දෝණිගේ ප්‍රශ්න දම්වැල.

එදා නිවාඩු නිවාඩු දවසක් වෙච්චි කොට උදේ වරුවේ මම පත්තරේ බලමින් හිටියේ.කොහේදෝ ඉඳන් දෝණි දුවගෙන ආවා.

“තාත්තේ,තාත්තේ……අපි වෙලට යමු කොක්කු බලන්න.”

මමත් පත්තරේ පැත්තකට දාල වත්ත පහල වෙල් යායට ගියා දෝණි එක්ක.අත් ට්‍රැක්ටරයක් සද්දේ දාගෙන ලියැද්දෙන් ලියැද්දට හාමින් යනවා. කුඹුරුයාය පුරාම පැතිරිලා යන්නේ නහය පිනවන මඩ සුවඳ. මැඩෙන මඩේ පාවෙන තිත්තයෝ,කණයෝ, නළහඳයෝ අල්ලන්න කිරි කොක්කුත් ,කණ කොක්කුත් රෑන් පිටින් අහස පුරා කැරකෙනවා.

“තාත්තේ මොකද මේ කොක්කු කරන්නේ.”

“ඔය එන්නේ මාළු අල්ලන්නනේ ”

“ඇයි ඒ මාළු අල්ලන්නේ?”

“කොක්කුන්ට කන්නනේ”

“මාළු අල්ලගෙන් ඒගොල්ලෝ කොහෙද යන්නේ ”

” කොහේ හරි ගහකට යනවා මාළු කන්න”

” ඒ සේරම කොක්කු  යන්නේ එක ගහකටද ?”

” එක එක ගස් වලට යනවා ඇති “

“…………………………..”

“……………………………….”

මේ නොනවතින ප්‍රශ්න වැල බොහෝවිට නවතින්නේ මුල ප්‍රශ්නෙට පලාතකවත් සම්බන්ධයක් නැති වෙනත් ප්‍රශ්නයකින්.ඒ නැවතුමත් බාගවෙලාවට උත්තර දීම එපාවුණු මගේ උප්පරවැට්ටියකින් නවතිනවා විනා දෝණිට එපාවීමකින් නවතින ප්‍රශ්න දම්වැලක් නෙවෙයි.

පුංචි උන් ලෝකය ඉගෙනගන්නේ,තේරුම් ගන්නේ ඇහෙන,දකින දේවලිනුත්,අහන ප්‍රශ්න වලිනුත්. ප්‍රශ්න ඔවුන්ගේ  සාමාන්‍ය ස්වභාවයක්. තිස්සේ දෙවේලේම තමන්ගේ ඇස් ඉදිරිපිට සිදුවෙන අලුත් අලුත් දේ ඔවුන්ට ගෙනත් දෙන්නේ හරිම කුතුහලයක්. ඉතින් ඔවුන්ගේ ප්‍රශ්න වලට උත්තරදීම හරිම පරිස්සමින් කලයුතු  වැඩක්.සමහරක්විට අපි ප්‍රශ්නවලින් බේරෙන්න කියන බොරුවක් ඇතිකරන්නේ අනාගතය ගැන ලොකු බලපෑමක් වෙන්න පුළුවන්.

මගේ එක්තරා මිතුරෙක් දරුවාගේ මේ ප්‍රශ්න ඇසීමේ කරදරයෙන් මිදෙන්නටත්,තමන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු දරුවාගේ කරදරයෙන් මිදී කරගැනීමටත් යෙදූ උපක්‍රමය දරුවාට පරිගණකයේ කාටුන් දමා බලන්නට දීම.දැන් ගෙදර ඉන්නා බොහෝවිට පරිගණක තිරය තුල වීරයන් සොයමින් ඉන්නා  පොඩි එකාගෙන්   දෙමාපියන්ට ඇති කරදර බොහොම අඩු බවයි මගේ මිත්‍රයාගේ අදහස. නමුත් ලෝකයට විවරනොවී, සින්තටික් සිහිනයක දවසින් දවස ගිලෙන දරුවා ගැන මගේ මිත්‍රයාට අදහසක් නෑ.

දෝණි හෙවත් කාටූන් වෙනුවට කතන්දර අසන්නට පුරුදුවී සිටින්නී කතන්දර ඇසීම නිසා  ප්‍රශ්න මාලාව තව තවත් වැඩිකරගනිමින් ඉන්නේ.මේ නිසා වැඩිමනක් අමාරුවේ වැටී ඉන්නේ අඩුවෙන් කතාපොත් කියවා ඇති දෝණිගේ අම්මායි.බාගවිට සතියකට කලින් කියූ කතන්දරයක් ගැන ලොකු ප්‍රශ්නයක් ඇයට මතුවෙන්නේ දැන්.

“අම්මේ,අර මැරෙන්නේ නැති රාක්ෂයාගේ නම මොකද්ද?”

“අම්මේ අර නපුරු නාගයා තනියම වහුපැටියෙක් බැදලා කන්නේ කොහොමද?”

“අම්මේ ඉඳිකටුපැන්චාද ,කෝටුකිතයියාද වැඩියෙන් කෙට්ටු?”

“අම්මේ පයින් යන්නේ නැතුව නැතිරටට ප්ලේන් එකේ යන්න බැයිද?”

ගහ කොළ මල් සහ කුරුල්ලන් කෙරෙහි සිත් ලොබ බැඳගෙන ඉන්නා ඈට සොබාදහමත් මවාදෙන්නේ තවත් ප්‍රශ්න කන්දරාවක්.රෝස මල් රතුපාට වෙන්නේ ඇයි කියාත්,පොල්කිච්චාට කැත පාටක් තියෙන්නේ ඇයි කියාත්,රෑට එලිය මවන සත්තුන්ගේ ලයිට් සේරම කොලපාටම වෙන්නේ ඇයි කියාත් ඇයට තනියම උත්තර හොයාගන්න බැරි ප්‍රශ්න. ගහක් වගේ තිබුණු වලාකුළක්,තවත් ටිකක් දුර පාවෙලා යද්දී කන්දක් වගේ වෙනස් වීමත් දෝණිට ලොකු කුතුහලයක් ඇතිකරන්නක්. ඒ විතරක් නොව,වත්ත පහල එකට ගෑවෙමින් උස ගොස් ඇති කොස් ගහත් මහෝගනී ගහත් හුළඟත් සමඟ හඬ නගමින් වැනෙන්නේ  ඔවුන්ට රිදෙන නිසාද,නැතිනම් තරහගොසින් සිටින නිසාද යන්නත් ඇයට ලොකු ප්‍රශ්නයක්. ලිඳේ වතුර නිල් පාට වෙද්දී ,ඔයේ වතුර දුඹුරු පාටවීමත් ඇයට පැහැදිලි නෑ.

“තාත්තේ,තාත්තේ……වහින්නේ ඇයි?”

ඒ එයාට මිදුලේ සෙල්ලම්බත් උයමින් ,දූවිලි නාමින් හිටිගමන් හදිස්සියේම නැගිච්චි ප්‍රශ්නයක්. “වහින්නේ නේද……….වහින්නේ  පොළවට වතුර ඕනේ හින්දනේ.”

“නෑ,නෑ තාත්තේ…..වහින්නේ පැළවලට වතුර දාන්නයි,නාන්නයි,බොන්නයි,රෙදි හෝදන්නයි.”

ඒක තමයි දෝණි අහන ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ කියල හිතාගෙන ඉන්න උත්තරේ.

සමහරක් වෙලාවට අහන ප්‍රශ්නෙට එයාටම උත්තරයකුත් තියනවා ඒ වගේම.

දෝණිගේ මිත්‍ර සමාගමයේ පරිගණක  තිරයෙන් ලෝකය දකින දෙතුන්දෙනා හැරුණු කොට අනෙකුත් පුංචි උන්ටත් තියෙන්නේ නානාවිධ ගැටලු.තමන් ගැටෙන පරිසරය සමඟ ඒවායේ ස්වභාවය වෙනස්වුවත් ඒ සියල්ල එකම මාදිලියේ ප්‍රශ්න. මේ කුතුහලය ඔවුන් දවසක ලෝකය පිළිබඳ දැනුවත් මිනිසුන් කරාවි.

“තාත්තේ….තාත්තේ…….”

හපොයි,තවත් ප්‍රශ්නයක්ද?

පල නොකල මහාවංසය

තරමක කාලෙකට පස්සෙයි ගම්පලාතෙ යන්න පුලුවන්කමක් ලබුනෙ.අන්තිම වතාවෙ ගොහින් ඇවිත් මහ කාලයක් ගත නොවුනත් තරමක වෙනස්කම් තැනින් තැන සිද්ධවෙලා.බස් පාරෙන් හැරිල අපේ ගෙවල් පැත්තට යන අතුරු පාරත් කොන්ක්‍රීට් දාලා,මහපාරට පේන වංගුව ගාවටම.එතනින් එහාට පහුගිය ප්‍රාදේශීය සභා චන්දෙන් පස්සේ කොන්ක්‍රීට් දානවා කියලා වසන්ත මන්ත්‍රීතුමා පොරොන්දුවෙලා තියනවා.ඉතින් එහෙව් පුද්ගලයෙකුට ඡන්දේ නොදී ඉන්නෙ කොහොමද කියලයි අල්ලපු ගෙදර ගීතා නැන්දා කියන්නෙ.එහෙම හිතන පාරවල් ගානක මිනිස්සු ඉන්න හින්දද මන්දා මෙදා පාරත් වසන්ත මන්ත්‍රීතුමා නූලෙන් වගෙ ප්‍රාදේශීය සභාවට පත්වෙලා තියෙන්නේ.

ඉතින් හවස් වෙන්න ඇරලා මම ඔය පාර දිගේම කඩේ පැත්තට යන්න පිටත් උනා.මාතර මාමා කොහේදෝ ගිහින් එනවා මට හම්බවුනේ ඒ අතරෙදි.මාතර මාමා අපේ ගමේ පද්මිණී නැන්දාව කසාද බැඳලා එහෙ බින්න බැහැපු මනුස්සයෙක්.ලී බඩු සාප්පුවල බඩු පොලිෂ් කිරීම වගෙ පොඩි පොඩි වැඩ තමයි රස්සාවට කරමින් හිටියෙ.රස්සාව එහෙමවුනත්, සමාජ අවබෝධයක් තියන, උසස්පෙලත් සමත් වෙච්චි කෙනෙක්.ඔය පුංචි පුංචි රස්සාවල් කරලා හම්බවෙන මුදලත් සමහරවිට සෑහෙන්න වියදම් කරන්නෙ අමුතුම තාලේ වැඩ වලට තමයි.

එක වතාවක් ඔය යුද්ධය තදින්ම යන දවස්වල “අපෙ රටේ රණවිරුවෝ” කියලා කවිකොලයක් ලියල අච්චු ගස්සවලා ගමේ ගෙවල් වලට බෙද බෙදා ගියා මට මතකයි.ගමේ කොල්ලෝ කුරුට්ටෝ එකතුකරගෙන දේශයට ආදරේ කරන්නන්ගේ සංවිධානයක් හදන්නත් සෑහෙන උත්සාහයක් දැරුවා ඒ දවස්වල,ඒ වැඩේ අසාර්ථකවුනත්.ඔය වැඩ කොච්චර තිබුනත් පද්මිණී නැන්දා එක්ක බැන අඬගහගන්නවනම් අපිට කවදාවත් ඇහිලා නෑ.සමහරවිට නැන්දාත් මාතර මාමාගේ රට වෙනුවෙන් කරන සේවයට නිහඬ සහයෝගයක් දක්වනවා ඇති.මාමා ගෙදර ඉන්නවනම් ගේ ඉස්සරහ පාරෙන් කවුරුහරි යනකම් බලාගෙන ඉන්නෙ අල්ලගන්න,රටේ තොටේ තත්වය ගැන කතා කරන්න.මමත් ඉතින් අනික් වැඩ පැත්තකට දාල ඔහොම වෙලාවට මාතර මාම එක්ක රටෙ අභිවෘද්ධිය ගැන කතා කරන නිසා මනුස්සයාට මාව කතාවට අල්ලගන්න තියනවනම් හරිම සතුටුයි.

පහුගිය අවුරුදු ගානක් තිස්සේම මාතර මාමාට තිබුනෙ එකම අරමුණයි.ඒ විජය කුමාරයාගේ ලංකාගමනයේ ඉඳලා,වර්තමානය දක්වාම ලංකාවේ කථාව ඇතුලත්කරපු ඉතිහාස පොතක් ලියන එක.මම ඔය කාරණාව දැනගන්නකොටත් ඔය වැඩේ පටන් අරගෙනයි තිබුනේ.හම්බවුන වෙලාවට හැමදාමත් කියන්නෙ මේ ලියමින් ඉන්නා පොත ගැනම තමයි.
“මේ පොත අඩු ගනනේ පිටු පන්දාහක්වත් වෙයි” මාතර මාමා කියනවා.
“එච්චර මොනවද තියෙන්නෙ ලියලා.”
“ඔයා දන්නෙ නැද්ද අපේ රටේ කොච්චර පෝසත් ඉතිහාසයක්ද තියෙන්නෙ,ඒක වර්ණනා කරලා ලියන්න ඕනේ.මේකේ කවි තියනවා,චිත්‍ර ඇඳලා තියනවා.ඉතින් පිටු පන්දාහට වැඩි මිසක් අඩු වෙන්නෙ නෑ”.මාතර මාමා  හරිම උජාරුවෙන් කියන්නේ පොතට ඇතුලත් කරන්න යන සනත් ජයසූරිය ගැන ලියාපු කවියකුත් කියන ගමන්.”ඔයා ගෙදර එනවා කිව්වට ලියපු ටික පෙන්නන්න කෝ එන්නෙ නෑනෙ කවදාවත්.” කිව්වත් වගේ කවදාවත්ම මට ලියපුටික බලන්න ගෙදරටනම් යන්න බැරිවුනා.

කරන රස්සාවත් එක්ක පොත ලියන්න හොයාගන්න තියන  කාලය අඩුවීම ගැනනම් මනුස්සයා හිටියෙ හරිම විස්සෝපයෙන්.දෙදරු පියෙක්වුන මාතර මාමා බලාපොරොත්තුවෙන් හිටියෙ ඒ වෙනකොට උසස් පෙල කරමින් හිටි දුව විභාගෙන් පස්සේ තරමක කාලෙකට හරි රස්සාවක් කරන්න පටන් ගනීවි කියලා.
“එතකොට ඒ කාලෙදි මට පුලුවන් ගෙදර නඩත්තුව එයාට බාර දීලා ෆුල්ටයිම් පොත ලියන්න”
“එහෙම සාධාරණ නෑ නේද,අනික් දුවත් තාම හයේ පන්තියෙ නේද?”
“මේක ජාතික වගකීමක්,මගේ දරුවො සංතෝෂ වෙන්න ඕනෙ මම කරන වැඩේ ගැන.ඉතින් ටික කාලයකට ඒ කැපකිරීම ඒ ගොල්ලො කරන්න අකමැති වෙන්න හේතුවක් නෑනේ”. ඉතින් ඔය උත්තරේ පලවෙනි පාරට හම්බවුනාට පස්සේ මම ආයෙත් ඔය කාරණාව මතක් කලේ නෑ තවත් වතාවක්.

ඔය කතාබහ වෙච්චි කාලෙන් පස්සෙ දුර බැහැර පලාතක රස්සාව කරන්න සිද්දවුන මට ගමට එන්න ලැබුනෙ සති ගනනාවකට වතාවක්.ඉතින් වෙනදා වගේ කඩපිලට යමින් ගමන,උදේ බස් එකට දුවමින් ගමන අපිට කතාබහක් කරන්න ලැබුනේ නෑ.ආයෙත් මට මාතර මාමාව හම්බවුනෙ දවස් දෙක තුනක නිවාඩුවකට ගමට ආපු ගමනකදි.
“කොහොමද දැන් පොත”
“සෑහෙන දුරට ඉවර කරලා තියෙන්නෙ.දුව රස්සාවට යන නිසා දැන් මට මෙ වැඩේට ලේසියි.බලන්නකෝ ටීවී වල රටට ආදරෙන් බෙරිහන්දෙන මිනිස්සුන්ගෙන්වත් මේ වැඩවලට කිසිම සහයෝගයක් නෑනේ.”
“ඇයි මොකද උනේ?”
“මම ගියා සූරිපෙරුම මහත්තයා හම්බවෙලා පොත පෙන්නලා අදහසක් ගන්න.කොහෙද පෙන්නපු ගමන් කිව්වනේ අනේ අනේ මටනම් ඕවාට ආධාර කරන්න සල්ලි නෑ කියලා.”
“ඉතින් ඔයා කියන්න එපායැ ඔයාට සල්ලි නෙවෙයි ඕනේ කියලා”
“කිව්වා,දැන් මට ඕවා බලලා විචාර කරන්න වෙලාවක් නෑ,මේ දවස්වල හරි බිසී.එහෙමනෙ උන්නැහේ මට සැලකුවේ”
“ඒක තමයි ඉතින් ඔය පොත් ප්‍රකාශකයෙකුට පෙන්නලා බලන්නකෝ සෑහෙන්න වැඩේ ඉවරනම්.”
“එයිට කලින් මම මේ ජනාධිපතිතුමා හම්බවෙලා පෙන්නන්න බල බල ඉන්නේ.මම ලියුමකුත් යවලා තියෙන්නේ.උත්තරයක් එවාවි අද හෙටම”

ඔය මාතර මාමා තමයි මම අලුත කොන්ක්‍රීට් දාපු පාර දිගෙ කඩේ පැත්තට යමින් ගමන මූණට මුලිච්චි වුනේ.කාලෙකින් තමුන්ගේ හිතේ තියන දේවල් කියද්දි අහගෙන ඉන්න මනුස්සයෙක් හම්බවුන නිසාද මන්දා මූණේ මතුවුනේ ලොකු හිනාවක්.මමත් දැක්ක සැරේම සුපුරුදු ප්‍රශ්නය ඇහුවා.
“ඉතින් කොහොමද,කොහොමද පොතේ වැඩේ”
“පොත දැන්නම් ලියලා ඉවරයි,තාම ප්‍රින්ට් කරගන්න ලැබුනේ නෑනෙ.ඒ වැඩේ පරක්කු වෙන්න වෙන්න තව තව ඉතිහාසය ලියන්න වෙනවනේ.මම ඉතින් රටේ දැන් සිද්ධවෙන සංවර්ධනය ගැනත් ටික ටික ලියනවා.”
“පොත ජනාධිපතිතුමාට පෙන්නන්න ලැබුනද?”
“තාම නෑ,එතුමාටත් ඉතින් කොච්චරක් කියලා වැඩ රාජකාරිද,නේද?”
“ඒක තමයි,තාම රස්සාවක් කරන්නේ නැද්ද,දැන් වැඩේත් සෑහෙන්න ඉවර නිසා ඔය වැඩේ කරන ගමන් රස්සාවකුත් කලානම් නේද හොඳ?”
“ආයෙත් මම පරණ පොලිෂ් කරන රස්සාවම කරන්න පටන් ගත්තා”

“ඒක හොඳයි,පොත ප්‍රින්ට් කරන්න ප්‍රකාශකයෙක් බලන්නෙ නැද්ද?”
“තාම කෙනෙක් හොයා ගන්න බැරිවුනානේ.ඒ මිනිස්සුත් බාල බාල පොත් ගහ ගහ ඉන්නවා මිසක මේ වගේ වටිනා වැඩකට අත තියන්න බයයිනේ.”
“ඒක තමයි”
ඒ වචන ටික ඇරෙන්න ,අවුරුදු ගානක් තිස්සේ හිතේ තිබුණු එකම අරමුණ තවමත් සම්පූර්ණ කරගන්න බැරිව ඉන්න මාතර මාමාට වෙනත් ධෛර්‍යය දෙන වචනයක් කියන්න මට එවෙලේ මතක්වුනේ නෑ.ආයෙත් ගමට තවත් කාලෙකින් යනකොටත් අවුරුදු හත අටක් පුරාම හිතේ එකම අධිෂ්ඨානයක් නොසැලී පවතින මේ මනුස්සයා මේ “පල නොකල මහාවංසය” අතේ තියාගෙන හිඳීවි,සමහරක්විටෙක,.

ඊලඟ ඡන්දෙන් පස්සේ තවත් වංගුවකින් එහා පැත්තට පාරේ ඉතුරු ටික කොන්ක්‍රීට් දානකම් කාන්ති නැන්දලත් බලාගෙන ඉන්න නිසා වසන්ත මන්ත්‍රී තුමාටත් තවත් කාලයකට ප්‍රාදේශීය සභාවේ පුටුව නැතිවෙන එකක් නෑ.

කොන්ක්‍රීට් බලකාය

ඒ වැඩබිම පිහිටා තිබුනේ නගරයට සෑහෙන තරම් ඈතින්. බොහොම සුන්දර ගම්පලාතක. යන්තම් වටින් ගොඩින් කලුවර වැටීගෙන එද්දි පාරට අලි එන තරමට පිටිසරින්. ගොවිතැන් බතක් කරගෙන ජීවත්වුන මිනිස්සු තමයි අවට ගමේ සේරම හිටියේ.වැඩිදෙනෙක් අලින්ගෙන්,අවුවෙන්,වැස්සෙන් පීඩා විඳගනිමින් පොලොවත් එක්ක මුලු ජීවිත කාලයම ගැටෙමින් ඉන්න ඇත්තම අහිංසක මිනිස්සු.

පිටිසර නියම්ගමක් වෙච්චි හින්දම වැඩබිමට සමහර බඩු භාණ්ඩ සපයාගැනීමට තිබුනේ ලොකු අපහසුතාවයක්.ඒ වෙනකොට විදුලිබලයවත් නොතිබුනු ගම්පලාතක වෙච්චි වැඩබිමේ විදුලිය පවා සපයා ගත්තේ ජෙනරේටර් යොදාගෙන.වැඩබිමට කොන්ක්‍රීට් පිටතින් අරගෙන එන්න (ඔය රෙඩි මික්ස් කියන්නෙ) ලඟපාත තැනක්නම් තිබුනෙම නෑ.ඉතින් ලොකු ප්‍රමාණයක කොන්ක්‍රීට් දැමීමකදි වැඩබිමේ තිබුනෙ ලොකු දුෂ්කරතාවයක්.ඔය අතරෙදි සිමෙන්ති කොට්ට 950 ක් විතර යන කොන්ක්‍රීට් දැමීමක් එකවරම කරන්න  තිබුනා. එකට පිලියමක් හොයනකොට මේවගේ වැඩවලට කියාපු කණ්ඩායමක් හොයාගන්න ඔත්තුවක් ලැබුනා. එතනදි තමයි මේ කොන්ක්‍රීට් දැමීමේ සේනාංකය අල්ලගන්න ලැබුනේ.

මේ වැඩේට යොදවන මේ ඈයො “කුඩ්ඩො” කියලා කොහොමත් ප්‍රසිද්ධ කාරණාවක්. නමුත් වැඩේ කරන එකට මේ කුඩු ගැහිල්ල බාධාවක් වෙන්නේ නෑ කියන ආරංචිය හින්දා අන්තිමේදී “කොන්ක්‍රීට් බලකාය” මේ වැඩේට කැඳවන්න තීරණය උනා.ඉතින් අදාල දවසෙදි කණ්ඩායම,කණ්ඩායම් නායකයා වෙච්චි මුදලාලිවත් පෙරටුකරගෙන වැඩබිමට ආවා.දැක්ක ගමන්ම ඇස් යටට ගිලුන ,ඇටකටු පෑදුන තරම් කෘශ වෙච්චි මේ “කුඩ්ඩො” කියලා අඳුනාගන්නනම් කිසි අමාරුවක් තිබුනේ නෑ. මේ මිනිස්සුන්ගේ සාරයත් උරාගෙනදෝ මන්දා මුදලාලිනම් කඳ,බඩ මහතට සාරෙට වැවිලා හිටියා.වැඩේ පටන් ගන්න කලින් කට්ටියම වාඩියකට වැදිලා මුදලාලිම සපයලාදෙන හෙරොයින් වලින් සප්පායම් වෙලයි ආවේ.ආවා කිව්වට,පාවෙලා ආවා කිව්වත් වරදක් නෑ.ආපු විදිය දැකපු ගමන්නම් කාගෙත් හිතට එන ගැටලුව මේ ඈයොන්ට හිටගෙන ඉන්නත් පණ නැති කොට බර වැඩක් කරන්න පුලුවන් වෙයිද කියලා.

කොයි හැටි වෙතත් වැඩ පටන් ගත්තහමනම් මේ මිනිස්සුන්ගේ ඈලි,මෑලි දුබලගතිය පේන්න තිබුනෙ නෑ.කර්මාන්තශාලාවක ශ්‍රම විභජනය වගේම මෙ ඈයොන්ටත් තමන්ට වෙන්වෙච්චි කාර්යයක් තියනවා මේ වැඩේදි.සිමෙන්ති කොට්ටෙ කඩල සිමෙන්ති හැලීම,එතනින් සිමෙන්ති,ගල් ,වැලි කොන්ක්‍රීට් අනන තැනට විල්බැරෝවේ දාගෙන යාම,අනන මැෂිම ක්‍රියා කරවීම,අනපු කොන්ක්‍රීට් අරගෙන යෑම වගේ මෙකී නොකී හැම දේටම ඉන්නෙ ඒ වැඩේටම පුරුදුවෙච්චි පුද්ගලයෝ.

පියවි සිහියෙන් තොරව වැඩකරන මේ මිනිස්සු හිත යොමුකරන එකම කාරණාව තමන් කරන වැඩේ විතරයි.අනපු කොන්ක්‍රීට් විල්බැරෝවෙන් අරගෙන යන මිනිස්සු අනන යන්ත්‍රයෙන් (ඒ කිව්වේ කොන්ක්‍රීට් මික්සර් එකෙන්) ඒවා විල්බැරෝවට පටවනකම් එතන තමන්ගේ වාහනය නවත්තගෙන ඉන්නවා.හැබැයි ඔය නවත්තගෙන ඉන්න වෙලාවෙදි යන්ත්‍රයේ වැඩ කණ්ඩායමේ මොකක් හරි ප්‍රමාදයකින් බඩු පටවන්න පමා වුනත්,හිස් විල්බැරෝව තල්ලු කරගෙන ගිහින් ආපහු එන්න තරම් මේ මිනිස්සු වෙනත් දේ ගැන අන්ධවෙලා ඉන්නෙ.

වාහනයක පෙට්‍රල් ඉවරවෙද්දි එන්ජිම නවතිනවා වගේ හෙරොයින් මත අඩුවේගන යද්දි කණ්ඩායමේ වැඩකරන වේගය ටික ටික අඩුවේගන යනවා.ඕක ගැන ඇහැ ගහගෙන ඉන්න මුදලාලිගේ ගෝලබාලයෝ ආයෙත් සැරයක් වාඩියට එක්කගෙන යන කට්ටියට හෙරොයින් සංග්‍රහයක් පවත්වනවා.ඔන්න ඉතින් ආයෙත් සේනාංකය සුපුරුදු වේගෙන් නැවතත් වැඩට.

කන බොන වෙලාවට පොඩි විවේකයක් අරගත්තත්,කෑමට කලින් කිසිම කෙනෙකුගේ අතපය හේදීමක්නම් නෑ.සිමෙන්ති,වැලි පිටින්ම ඔහේ කාලා දානවා. කන්න හම්බවෙන දේ මොකක් උනත් රහක් ,ගුණක් බලන්නේ නැතිව ඔහේ ගිලලා දානවා. සමහරවිට පේන්නෙනම් දෙන නිසා කනවා මිසක කෑමක උවමනාවක් නැති විදියක් තමයි.

මේ කණ්ඩායම ඇත්තටම රොබෝලා වැඩකට දැම්මා වගේ.මේ පටන් ගත්තු වැඩේ ඉවර කරන්න එදා ගිය කාලය පැය 44 ක්.එක දිගට මනුස්සයෙකුට එච්චර මහන්සියක් දෙන කර්තවයක් කරන්න පුලුවන්ද කියන එක පුදුමයක්.ඒත් මේ මිනිස්සුන්ගේ දවසින් දවස දිරාගෙන යන ශරීර කූඩුව ඔය කලින් කියපු මුදලාලි තමන්ගෙ දියුණුවට බොහොම කපටි විදියට පාවිච්චි කරමින් හිටියේ. දවසකට රුපියල් දාහ ගනනේ ඒ දවස්වල මේ කණ්ඩායමේ සමහරුන්ට හම්බවුනා කියලයි ආරංචි උනේ.හැබැයි කෑම බීම,සිගරට්,කුඩු හැම දේටම අඩු කරගත්තු පඩියක් මේ මිනිස්සුන්ට දවස අන්තිමට ලැබෙන්නේ.කොන්ක්‍රීට් කොන්තරාත්තුව ගත්තු මුදලාලි,ඒ වැඩේට ලබන ලාබෙට අමතරව මේ මිනිස්සුන්ට හෙරොයින් විකුනලත් තව මල්ල පුරවා ගන්නවා. වැඩ නැතිවුනොත් ණයටත් කුඩු ගනුදෙනුව සිද්ද වෙන හින්දා මේ මිනිස්සුන්ට මේ චක්කරෙන් ගැලවීමක්නම් නෑ.හැමදාමත් මේ මිනිස්සු මුදලාලිට ණයයි.

අතපය වලංගුනොවුණු දවස එද්දි මේ මිනිස්සුන්ට ඉතිරිවෙන්නේ ජීවිතේ නැතිකරගන්න එක විතරයි.ඒ දවස එනකොට මුදලාලිනම් සමහරවිට සමාජසේවයේ යෙදෙන ,සමාදාන විනිශ්චයකාරතුමෙක්වෙලත් ඉන්න ඉඩ තියනවා. ඒ විතරක් නෙවෙයි මතට තිත වෙනුවෙන් තිතටම පෙනීඉන්න සමාජ ශෝධකයෙක් වෙන්නත් බැරි නෑ. එත් අදටත් සවලක් ,උදැල්ලක් උස්සන්න අතපය වාරු තියන මේවගේ බලකායන් කුඩු ගහමින් වැඩ කරනවා ඇති කොහෙ කොහෙ හරි.

කුකුල් කතාවක්

ඔන්න ඉතින් තකහනියක්ම කුකුල්ලු ගැන කතාවක් කියන්න පටන් ගන්න කොට හිතුන නේද කෙල්ලන්ට බැල්ම දාන මිනිස් කුකුල්ලු ගැන කියලා.හපොයි නෑ.මේක මේ හැබෑ කොක් කොක් කොක් ගාන කුකුල්ලු ගැනම කතාවක්.අටුවා,ටීකා,ටිප්පනී ආයේ මොකටද ඉතින්.ඉතින් කෙලින්ම ඩිරෙක්ට් බහිමුකො කතාවට.

මෙයිට අවුරුදු 25 කට 30 කට විතර කලින් ලංකාවේ තිබුන මහා මැතිවරණයකින් කොළ පාට පක්ෂයේ උදවිය ලොකුවටම දිනුවා.මේ ඇයො ඒ චන්දෙට මනාපේ ගැහුවේ නැතුවට අහල ඇතිනේ එහෙම කතාවක්.(නෑ නෑ මේ වටේ යනවා නෙවෙයි,කතා මැද පරි කතාවක් විතරයි.)ඉතින් ඔය චන්දෙන් උඩින්ම දිනපු කෑගල්ල පැත්තේ අපේක්ෂක උන්නැහේ කෙනෙක්ට  ඕනේ කළා මේ දිනුම සමරන්න අමුතුම විදියකට.ඉතින් යාළුවො,මාළුවෝ,පස්සෙන් එන්නෝ,වන්දිභට්ටයෝ මෙකී නොකී සේරම උදවියගෙන් අහල බලල ඔන්න කළා  ඉතිහාස ගතවෙන වැඩක්.මොකද්ද හැබැට ඈ.

හොයාගත්ත සුදුපාට කුකුල්ලු 40 ක් 50 ක් විතර.ඔය බ්‍රොයිලර් උන් ඒ කාලෙත් ඉන්න නෑතැයි ඉතින්.ඊට පස්සේ කොළ පාට කුකුල් සායම් බැරල් එකක්ම හදල කුකුල්ලු ටික මේකට ඔබල ගත්තා.අඩේ අප්පා,මේ ඉන්නේ දැන් ඔරිමජිනල් කොලපාට කුකුල් බැටෑලියන්  එක.දැන් ඉතින් මේ අලුත් මන්ත්‍රීතුමාගේ පස්සෙන් එන්නෝ පිරිවර මේ කොලපාට කුකුල් හමුදාව අරගෙන ගිහින් අතඇරපි කෑගල්ලේ ටවුම මැද මහ පාරට.(ඔයඋඩ තියන රූප රාමුවෙන් දිස්වන්නේ කෑගල්ලේ හෝරා ස්ථම්භය ඉස්සරහ කොළ කුකුල් සේනාව පාර ආක්‍රමණය කරපු ආකාරයයි)

දැන් ඉතින් කුකුල් පිරිවර පාර පුරා එහෙ මෙහෙ දුවනවා.කොක් කොක් කොක් කොකේ කොක්………කොක් කොක් කොක් කොකේ කොක්……….
පාරේ වාහනයක්වත් යන්න විදියක් නෑ  දැන්.මේක ටික වෙලාවක් යද්දී මල කරදරයක් වෙච්චි තැන අපේ රටේ නීතිය අකුරට රකින රාළහාමිලා පැනල අල්ලගනිපි කුකුල් සේනාංකයයි පස්සෙන් යන්නෝ රැලයි දෙකම.ඔන්න පොලිසියට උහාන ගිය දෙගොල්ලොම.කොළ කුකුල් සේනාංකය පොලිසියේ වත්තට දැම්මා.පස්සෙන් යන්නෝ සේනාංකය දැන් හිර කූඩුවේ කම්බි ගැන ගැන ඉන්නවා පිණි නසමින් පායනා සුර්යයා සේ  අලුත් මන්ත්‍රී තුමා පොලිසියට ඇවිත් තමන් බේරාගෙන යනකන්.

මේ විනම්බෑසිය කනේ වැටුන අලුත් මන්ත්‍රීතුමා හැටට හැටේ පිඹල ආපි පොලිසියට දැන්.අල්ලාගත්තා ඉන්ස්පැක්ටර් මහත්තයව.කිව්වා මෙන්න මෙහෙම නෙක දනන් තුඩඟ තුඩඟ රැව් දෙන කියමනක්.


YOU   KNOW   WHO   ME   ARE   ?   YOU   IP   I   MP.

පෙරවදන

අපි කවුරුත් තේ මණ්ඩි ගැනනම් දන්නවා. හොදයි ඉතින් රා මණ්ඩි ගැනත් දන්නවා කියමුකෝ. එත් මොනවද මේ සිතුවිලි මණ්ඩි ? ඔය කලින් කියපු දේවල් පාවිච්චියෙන් පසුත් අන්තිමට ඉතුරු වෙන දේවල්නෙ නේද? ඒ වගේම මමත් අහන,දකින,විඳින සේරම සිදුවීම් වලින් පස්සේ හිතේ ඉතුරු වෙන අදහස් වලට කියන්න හොදයි කියල හිතා ගත්ත “සිතුවිලි  මණ්ඩිය”.

ඉතින් කාලයක් තිස්සෙ අනික් බ්ලොග් වලට එක එක නම්වලින් කොමෙන්ටු කොට කොටා ඉන්න ගමන් මගේ හිතෙත් අදහසක් පහල වෙච්චි ලියන්න මගේම කියල බ්ලොග් එකක්.ටික කාලයක් කුරුවල් වෙවී තිබුන අරමුණ ඔන්න දැන් ඉටු කර ගන්නයි කාලෙ හරි වගේ.හැබැයි පටන් ගත්තු එකට දැන් මොනවහරි ලියන්නත් ඕනැනේ නේද?අපේ අවට සිදුවූන , වෙමින් පවතින සහ හෙට වෙන දේවල් වලින් එච්චර මාතෘකා ගණනක් හදල දෙන කොට ලියන්න දේවල් අඩුවක් වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ.එක නිසා වර්තමාන සමාජ නාටක විසින් අපේ හිතට නංවන මාජීය,දේශපාලනික අදහස් වගේම කලාව,සාහිත්‍යය,ක්‍රීඩාව මෙකී නොකී හැම අටමගලයක්ම හිතට දැනුන විදියට මේකෙ අකුරු කරල දාන්නම්.ඔය අතරෙ හිතේ “මණ්ඩි” වෙච්චි අතීත මතක සටහනුත් තියේවි.

වැඩේ පටන් අරන් දිගටම යන අදහස තමයි තියෙන්නෙ.එත් ඒක ප්‍රතිචාර වල හැටියට වෙනස් වෙන්නත් පුළුවන්.මල් නොවී ගල් ආවත් ඒක ලියන්නට පොඩි තල්ලුවක් දානවා.රස්සාවෙනුත් ගෙදර ඈයන්ගෙනුත් ඉස්පාසුවක් හම්බවෙන විදියට ලිවිල්ල කිරිල්ල තමයි  දැන් තියෙන්නෙ..

එහෙනම් ඕං ඒකත් කරල බලමු.