හරියන බව වරායට නැව් එනවාක් මෙන් ස්ථීරය,ප්‍රත්‍යක්ෂය.

අඩෝ…….. සංගක්කාර .

අත පය හිරිඇර ගන්නට නෙලන්න කෙනෙක් කාලෙකින් හම්බනොවුණු විමලසිරි හිටියේ හරිම අමාරුවෙන්.ඒ විතරක්නම් මදැයි,තමුන්ගේ ආර්‍යාවත්  මෙච්චර කලක් ගෙදරදී විතරක් දාපු වලිය ටික ටික ලෝකෙටම පේන්න දාන්න ගත්තු එක ගැන විමලසිරිගේ හිතට හරිම අමාරුයි.ඉස්සර රතු පාටියේ ඉන්නැද්දී කොච්චරනම් ලෝකේ පෙරලෙන්න කෑ ගහනවද,කී දෙනෙකුටනම්  වලි අදිනවද කියල හිතෙනකොටත් හිතට දැනෙන්නේ හරි දුකක්.පහුගිය දොහේ පුරාවටම අත තියන තියන වැඩේ අල වෙලාගියේ පූරුවේ කරපු අකුසලකර්මයක් හින්දද කියලත් වෙලාවකට හිතෙනවා.

පුංචිකාලේ ගමේ සාපින් මාමගේ කඩෙන් ලෙමන් පෆ් පැකට් එකක් හොරෙන් අරන් මාට්ටු වෙච්චි දා ඉඳල ඔය බිස්කට් ජාතිය එක්ක විමලසිරිගේ තිබුනේ ලොකු ආරෝවක්.අවාසනාවකට ඔය බිස්කට් හදන ෆැක්ටේරිය ලංකාවේ එකක් වෙච්චි කොට ඔය අධිරාජ්‍යවාදී ආයතනවල නිෂ්පාදන  කන්න එපා කියල ගුස්තියක් අල්ලන්න පුළුවන් කමක් තිබ්බෙත් නෑ.අන්තිමේදී තමයි ඕක කාලම තරහ පිරිමහගන්නවා කියල හිතල මාරාන්තික උපවාසයක් පටන් ගත්තේ.උපවාසේ තිබිච්ච පැය තුනට කිලෝ තුනක් ලෙමන් පෆ් කාල තමයි යන්තම් ඒ තරහ අකාමකා ගත්තේ. ඒත් ලෝකයා තමන්ට බත්නොකන මුඛයෙනුත් හිනාවෙනවා කියන එක දැනගත්තු කොට ලෙමන් පෆ් කාපු සන්තෝසේ නැතිවෙලා ගියේ,මේ දැන් විරුද්ධ වෙච්චි දේකට රජතුමා දෙන එක ෆෝන් කෝල් එකෙන් පස්සේ පක්ෂ වෙනවාටත් වඩා ඉක්මනින්.

ඉස්කෝලේ නමේ පන්තියේ ඉන්න වංගියේ  හඳ පායපු රෑක අටේ පන්තියේ හිටපු සමන්මලී  බලන්න ඒ ගෙයි පිළිකන්නේ ටැක් ගැහි ගැහි ඉද්දි සමන්මලීගේ අයියා නන්දනට අහුවෙලා කනේ පාරක් කාපු දා ඉඳලා විමලසිරිගේ හඳ ගැන තියෙන්නෙත් ලොකු ආරෝවක්.පස්සේ කාලෙක අතිජාත මිත්‍රයා ජාගොඩ එක්ක සෙට් වෙච්චි වෙලාවක කිව්වේ දවසක හඳට පොල්ලකින් හරි ගහනවා කියලා දාගත්තු දෙක වැඩිවෙලා හෙම නෙවෙයි ඔන්න .පොඩි කාලේ අහපු පරණ කතාවක් මතක් වෙච්චි ජාගොඩ විමලසිරිට මතක් කරලා දුන්නා හදිස්සියෙවත් හඳට පොලුගහන කොට ගොරක පොල්ලකින් හෙම ගහන්න එපා කියලා.

ඔය අහුඅස්සේ තමයි අර බෑන් කී මූනා කියල හාදයෙක් කරලියට ආවේ.තැටිය රත්වෙච්චි වෙලාවේ රොටිය පුච්ච ගන්න වහාම ඉදිරිපත්වුන වීරයා ඒ මූනා මොකද මේ මූනා මොකද කියලා හිතලා,මේ මූනට පොලුගහන්නයි  ආයෙත් ඉක්මනටම සෙට් උනේ. ඉතින් මහා ජන පෙළපාලියකින් එජා කාර්යාලයට ගොහින් හඳට පොලුගහලා ,කණේ පාර කාපු තරහ යන්තම් අකා මකා ගත්තා.වැඩි දොහක් යන්න ලැබුනේ නෑ මේ නාට්ටියත් වල් උනා වගේ,රටේ තොටේ ඇහෙන කොන්ඩම් කතා වලින් දැනගත්තු විමලසිරි ඉන්තීරුවෙන්ම හිතාගත්තේ මේනම් නරක ග්‍රහ අපලයක්ම තමයි කියලා.කොයි එකටත් කියල කේන්දරේ බලවාගන්න එක හොඳයි කියල නුවණක්‌ කියල දුන්නේ,මීම නාකිඋනත් අඟ නාකි නොවෙන ජේ ආර් පී මාමා.ඉතින් විමලසිරිකොයිකටත් කියල තකහනියක්ම බ්‍රහ්මදත්ත නුවරට ගොහින් කේන්දරේ බලවා ගත්තා. සාත්තර ගුරුන්නාන්සේත් කිව්වේ හිතේ තියන තරහවල් සේරම කොහොමහරි හිරකරගෙන ඉන්නේ නැතිව පිටකරන්න කියලා නොවැ.

ඉතින් ආර්‍යාවගේ ගෝරනාඩු අහගෙන  මහා -ලඹේ තුන්මහල් ප්‍රාසාදයේ මුල්ලකට වෙලා විස්සෝපෙන් ඉන්නගමන් විමලසිරි අතීතයට නුවණ විහිදලාබලන්නේ තව මොනවද තමන්ගේ හිතේ තියන තරහවල් කියලා.ඔහොම “අල්ප දයන්නක්” වගේ වකුටුවෙලා හිටපු මිනිහා හදිසියේම”ඉංගිරිසි එල් අකුර” වගේ කෙලින් වෙලා යුරේකා කියල උඩ පැන්න සද්දෙට මෙච්චරවෙලා ආඩපාලි කියකියාහිටිය ආර්‍යාවත් තක්බීර් වෙලා ගියපි.මේ හදිසියේම මතක්වුන තරහව මොකද්ද බලන්න දුවගෙන ආවේ මුසා,”ඇයි බොසා”කීයාගෙන.ඉස්කෝලේ දහයේ පන්තියේ ඉන්න වන්ගියේ,බෑක්-බෝල් කණ්ඩායමට බැඳෙන්න තිබුන ආසාවයි මේ මතක් වෙලා තියෙන්නේ තකහනියක්ම.විමලසිරි තටු ඇවිත් වගේ පියාඹලා ගියා තමුන් බෑක්-බෝල වලට පෙම් කරපු ඒ සමනල වයසට.ආසාව නිසාම ඉස්සරවෙලාම පිත්තෙන් ගහලා කණ්ඩායමට එන්න බැලුවට එක හරිගියේ නෑ.”ඔයිට වඩා හොඳ පිත්තෙන් හරඹ කාරයෝ ඉන්නවා.”බෑක්-බෝල උගන්වන ගුරුතුමා කිව්වා.බෝලෙන් දමල ගහලා කණ්ඩායමේ තැනක් ගන්න එකත් එච්චරම හරිනොගිය තැන තමයි කඩුල්ල රකින වැඩෙන් ගොඩයන්න බැලුවේ විමලසිරි.

එකනම් ටිකෙන් ටික හරියාගෙන එද්දී අලුත් කඩුලු  රකින හාදයෙක් ආපි ඉස්කෝලෙට.අලුත් මිනිහා පෙන්නපු වැඩ ඉස්සරහ විමලසිරි සෙකන්ඩ් උනේ දවසින් දෙකෙන්.ඉතින් කණ්ඩායමට යන්න ඔන්න මෙන්න ඉන්නකොට වෙච්චි මේ වින්නැහිය හින්දම තමයි ඔය කඩුල්ල රකින උන් ගැන හිතේ තරහව තාමත් තියෙන්නේ.ඔය තරහව මේ අහුඅස්සේ මතකෙට ආවේ සංගක්කාර එංගලන්තේ ගොහින් කතාවක් කලාට පස්සේ.ඉතින් සතියක් දෙකක් සංගක්කාරට වලිය අදින්න අපේ වීරයා ඉවසල හිටියා වෙන කවුරු හරි ඔය වැඩේට මුලපුරනකම්.කවුරුත් මේකට වලියක් අදින්න ලැස්ති නෑ වගේ පේනකොට තමුන්ගේ “චී නිවුස්”එකේ අභීත මාධ්‍යවේදීන් සංගාට බැස්ටිය දෙන වැඩේට යොදවන්නයි අන්තිමේදී තීරණයවුනේ.

ඒ වැඩෙන් පස්සේ උනත් වෙන කිසිම මාධ්‍යයකින් මේක පයිසෙකට ගණන්ගත්තේ නෑ.එහෙම කියලා අතට ගත්තු සටන පණ ගියත් අත අරින මිනිහෙක් නෙවෙයි මේ විමලසිරි. එහෙම කිව්වේ පහුගිය දොහක හවස්කොරේ දෙකක් දාගන්නගමන්  බණ්ඩාර දොස්තරමහත්තයට.ඉතින් කේන්දරේ පිළිවෙලට තවත් මේ තරහවනම් නිවුණේ නැති වෙච්චි මේ වීර පුරුෂය සංගක්කාර ඌ ඇම් පී එකෙන් චන්දෙ ඉල්ලනවා කියලා ආයෙත් සංගාට නෙලන්න පටන් අරන් තියෙන්නේ.මේ වැඩෙත්  වල්වුනොත් එහෙම,බලාපොරොත්තුවන්න ප්‍රේක්ෂක මහජනතාවෙනි,ඊ ළඟ එකනම් නෙලනවා ඇඩ්රස් නැතිවෙන්නම.

කොහොමහරි මේ අපල කාලේ ගෙවාගන්නත්  එපායැ.විමලසිරි කොච්චරනම් සම්පතක්ද අපේ මේ මුතුඇටේට.

කොල්ලෙක් සමඟම විශ්‍රාම වැටුප් පනත වල පල්ලට.

අට පැයක වැඩමුරයක් ඉල්ලා අරගල කල කම්කරුවන්ගේ ලෙයින් රත් පැහැගැන්වුනු කම්කරු කොඩියට තවත්  රත් පැහැයක් එක්වුනා.ඒ තමන්ගේ ශ්‍රමයේ සාධාරණ අයිතිය පතා සටන්වදින කම්කරුවාට අද පාලකයන් ලබාදෙන පිළිතුරක් විදිහට. තම දහඩියේ  අයිතිවාසිකම පතා සටන්කල වැඩබිම් සේවකයන්ට,රටේ අස්සක් මුල්ලක් නෑර ක්‍රියාත්මක වෙන “ගමේ චණ්ඩි” පිලිවෙළට සලකමින් සිටි පාලකයා අවසානයේදී ඇණගෙන සිටිනවා.මෙතුවක් කලක් තම ශ්‍රමයේ වටිනාකමක් ගැන අවබෝධයක් නොමැති,සමාජයේ පෙරලිවලට අසංවේදීයැයි සියල්ලන්ම සිතාහුන් මහත්වූ පිරිසකගේ සවිය පීඩකයා විසින්  හඳුනාගන්නා පලමු අවස්ථාව වන්නේ මෙයයි.

පනත ගෙනා කම්කරු ඇමතිතුමා රටේ ඉන්නවාදැයි සෙවීමට අංජනම් බැලීමටයි සිදුවෙන්නේ.තව අතකින් කැබිනට් තීරණ පක්ශ මධ්‍යම කාරකසභාවෙන් අවලංගු කරද්දී ඇමතිට කතාකරන්නට වචන නැතිවාද වියහැකි.

සියලුම ජයග්‍රහණවල තනි අයිතිය ලබාගන්නා අතරම,පරාජයන්හි වගකීම කවුරුන් හෝ අවශේෂ පුද්ගලයෙක් මත පැටවීමේ සුපුරුදු න්‍යාය අනුව යමින් දැනට  අසාර්ථක මේ ව්‍යාපෘතියේ වගකීම හැකි පහලම බලධාරියා වෙත පැටවීමේ කර්තව්‍යය නිසැකයෙන්ම ආරම්භ කරලයි තියෙන්නේ. සමස්ත  රාජ්‍ය මර්ධන යාන්ත්‍රනයේම කොටසක් වූ මේ සිදුවීමට වගකියන්නට සිදුවන්නේ පොලිස් පොඩ්ඩන් කීපදෙනෙකුටයි.නමුත් තත්වයේ   බරපතලකම පිළිබඳ සමාජගතවූ මතය හේතුවෙන්ම  චෙස්පෙතේ නයිට්වරයෙකුත් කපාදැමීමට පාලකයාට සිදුවෙනවා.සදාචාරය පිළිබඳ නාටකයක් රඟමින් ,පොලිස්පතිවරයාටත් කරලියෙන් ඉවත්වීමටයි අණ ලැබී තියෙන්නේ.

ඒ අතරම විරුද්ධමතධාරීන් පාගාදැමීමට තැනක් ,නොතැනක් නැතිව දොඩවන, මෙය බටහිර කුමන්ත්‍රණයක්යැයි බිරුසන්දෙන  වාග්මාලාව ආත්මය පාවාදෙමින් සිටින්නාවුන් ලෙස රටම හඳුනන්නා කේවට්ටයන් රෑනගේ මුවින් දෝරේ ගලායෑම ඇරඹිලා. කාලාන්තරයකට පෙර විශ්‍රාමගිය ,පෙර කම්කරු නායකයන්යැයි හඳුන්වාගන්නා මවුලානා කොලඹදී උද්ඝෝෂනය කරන්නේ මරාදැමුණු තරුණයාගේ මරණය සිදුවූයේ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම නිසා බව කියමින්. තවත් මේ අදහස ඉදිරියට ගෙන යෑමට අඩුවී තිබෙන්නේ විමල්ගේ සහ අනිකුත් දේශහිතෛශීන්ගේ අදහස් සහ මැදිහත්වීම පමණයි.ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය ඇමතිත් පලකරන්නේ මේ  ප්‍රකාශයමයි.සිදුවීමේ වගකීමෙන් පලායමින් ගමන්ම,ආණ්ඩුවට පනත අකුලාගැනීමට බලකලවුන්ටත් ගලක් ගසාගෙන යෑමකි මේ.

මිනිස් බිල්ලක් ගැනීමෙන් අනතුරුව ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයන් මත පොල්ලෙන් ගසා පටවන්නට හැදූ විශ්‍රාමවැටුප් පනත තාවකාලිකව අකුලාගෙන තියෙනවා.ආණ්ඩුව ප්‍රකාශකරන්නේ නව යෝජනා අනුව වෙනත් ආකාරයකින් මේ පනත නැවත ගෙන එන බව. ඔය ගෙනා පනත හොඳයැයි උදම් අනමින්,අදහස් පලකරමින් සිටි,18 වැනි සංශෝධනයටත් විරුද්ධ නිසා පක්ශව අත එසවූ ,වාසු වැනි අවලංගු කාසිවලට  මෙතෙක් පටලවාගෙන සිටි යට ඇඳුමත් ගලවාදමා හෙලුවෙන්ම දේශපාලනය කරන්නටයි ඉතිරිවී ඇත්තේ.

තම හැකියාව දන්නා කම්කරුවාගේ ඇස් ,පාලකයාට වෙනත් දවටනයක ඔතාගෙන එන පරණ පනතම පෙන්වීමෙන්නම් දැන් වැසිය නොහැකිවෙනු ඇති.තම අයිතීන්  වෙනුවෙන් කෙලින් හිටගත් ඔවුන්ට අපගේ ආචාරය.

විමලේගේ භයානක සිහිනය.

බෑන් කී  මූනා කමිටුවත් එක්ක ලංකාවට එන්න පැදුරු කොට්ට ලැස්ති කරනවලු ඔන්න.විමලේගේ රහස් පරීක්ෂක සේවයට ඔත්තුවක් හම්බවෙලා.”මේ මොන ගිනි විජ්ජුම්බරයක්ද වෙන්න යන්නේ යකෝ.අපේ මහා රජතුමා ඇවිදින් මට වතුර පෙව්වේ මූනාට එන්න දෙන්නේ නෑ කියලනේ.”විමලේට යක්ෂයා ආරූඩ වෙලා.”එහෙම පොරොන්දු නොවුනානම් එහෙම බලාගන්න තිබුන ඒ වෙලාවේ”.”එහෙම පොරොන්දු නොවුනානම් මොකද ඒ වෙලාවේ කරන්නේ සෑර්.”ඔතන මැද්දට පැනපු පාන්පිටි ත්‍රස්තවාදයේ පියා තට්ට විජේ ඇහුවා.”මේ ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවේ මගුලක් කතා කරනවා ,යනවා ඕයි යන්න.”විමලේ තට්ට විජේටත් බුරාගෙන පැන්නා.
 
විමලේ අලුත හම්බුනා ප්‍රාඩෝ එකේ නැගල බාල කුමාරයා ප්ලේන් එලවන වේගෙන් ඇරලා ගියා මුරුන්ගගහ වලව්ව පැත්තට.මෙහෙම යනවා බලාගෙන හිටපු තට්ට විජේ කෑ ගහල කිව්වා “සෑර් කලිසම ගලවලා යන්න” කියලා.හැබැයි මේක ඇහුනොත් විමලේට දුක හිතෙයි කියල හිතලද මන්ද ඒක හිතින් විතරයි කිව්වේ.වලව්වට ලංවෙද්දි තරහ නිවිලා හින්දදෝ මන්ද ආපු වේගෙන්ම රජතුමාට කතා කරන්න ගියේ නෑ විමලේ.පසඟ පිහිටුවලා වැඳ වැටිලා අහනවා”පස්වාන් දහසකට බුදුවන්න දේවයිනි,අනේ මිනිස්සු ඉස්සරහ ආයෙත් මගේ රෙද්ද ගලවන්න එපා,බලු ගැත්තාට අනුකම්පා කරලා මූනා මේ රටට එන ඒක නවත්තල දෙන්න.”රජතුමා බැලුවා මූ මොකාටද මේපාර අඳින්න හදන්නේ කියලා.”අනේ බාන්,උඹේ රෙදි නෑ  කියල අමුතුවෙන් කියන්න දෙයක්ද.ඔන්න ඔහේ ගිහින් වොයිස් කට් එකක් දීපන් මූනා එන්නේ මේ රට අධිරාජ්‍යවාදී බලවේගවලින් බේරගන්න කියලා.”
 
විමලේගේ  හිතටනම් කොහොමත්ම හරි නෑ.තව තුරුම්පුවක් ගහනවා කියල හිතල අර වයසට ගිහින් කල්පනාව අඩුවෙච්චි මාරසේකර දොස්තර මහත්තයට කියල කියෙව්වා ඔය සාක්කි එකතු කරන කමිටුවේ කොටි හිතවාදීනුත් ඉන්නවා කියලා.ඕක අහපු ජහමනයා අහන්න තියා ගත්තා රජ පරපුරට ඔහොම පොඩි කමිටුවක්වත් හරියට දාගන්න බැරි එකේ ඔය කියන විදියට මහ රජ්ජුරුවොයි,යුව රජ්ජුරුවොයි,කුමාරවරුයි එකතුවෙලා යුද්දේ දිනුවේ කොහොමද කියලා.ඉතින් ඔන්න ඒ වැඩෙත් චක බ්ලාස් වෙච්චි තැන මහා කම්පාවකට පත් වෙච්චි විමලේ මතටත් තිත තියලා මහා ලඹේ තුන්මහල් ප්‍රාසාදයට ගියා වැනි වැනිම.හිතේ අවුල හින්දම සශීගේ වත්තේ එලවලුකොරටුවෙන් කඩාගෙන උයාපු දේශීය ඩිනර් එකවත් හරියකට ගන්න බැරිඋනා.
 
ඇඳේ පෙරලි පෙරලි ඉඳලා ගොඩවෙලාවකට පස්සේ නින්ද ගිය විමලේ හදිසියේම දැක්කේ මුරුන්ගගහ වලව්ව ඉස්සරහ ගහල තියන අට්ටාලයක්.මූනාට ලංකාවට පැමිණීමට විරුද්ධ නොවීමට විරුද්ධව මාරාන්තික උපවාසය කියල බැනර් එකකුත් එල්ලලා.උපවාසේ පටන් ගන්න කලින් ලක්ෂ තුන්සීයේ නළුවා මුසම්මිල් ඇහුව කෝකටත් කියල විමලේගෙන් “සෑර් මහ රජ්ජුරුවෝ මේ ගමනත් වතුර පොවන්න එයිද”කියලා.විමලේ මුස්සම්මිගේ කනට කරලා කිව්වා “රජ්ජුරුවෝ නාවොත් කුමාරයෙක් හරි ගෙන්නවල ඉක්මනට වැඩේ කරාපන්.මට මේ වැඩ හින්ද තව කිලෝ ගානකින් බර අඩුකරගන්න බෑ.”කියලා. උපවාසේ වැඩේ ආරංචි වෙච්චි ජාගොඩ ඇමැතියි ,බුද්දදාස නළු තුමයි යන්න කලින් ඒ ගොල්ලන්ගේ අතේ වියදමින් කිලෝ දෙකේ ලෙමන්පෆ් පෙට්ටියක් ගෙනත් දීලම ” නිවට පෙරමුණ” අතෑරලා දාල ගියා.
 
පැයක් දෙකක් උපවාසේ නැගල යනවා දැන්.තට්ට විජේ,තුන්සීයේ නළුවා,මාරසේකර දොස්තර මහත්තය එහෙම අට්ටලේ වටේ එක්කහුවෙලා.තුන්  පැයකට විතර පස්සේ විමලේ පණ ඇද ඇද වොයිස් කට් එකක් දුන්නා.”මම මලත් සටන අතාරින්නෙ නෑ.මගේ තැන ගන්න දහස් ගණන් දේශහිතෙශී ජනතාව පෙළ ගැහිලා ඉන්නේ.මූනාට ලංකාවට එන්න වෙන්නේ අපේ මලකඳන් උඩින් තමයි”.
උපවාසය පටන් අරන් පැය හතරකුත් ගෙවුනා.
“රජජ්ජුරුවෝ මොකද යකෝ තව පරක්කු?”,”මහ රජතුමා එන්න බෑ කිව්වනේ,කියන දේ නාහ මෙතන උපවාස කරන්න ආවනම් ඕන මගුලක් වෙච්චාවේ කියල කිව්වා “
පැය හතරහමාරයි.
“යුව රජෙක්වත් අඬගහන් වරෙන් යකුනේ”.විමලේට තද වේගන යන්නේ දැන්.”යුව රජ්ජුරුවෝ තුන්දෙනාම රටේ නෑනේ සෑර්.”
“මේ අට්ටලේ ගහපු හැතිකරේ ඕව දැනගෙන හිටියේ නැද්ද”.විමලේට හීන් දාඩිය දාගෙනත් එන්නේ.
“කුමාරයෙක් හරි කමක් නෑ දැන්නම්,සපුමල් කුමාරයා නැද්ද?”  ආයෙත් අතවැසියෝ කුමාරවරු හොයන්න දුවනවා.
“කුමාරවරු කාර් රේස් එකකට ගිහිල්ල සෑර්”
“මෙහෙව් දේශහිතෙශියෙක් මැරෙන්න වැටිලා ඉද්දි වතුර පොදක් දෙන්න රජ පවුලේ කෙනෙක් නැති හැටි.” මාරසේකර දොස්තර මහත්තයා කම්මුලේ අත තියාගෙන අකම්පාල වෙනවා.
 
පැය පහයි.
වටේ පිටේ මිනිස්සු වටවෙලා හින්ද හොරෙන් ලෙමන් පෆ් එකක්වත් කාගන්න විදියක් නෑ.බඩපනුවෝ දැන් දැන් මැන්ඩලීන් ගහන්න තියාගෙන.ඊට වඩා විමලේට හීන් දාඩිය දාලා වැඩේ ගොඩ දාගන්නේ හොහොමද කියලා.”මොකෙක් හරි රාජපක්ෂ කෙනෙක් එක්කන් වරෙල්ල දැන්.වෙන කරන්න දෙයක් නෑ.”විමලේ තුන්සීයේ නළුවට කනට කරලා කිව්වා.
තුන්සීයේ නළුවා වහාම රාජපක්ෂලාගේ ලිස්ට් එකක් හදල බැලුවා.
ශෂීන්ද්‍ර රාජපක්ෂ,……………………………………………………….,අරුණි රාජපක්ෂ,මේනක රාජපක්ෂ,වරුණ රාජපක්ෂ.
ලිස්ට් එකේ මුලම  ඉන්න කට්ටිය කොහොමවත් අල්ලගන්න බැරිවුනා.අන්තිම හරියේ හිටිය නළු නිලියෝ ටිකත් ෂූටින් ගොහිල්ල.ඔන්න යන්තම් තට්ට විජේ කලින් හිටපු යාලුවෙක් කියලා වරුණ රාජපක්ෂව අල්ලගත්තා,විමලේට වතුර ටිකක් පොවලා උපවාසේ අතාරින්න.හොයාගත්තු රාජපක්ෂ වතුර වීදුරුවකුත් අරන් විමලේ ලඟට ආවා.වෙවුල වෙවුල වතුර ටිකක් බීපු විමලේ ඊට පස්සේ තමයි පෙව්වේ කවුද කියලා මුණ බැලුවේ.”යකෝ මේ යකා ජෙප්පෙක් නේද,මෙන්න මූ මට වහ පෙව්වෝ”  කියාගෙන උපවාසෙන් නැගිට්ට විමල් එකපාරටම දැක්කේ මුණ දිහා කන්න වගේ බලාගෙන ඉන්න සශිව.”රට පුරා සවරමේ ගිහින් බේගල් ඇදබාල එනවා මෙතන .රෑට නිදාගන්න බෑ ඊට පස්සේ.”සශිගේ දොස්මුරේ අහගෙන ඉන්න බැරුව විමලේ ඔලුවත් වහගෙන ආයෙත් ඇඳට වැටුනා.නින්ද යන්න කලින් හිතාගත්තා ඔන්න ඔහේ ඕන මූනෙක්‌ ආපුවාදෙන්.මම ඉන්නවා මගේ පාඩුවේ දෙයියනේ කියලා දෙන සිමෙන්ති කොට්ටයක් කාගෙන.

බිකෝ-තාමත් හඬනවා නිදහස

කැලෑ නීතිය යටතේ ඔහු මරාදමා තිස් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගෙවී ගිහින්.එත් ලෝකය පුරා මිලියන ගණනක් මිනිසුන්ට තවමත් ඔහුගේ මතකය වැළලී ගිය පැරණි අතීතයක් නොවෙයි.කාලය වෙනස් වී ගියත්,දේශය වෙනකක් වුවත් ඔහුගේ ජීවයෙන් පිරීගිය ප්‍රාණය දඩයම් කර ගත්තා වූ ඒකාධිපති දඩයක්කරුවන් අදත් ලෝකය පුරා සැරිසරනවා.ඒ දඩයම් කිරීමේ උවමනාව වඩාත් වැඩියෙන් මිට මොලවාගෙන.දඩයම් ආයුධ වඩාත් වැඩියෙන් මුවහත් කරගෙන.

ස්ටීවන් බන්ටු බිකෝ,එහෙමත් නැත්නම් ස්ටීව් බිකෝ තමන්ගේ දේශපාලනය ආරම්භ කරන්නේ වර්ගවාදී සුදු පාලකයන් අතිශය අමානුෂික ආකාරයට අහිංසක කළු ජනතාව පාගාගෙන සිටි දකුණු අප්‍රිකාවකදී.නටාල් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයකුව සිටියදී  දකුණු අප්‍රිකානු ශිෂ්‍ය ව්‍යාපාරය හරහා බිකෝ වර්ගවාදයට එරෙහිව අවි අමෝරා ගන්නවා. ඒ ඔහු පළමුව සම්බන්ධව සිටි “ජාතික ශිෂ්‍ය සංගමය” සුදු  බලපෑමට යටවී කළු ශිෂ්‍යයන්ගේ අයිතීන් සුරැකීමට අසමත්වීම හේතුවෙන්, ඉන් ඉවත්වී “දකුණු අප්‍රිකානු ශිෂ්‍ය සංගමය” පිහිටුවා ගැනීම තුලින්. මේ සංගමය හරහා කළු ජාතිකයන්ට නීතිමය උපදෙස් ලබාදීම,වෛද්‍ය සායන පැවැත්වීම වැනි සමාජ ක්‍රියාකාරකම් ආරම්භ කරනු ලබනවා.

වසර ගණනාවක් තිස්සේ සුදු පාලක රෙජීමයන් විසින් පහත් පෙලේ ජන කොට්ඨාශයක් ලෙස හංවඩු ගසා ,පාගා දමමින් සිටි කළු ජාතිකයන් එවකට මානසිකව පවා හැඩ ගැසී සිටියේ තමන් පහත් පෙලේ ජන කොට්ඨාශයක් ලෙස සිතීමටයි.බිකෝ මේ කළු ජාතිකයන්ගේ හීන මානය හොඳින් වටහා ගත්තා.ඔහු ශිෂ්‍යයන්ගේ සමුළුවකදී මේ පිලිබඳ ප්‍රකාශයක් කරනවා “පීඩකයාගේ බරපතලම ආයුධය වන්නේ පීඩිතයාගේ මානසිකත්වයයි” යනුවෙන්.මෙය අද ලෝකයේ පවා තවමත් ප්‍රසිද්ධ කියමනක්.කල්ලන් පහත් මිනිසුන් බවට තිස්සේ දෙවේලේම මතුරන සුදු මන්තරයෙන් කළු ජාතිකයා මුදවා ගන්නයි බිකොගේ අභිප්‍රාය වූයේ. මේ අරමුණ ඉෂ්ඨ කර ගැනීමට ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය වඩා පුළුල් බහුජන ව්‍යාපාරයක උවමනාව රටේ ඇතිවෙමින් තිබුනේ.ඒ අත්‍යාවශ්‍ය හිඩැස පිරවීමට බිකෝ “දකුණු අප්‍රිකානු කළු මිනිසුන්ගේ සංගමය” පිහිටුවා ගැනීමේ පුරෝගාමියෙක් වෙනවා.

මේ සංගමය හරහා “ඩර්බන්” නගරය මූලික කරගෙන කළු ජාතිකයන්ගේ සාමාජීය තත්වය වර්ධනය කිරීමේ ව්‍යාපාරයක් අරඹන අතරම,එහි ආරම්භයේම ලබා ගත්තාවූ සුවිශේෂීම ජයග්‍රහණය වන්නේ ශිෂ්‍ය සංවිධාන ඇතුළුව කළු ජාතිකයන්ගේ සංවිධාන 70 ක් පමණ එකට ඒකරාශී කරගන්නට හැකිවීමයි.බිකෝට තවදුරටත් වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට අධ්‍යාපනය ලැබීමට කාලය වෙන් කර ගැනීම පහසු වුනේ නෑ.ඔහු වෛද්‍ය විද්‍යාලයට ආයුබෝවන් කියා පූර්ණ කාලීන අරගලය තොර ගත්නේ අනාගත වෛද්‍යවරයෙක් හැටියට සුවපත් කරන රෝගීන් ගනනට වඩා වැඩි පිරිසකගේ අනාගත සුවය උදෙසායි.තමන්ගේ අනාගතයට වඩා ,දහසක් පීඩිතයන්ගේ අනාගතය වටිනා ලෙස සැලකු නිසායි.

තවත් වසරක් ගතවුණ තැනදී වර්ගවාදී ඒකාධිපති ආණ්ඩුව විසින් බිකෝ යනු දුරු කල යුතු පිළිලයක් ලෙසට තීරණය කර ඔහු ඇතුළු තවත් ශිෂ්‍යයන් 7 දෙනෙකුගේ දේශපාලන කටයුතු තහනම් කරනු ලබනවා.එතැන් සිට ඔහුට ගමන් බිමන් වල යෙදීම,කතාපැවැත්වීම සහ ලේඛන කටයුතුවල යෙදීම තහනම් වෙන අතර ඔහු තම නිවස තුලම නිවාස අඩස්සියට පත්වෙනවා.නමුත් ආණ්ඩුවට බිකෝගේ දේශපාලනික කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමේ හැකියාව ලැබෙන්නේ නෑ.ඔහු නිවාස අඩස්සියේ හිඳම දිගටම රහසිගතව දේශපාලන කටයුතුවල නියැලෙනවා.අතරතුර එක අවස්ථාවකදී නිවසෙන් බැහැරව ගමන් කරමින් සිටි බිකෝ පොලිස් මුරපොලකදී අහම්බයෙන් පොලිස් පරික්ෂාවට ලක්වීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්වන්නේ ආණ්ඩුව ප්‍රීතියට පත් කරමින්.

මේ කළු කරදරයෙන් මිදීමට ලද පළමු අවස්ථාවේම ප්‍රයෝජනය ගන්නා සුදු ආණ්ඩුව යටතේ පොලිස් සිර මැදිරියකදී දහසක් වධ වේදනාවන්ට ලක්වූ බිකෝගේ  ජීවිතය  31 වන වියේදී අවසාන වෙනවා.ආණ්ඩුව වහා නිවේදනයක් නිකුත් කරන්නේ නිරාහාරව උපවාසයක් කල බිකෝ ඒ හේතුවෙන් මියැදුණු බව.කොයි හැටි වෙතත් බිකොගේ සගයෙක්ද, සුදු ජාතික පුවත්පත් කතුවරයෙක්ද වූ “ඩොනල්ඩ් වුඩ්ස්ගේ”රටින් පලාගොස් කරන ලද හෙළිදරව්ව සත්‍ය සිදුවීම් ලෝකය හමුවේ විවර කරනවා.ඉතින් තම ජීවිතය කැපකරමින් මානව යහපත වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල මේ නිර්භීත මිනිසා අදටත් ලෝකය පුරා සිහිපත් කෙරෙන්නේ ගෞරවයෙන්.

බිකෝගේ අරමුණ වූ කලුජාතිකයන්ට ඔවුන්ගේ සමාජය,සංස්කෘතිය පිලිබඳ ආඩම්බරයක් ඇතිකිරීමේ ක්‍රියාවලිය ඔහුගේ මරණය වෙද්දී තරමක් දුරකට සාර්ථක වී තිබුනේ.මිය ගිය ඔහුගෙන් වර්ගවාදී ආණ්ඩුවට ඇතිවූයේ ජීවත්ව සිටියාට වඩා වැඩි තර්ජනයක්.ඒ අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව සම්බාධක පනවන්නට තීරණය කළා.අනතුරුවයි  කාලයත් සමග පාලනය වෙනස් වූ දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ට අද වන විට වඩා යහපත් සමාජයක් ගොඩනැගී තියෙන්නේ.

ඒ ඒකාධිපතිවාදයේ පස අදටත් මෙවන් සොඳුරු මිනිසුන් ජනිත කරවන බිමක් ලෝකය පුරා විවිධ අහුමුලුවල හදමින් ඉන්නේ.තිස් වසරක් එපිට පාලක රෙජීමයන් විසින් මෙහෙයවූ මර්ධන හස්තය අදටත් වෙනත් ආකාරවලින් වෙනත් නම්වලින් ලෝකය පුරා දිගුවෙමින් පවතිනවා.මේ අතීතය අද රටේ ලෝකයේ සිදුවීම සමග කෙතරම් සමපාත වෙනවාද යන්න දවසින් දවස තහවුරු වෙමින් පවතින්නේ.මේ ඉතිහාසය සමහරවිටෙක මතුයම් දිනක තවත් ආකාරයකට,තවත් භූමියකදී ලියවෙනු ඇති.ඒ ආකාරයටම මෙවන් ජීවිත පරිත්‍යාගයන් පුද්ගලික දියුණුවක් බලාගෙන, වැලයන අතට මැස්ස ගැසීමට නොදන්නා උන්ගේ පුහු ක්‍රියාවන් ලෙස හඳුනාගන්නා පිරිසක්ද නිසැකයෙන්ම සිටිනවා ඇත.නමුත්, අද දවසේ තලා,පාගා,පොඩිකරදමන්නාවූ මෙවන් මිනිසුන් අනාගත සමාජය ආදරයෙන් සිහිපත් කරන්නාවූ දවසක්ද උදා නොවී තියෙන්නේ නැතැයි සිතිය හැකිද?

අද දකිනා හෙට අරුමය.

ජයන්ත චන්ද්‍රසිරිගේ අකාල සන්ධ්‍යා හෙවත් කාලාත්‍රයේ තීර්ථ යාත්‍රිකයා ආයෙත් බලන්න කියලා කල්පනාවට ආවා.අන්තර්ජාලය හරහා නාටකය දිග ඇදෙද්දී,නාගසිංහ කැරකිලා කැරකිලා අනාගත ලෝකයෙන් ප්‍රාදුර්භූත වෙන මොහොතේදීම මම ඉඳගෙන හිටිය පුටුවත් භ්‍රමණය වෙන්න පටන් ගත්තා.කරකැවිල්ල නතර වෙද්දී වටෙන් පෙනෙන්න ගත්තේ අපේ ගෙදරම නුපුරුදු වටපිටාවක්.කොයි එකටත් කියලා මිදුලට බැහැලා බැලුවමත් අහල පහල සේරම ලොකු වෙනසක් වෙලා තියෙන්නේ.

මේ උදේ කාලෙදිත් ඉස්සර වගේම ගේ ඉස්සරහ පාරේ ළමයි රෑනක් ඉස්කෝලේ යනවා.හැබැයි කිරිකොක් සුද නෑ.නිල් පාට කහපාට ඇඳුම් ඇඳගෙන.මමත් වැට අයිනට ගිහින් පොඩ්ඩක් එබිකම් කරලා බැලුවා.ඉස්කෝලේ ඇඳුම් වල පිටිපස්සේ සබන් ඇඩ් එකකුත් ගහල තියනවනේ බොලේ.කට ඉස්සර කරගෙන නොදන්නා දේවල් අහල ඇන ගන්නේ මොකටද කියල හිතාගෙන ඉද්දි එහාගෙදර හිටපු නංගිත් පොඩි එකෙක් අතින් අල්ලාගෙන එනවා ඉස්කෝලේ යන්න.මම හිමිහිට කෝකටත් කියල මේ වෙලා තියන විනම්බැසිය මොකක්ද කියලා බලන්නත් එක්ක කතාවක් දාල බැලුවා.

“ආ අයියා අවුරුදු ගානකින් දැක්කේ,කවදද ගෙදර ආවේ.”අහපු දේ නොතේරුණත් මම කිව්වා “ඊයේ රෑනේ ආවේ.”
“පුතාව ඉස්කෝලේ එක්කන් යනවද,ලස්සන ඇඳුම නේද?”
“මේ අවුරුද්දේ ඉස්කෝලේ සන්ලයිට් කොම්පැනියෙන් ගත්තනේ,එකයි ඇඳුම වෙනස් කරලා තියෙන්නේ.”
“මොකක් ,මේ රන්ගිරිගම ඉස්කෝලේ?”
“ඔව් ඔව්,වෙන්දේසියෙන්නේ අරගෙන තියෙන්නේ.තව කොම්පැනි බර ගානක් හිටියලු මේ ඉස්කෝලේ ගන්න.මේ කොම්පැනියෙන් ඉස්කෝල ෆීස් අඩුකළ හින්ද හොඳයි.නැත්නම් ගිය අවුරුද්දේ පුතා ඉස්කෝලේ යවන්න හිටියේ.සල්ලි හොයා ගන්න බැරිවුනානේ.”
“පරක්කු වෙනවා,ගිහින් එන්නම් එහෙනම්”

මොලේ ඔල්මොරොන්දම් වෙච්චි මම ගෙදරට ඇවිත් වතුර වීදුරු දෙක තුනක්ම බීල තමයි නතර උනේ.ගමේ විස්තර මෙහෙමනම් රටේ විස්තර කොහොමද කියලා බලාගන්නත් එක්ක මට හිතුනා කොළඹ පළාතේ රවුමක් ඇවිදලා එන්න.ටවුමට ගිහින් බස් එකකට නගින්න කලින් “දිවයින”පත්තරේ අරගත්තා කියවන්න කියලා හන්දියේ කඩේකින්.මුල පිටුවේම හෙඩ් ලයින් එක තියනවා පොල්ගෙඩි අකුරින්,”ලබන වසරේ ජනපතිවරණයෙන් මුචලින්ද රාජනායක ශ්‍රීමතාණන්ට විශිෂ්ට ජයග්‍රහණයක්.”
මම තව ටිකක් කියවලා බැලුවා,යකඩෝ එන අවුරුද්දේ චන්ද ප්‍රතිඵලේ අද පත්තරේ දාන්න තරම් මේ තියන දියුණුව මොකද්ද කියල.

“හතලිස් අටවෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එක් ජනපති කාලසීමාවක් අවුරුදු 10 ක් බවට පත්කිරීමෙන් අනතුරුව පවත්වන්නට නියමිත පළමු ජනාධිපතිවරණයෙන් 75% ක පැහැදිලි ජනවරමක් වත්මන් ජනපති රාජනායක ශ්‍රීමතාණන් විසින් ලබාගනු ඇත.දිවයින ජාතික පුවත්පත, ස්වර්ණවාහිනිය සහ ශ්‍රී එෆ් එම් ගුවන් විදුලිය එකාබද්ධව පැවැත්වූ ජනමත සමීක්ෂණයෙන් මෙම ප්‍රතිඵලය නියත බව තහවුරු වී ඇත.එබැවින් පොදු ජනතාවගේ වටිනා කාලය හා ශ්‍රමය නාස්ති කිරීමන් තොරව මීළඟ ජනපතිවරණය නොපවත්වා,ඉහත ප්‍රතිඵලය අනුව වත්මන් ජනපති ශ්‍රීමතාණන් මීළඟ ජනපති ලෙසද එන වසරේ දිවුරුම් දීමට ඒකපුද්ගල මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.පාර්ලිමේන්තුව වසර දෙකකට කල් තබා ඇති බැවින් ගතයුතු තීරණ සහ කලයුතු මාධ්‍ය ප්‍රකාශයන් පිලිබඳ උපදෙස් ඇමති මණ්ඩලයට යථා කාලයේදී ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන්නට සලස්වනු ඇත.”

පත්තරේ කියවලා උතුර දකුණ මාරුවෙලා ටික වෙලාවක් හිටිය මට ,පත්තරේ  ආයෙත් බලන්න කල්පනාවක් ආවේ බස් එක සෑහෙන දුරක් ගියාට පස්සේ.මුල් පිටුවේම තව පුවතක් තියනවා ටිකක් යටට වෙන්න.
“ජෝන් කීල්ස්-කැලණිය සරසවියට එරෙහිව බටහිර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවන බව එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලීන් ද සිල්වා මහතා හෙළි කරයි.උපකුලපතිතුමා වැඩිදුරටත් හෙළි කරන්නේ තමන් බලයට පැමිණියහොත් සරසවි සිසුන්ගෙන් 50% කට නොමිලේ අධ්‍යාපනය ලබාදෙන බවට යම් යම් පක්ෂ කරන ප්‍රකාශයන් ,බටහිර අධිරාජ්‍යවාදී  අනුකාරක ඇන්කරයන්ගේ  මෙහෙයවීමෙන් එන් ජී ඕ මුදල් වලින් නඩත්තු වෙන කණ්ඩායම් විසින් කරන ප්‍රකාශයන් බවයි.මේ කුමන්ත්‍රණ පරාජය කිරීමට දිවි හිමියෙන් කැපවී සටන් කිරීමට තමන් උසස් අධ්‍යාපන ඇමති මහාචාර්ය කුක්කු සිල්වා  මහතා සමග අත්වැල් බැඳ ගන්නා බවට එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.”

ඔය අල්ල පනල්ලේ බස් එක දළුගමටත් ලංවෙලා.මටත් හිතුනා ඔය හරියෙන් බැහැලා කීල්ස් සරසවියේ දියුණුව බලලා යන්න ඕනේ කියලා.බැස්ස ගමන් වටේම සුරපුරයක් වගේ.වයිවාරන්න කඩසාප්පු.මැක් ඩොනල්ඩ්ස්ද පීසා හට්ද,කාර් ෂෝරූම්ද වටේටම.මොනවද නැත්තේ.ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තනි තනියම,ජෝඩු ජෝඩු පියඹල යනවා පාට පාට කාර් වලින්.සරසවි පාර දිගේ හිනාවෙවී ඇවිදගෙන එනවා.හැබැයි අපි ඉස්සර දන්නා කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ හැඩරුවනම් හොඳටම වෙනස් වෙලා ගිහින්.අර ඉස්සර දවසක තනියම ගිහින් කැම්පස් එක ඉස්සරහ උද්ඝෝෂණයකට ගලක් ගහල දුවන්න ගිහින් අම්මලා ආදරෙන් අල්ලාගෙන ටොකු ඇන්න පුතා ජාතියේ කෙසඟ ශිෂ්‍යයෝනම් කොහෙවත් පේන්න නෑ.

දැන් ඉතින් ඉස්සරවගේ උපවාස ,උද්ඝෝෂණ බලන්න වෙන්නේ පරණ වීඩියෝ වලින් තමයි කියල හිත හිතා පොඩ්ඩක් ඉස්සරහට යද්දී මෙන්න බොලේ අර ඒ කාලේ වාගේම කොල්ලෝ කෙල්ලෝ බෝඩ් උස්සගෙන කෑ ගහනවා.මමත් ලංවෙලා බැලුවා මොනවද මේ බෝඩ් වල ලියලා තියෙන්නේ කියලා.
“ශිෂ්‍යයන්ගේ කාර් පාර්කින් ඉඩ වැඩිකරනු.”
“සරසවියේ කැබරේ ඩාන්ස් තහනම වහා ඉවත් කරනු”
“සරසවි තානායමේ කාමර ප්‍රමාණය දෙගුණයක් කරනු”
“…………………………………………”

මේ රට තොට දැක්ක හොඳටෝම ඇති කියල හිතුනු මම ඉක්මනට ආපහු ආව ගෙදරට ආයේ කැරකිලා කැරකිලා ගෙදර යන්න හිතාගෙන.පුටුවේ කැරකෙන ගමන් මම හිතුවේ ආපහු ආව ගමන් ඔය පාර දිගේ කෑ ගහන ගොන් කොල්ලන්ට කියන්න ඕනේ කියලා ඔය ගුටිකන්නේ නැතුව තමන්ගේම කියල ස්වයං රැකියාවක් හරි කරගෙන පැත්තකට වෙලා ජීවත් වෙන්න කියලා.