නාථ දෙවියන්ගේ අහඹු හමුව

කාර්‍යබහුල කාර්යාල දවසක් අවසානයේ,තනි කකුලකට පමණක් ඉතුරුවූ ඉඩක නැගී එන පැයක හමාරක කෝච්චි සවාරියකිනුත්,සිසිල් සුළං වැදෙමින් බාහු බලයෙන් එල්ලී යන විනාඩි පහළොවක පමණ බස් චාරිකාවකිනුත් පසුව මම ගෙදරට සේන්දු වුණා .වෙහෙසකර දවසක අවසානයේ ලැබෙන නිවන,තද නින්දක් මා සොයාගෙන එන්නට ගතවුනේ ඇඳට වැටෙන පරක්කුව විතරයි.මහා රෑ ජාමයේ කාමරය පුරා පැතිරගිය අත්භූත එළියක් එක්කම,ජනෙල් පියන්පත් සට සට හඬ නගමින් වෙවුලන තියුණු ශබ්දයට මාව ඇහැරෙනවිට වෙලාව කීයද කියලවත් මට නිච්චියක් නෑ.

“එයි නරයා නැගිටපන්.”
කණ ළඟම දෙදරපු ශබ්දයට මම උඩගියේ උඩ එල්ලලා තිබුණු මදුරු දැලත් කඩාගෙන.නිදිමත බේරෙන ඇස් පිහදාගෙන මුළු කාමරයම එලියකරන දීප්තිමත් ආලෝකය දිහාව මම බැලුවා.පන්සලේ තියන දේව පිළිමයක් ඇඳගෙන ඉන්නවා හා සමාන ඇඳුමක් ඇඳගෙන දිදුලන ආලෝකයක් මැද කවුරුන් හෝ මා දිහාව බලාගෙන ඉන්නවා.කවුරුන් නමුත් බලගතු උත්තමයෙක් නම් වෙන්නම ඕනේ.
“ඔබතුමා කවුද?” මම යටහත් පහත්ව ඇහුවා.

“දැන් එතකොට මේ නරයා මාව දන්නේ නෑ.සිල්වා ආචාරියායි,උපවාසයාගේ සී නිවුස් එකයි මේ ලෝකේ මිනිස්සුන්ව දැනුවත් කරන්නේ නැද්ද එතකොට.”
“මටනම් එහෙම දනුවත්කිරීමක් හම්බවුනේ නෑ.”
“මම තමයි කොලුවෝ නාථ දෙයියෝ”
අම්මට සිරි ගජ ,නාථ දෙයියෝ.රටේ ලෝකේ උන්ට මෙහෙම කෙනෙක් නෑ කියල මම පොර ටෝක් දිදී උන්න නාථ දෙයියෝ මගේ කාමරේ දැන්.

මම එහෙම කියන බව ආරංචිවෙලා මට සම්බුව දෙන්නද දන්නේ නෑ ඇවිත් ඉන්නේ.මගේ කකුල් දෙක වෙවුලන්න ගත්තේ ඉස්කෝලේ යනකාලේ ප්‍රැක්ටිකල් වලට පාවිච්චි කරපු සරසුලක් වගේ.තව ටිකකින් මේ ලෝකේ මට දාලයන්න වෙන දේවල් මගේ ඇස් ඉස්සරහ මැවිලා පෙන්න පටන් ගත්තා.

කොයිඑකටත් කට ඉස්සරකරගන්න හොඳ නෑ.බාගවෙලාවට ෂේප් කරගන්න බැරිවෙන එකකුත් නෑ.ඔච්චර එහාමෙහා පනින්න පුලුවන්නම් පාර්ලිමේන්තුවේ උන්ට, මටත් මොකද දැන් නාථ දෙයියන්ට සපෝට් කරන පැත්තට පනින්න බැරි.

“ඔබවහන්සේ බෑරක්ද මේ?”
“මම ගියා ළමයෝ මේ සී නිවුස් එකේ ළමයෙක් බලන්න.කොහෙද මේ එකෙක්වත් අල්ලගන්න බැරිවුනානේ.මේ මහා රාත්‍රියේත් මහා-ලඹේ වලව්වේ රෙදි හෝදනවා බාගෙයක්.අනික් බාගේ මුරුංගගහ මන්දිරේ බල්ලෝ නාවනවා.එකෙක්වත් අල්ලගන්න බැරිවෙච්චි තැන මේ ආපහු යනකොට මෙතන මේ මහා රෑ ලී මෝලක් වැඩකරන්නේ මොකද බලන්න පහලට බැස්සේ”

“අනේ නෑ දෙයියනේ,මහන්සිවෙලා නිදාගත්තාම පොඩ්ඩක් ගෙරවෙනවනේ හීනෙන්.”

“දෙයියෝ අපේ රටේ වෙන දේවල් ගැන හරි අවධානයෙන් ඉන්න එක අපිට හරි සතුටක්.අර මේ ලඟදි දෙන්නෙක් මරාගත්තු එකට සාධාරණයක් කරන්න එහෙම බැයිද?” මම නිකමට වගේ අහලා බැලුවා.
“ඇයි මම දැනටම ආණ්ඩුවට දන්වලානේ තියෙන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා”

“නෑ………., ආණ්ඩුවෙන් ප්‍රකාශයක් කරලා තියෙන්නේ ඒ ඉස්පිරිතාලේ ඉන්න මන්ත්‍රීතුමා සැකකාරයෙක් කරන්න තරම් සාක්ෂියක් නෑ කියල.”
“හරි හරි,ඒක කියන්න කියල තමයි මම ආණ්ඩුවට උපදෙස් දුන්නේ.”

මදැයි කොලා.දෙයියොත් මෙහෙම කරනවානම් ඉතින් කාගේ පිහිටක්ද.මගේ ඇස් උඩ ගිය හැටි දෙයියොත් දකින්න ඇති.
“ඇයි ඔය ළමයට ඒක තේරෙන්නේ නැද්ද?”
“මට තේරුම් ගන්න අමාරුයි නාථ දෙයියනේ”

“චතුස්කෝටිකය කියන්නේ ඕකනේ.ඒ කියන්නේ පක්ෂ නිසා විපක්ෂ වීම.මම ඔය සිල්වා ආචාරියා දාල ඕක උගන්නවනේ මේ ලෝකේ මිනිස්සුන්ට.ඇයි ඉගෙනගෙන නැද්ද?”
නාථ දෙවියෝ කිව්වේ ටිකක් තරහින්.

“හා කමක් නෑ ,කමක් නෑ.ඔය චතුස්කෝටිකය නිසා තමයි ඔය ආණ්ඩුවේ වැරදි තියන නිසා මිනිස්සු ආණ්ඩුවටම ඡනදේ දෙන්නේ.පාර්ලිමේන්තුවේ සමහර පනත් වලට මන්ත්‍රීවරු අත උස්සන්නේ.මතක නේද වාසුදේව මන්ත්‍රීතුමා 18 ට වීපක්ෂ නිසා එකට සහයෝගය දෙන්න අත ඉස්සුවා.”

“ආ ඒ චතුස්කෝටිකය හින්දද?”
“ඔව්,ඔව්, දැන් මතට තිත හින්දා තමයි රටේ කුඩු පොට්‌ වැඩිවෙන්නේ,බාර් වැඩිවෙන්නේ.
සදාචාරසම්පන්න දේශපාලනයක් තියන නිසා තමයි මහමග මරාගන්නේ”

“එහෙම චතුස්කෝටිකයට අනුව ක්‍රියාකරන මන්ත්‍රීතුමෙක්ව හිරේ යවන්න පුලුවන්ද?
හා කියාපන් බලන්න.”
“බෑ.බෑ ” මම වහාම උත්තර දුන්නා.
අයවැය පරතරය වැඩිවෙන්නේ ආර්ථික සංවර්ධනය වැඩිවෙනකොට.
ආණ්ඩුවේ දූෂණ වැඩිවෙන්නේ ගනුදෙණු විනිවිද හින්දා.ඕනෙනම් තව උදාහරණ දෙන්න පුළුවන්.”
“ඕනේ නෑ දෙයියනේ,ඔය උදාහරණ ඇති”

“ඒක තමයි මම ඒ මන්ත්‍රීතුමා මේකේ සැකකාරයෙක් නෙවෙයි කියලා ප්‍රකාශයක් කෙරෙව්වේ”

දැන් ඔය බටහිර අනුකාරකවාදී ඇන්කරයන්ට ඕක තේරෙන්නේ නෑ.උන්ට තේරුම් ගන්න පුළුවන් ද්වීකෝටිකයට එනකම් විතරයි.ඒ කියන්න ඒක නැත්නම් මේක කියන ඒක.කොටින්ම කිව්වොත් පනතක් සම්මත කරන්න අත උස්සන්නේ ඒකට පක්ෂ නිසා කියලයි හිතන්නේ.වඩාත් සංකීර්ණ චතුස්කෝටිකය,ඒ කියන්නේ ඒ අත උස්සන එක ඒකට විරුද්ධ නිසා වෙන්නත් පුළුවන් කියන ක්‍රියාවලිය තේරුම් ගන්න බෑ.”

“උඹට තේරුනාද?”
“ඔව් නාථ දෙයියෝ,හොඳට තේරුනා” මට උතුර දකුණ මාරුවෙලා හිටියත් දෙයියන්ගේ මූණටම නොතේරුනා කියලා කියන එක හරි නැති නිසා එහෙම කිව්වා.

“හොඳයි ,මට පරක්කු වෙනවා.තව වැඩ ගොඩක් තියනවා යමින් ගමන් කරගන්න.මම යනවා එහෙනම්.තව දන්නේ නැති අයට ඕක කියලා දෙන්න.”
“හා හොඳයි හොඳයි.”
නිදිමතෙන් හිටපු මටත් ඕනේ උනේ කොහොම හරි නාථ දෙයියෝ මෙතනින් යවාගන්න. හදිසියේ ඇතිවුන දුමක් මැද්දෙන් දෙයියෝ එකපාරටම අස්ථානගතවුනා.

මට නොතේරුන එක තේරුනා කිව්වට කමක් නෑ.එකත් බලන් යද්දී චතුස්කොටිකයනේ.

මට මතක් උනේ ආයෙත් නින්ද යාගෙන එද්දී.

ප්ලාස්ටික් පෙට්ටියට පෙර

වටපිටාවම වියලවමින් ඉර ඔලුවට ඉහලින් මුදුන්වෙලා කොළ හැලුණු ගස් අතු අඹරවමින් තෙත පොදක්වත් නැති හුළඟ හමාගෙන එන්නේ ගුරු පාරේ දූවිලිත් අවුස්සාගෙන.ඉඳහිට ගුරුපාර දිගේ අත්ට්‍රැක්ටරයක් රතුපාට දැල් ගෝනි පුරවාගෙන යන්නේ මහ සද්දෙට.ඒ එක්කම යන හිනාවෙන් පිම්බුණ මුහුණු ඇති ගොවි ගැමියන් මවන්නේ මේ කන්නයේනම් අස්වැන්න සාර බවක චිත්‍රයක්.ඈත අනන්තය දක්වාම විහිදුන වගාබිම්වල තවමත් ලහිලහියේ අස්වැන්න ගලවමින් ඉන්නේ. මේ වතාවේනම් මාස ගණනාවක දුෂ්කරක්‍රියාවට ලැබිය යුතු කෘතගුණ සැලකීම මහී කාන්තාව ඔවුන්ට දුන්නු හැඩයක් තමයි පෙනෙන්නේ.

ටවුමේ කල්මරා අල්ලගත්තු බස් එක මාව දමාගිය පාලු ඉසව්වේ ඉඳ කිලෝමීටර කිහිපයක පාගමනින් අලුත් සේවාස්ථානයට යමින්ගමන පලමුවතාවට මගේ හිතසටහන්වුණ දර්ශන පෙළ හිත ඇඳුණු සිනමාපටයක් වාගේම තවමත් මගේ හිතේ නොනැසී පවතින්නේ.එක යායට දිගහැරිච්ච,නැවුම් සුවඳ පතුරවමින් තිබුණු ගොවිබිම් මට මතක්වුනේ “පෙරලූ නැවුම් පස”. සරු අස්වැන්නක් නෙලාගන්න මේ මිනිස්සුන්ගේ අනුන්ට යටත් නොවී විඳින වාසනාවන්ත ජීවිතය ගැන ඇතිවෙච්චි ඉරිසියාකාරි හැගීමක් එක්කම මගේ හිතට ඊළඟට නැගුනේ වහබොන්නේත් බෙල්ලේ වැලලාගන්නෙත් මේ උදවියද කියන ගැටලුව.

අලුත් නැවතුමේ වැඩ ඇල්ලීමෙන් පස්සේ අහලපහල උදවිය ගණනාවක්ම එක්ක ඇදුනුම්කම් හැදුනේ ටිකදවසකින්ම.එයින් සමහරෙක් අපේ සමාගමේ වැඩකරන්න ආපු ගමේ උදවිය වෙච්චිකොට තවත් කොටසක් අපිට ඇතැම් ගොඩනැගිලිද්‍රව්‍ය සපයපු සැපයුම්කරුවන්. ඒවගේම මේ බොහොමයක් පොඩි බිම් කෑල්ලක්වත් වගාකරන උදවිය.

ලෝකයට වැඩිමනක් විවර නොවුණු මේ සරළ ගම්මානයේ ජීවන චක්‍රයේ හැම සිදුවීමක්ම අපිට එදිනෙදා දකින්නට ලැබුනා.සති කිහිපයක් ගතවුණු තැනදී සියලුම ළූණු අස්වැන්න ගලවා අහවරවෙලා.අපේ නවාතැනෙත් , වැඩබිමේත් දෙකේම වැඩකරමින් හිටි ධර්මසිරි පහුවෙනිදා නිවාඩුවක් ඉල්ලාහිටියේ ළූණු විකිණීමට දඹුල්ලට යන්නට.

“හා ,ධර්මසිරි ,බිස්නස් එක සාරයිද ?” පහුවෙනිදා මම ඇහුවා .
“අඩුවට තමයි ආර්ථිකේ ඉන්න වෙළෙන්දෝ ගන්නේ ,හැමතැනම ඔය ගණන් තමයි ,දෙන්න පුළුවන් ගණනට දීල ආවා .”
ඒ දෙන්න පුළුවන් ගණනට අස්වැන්න විකුණා තිබුනේ වැඩි මිලක් ලැබෙනකම් කල ගමන් කිහිපයක්ම අවසානයේදී

.
සමහර අතරමැදි වෙළෙන්දන් මිලදී ගැනීම් කලේ ගමටම ඇවිත්.කොයි හැටිවෙතත් ටික කාලයක් ගතවෙද්දී අස්වනු අලෙවිය ඉවරවෙගනයි යන්නේ.හැබැයි ඒ ධර්මසිරිලාගේ මිසක,අපිට වැලිත් පසුත් ප්‍රවාහනය කරපු නිලන්තලාගෙනම් නෙවෙයි..ගෙදර අට්ටි ගැසූ අස්වැන්න තවත් කාලයක් තියාගෙන හොඳ මිලකට විකුණන තාක්කල් දුවාගන්න නිලන්තලාට ආර්ථික හැකියාවක් තිබුනා.එත් ඒ මේ ගොවිපිරිසෙන් අතේ ඇඟිලි ගණනට වඩා අඩු ප්‍රමාණයකට.

ඊළඟට එළඹෙන්නේ ධර්මසිරිලාගේඅතේ මුදල් සංසරණය වෙන කාලය.ඒ නිසාමදෝ කොහේද අ පේ සමාගමේ වැඩ කිරීම නවතා දමා තිබුනේ.ඇතැම් විටෙක ගුරුපාරේ දූවිලි අවුස්සමින් අලුත ගත්තු චීන මෝටර් බයිසිකලය පිම්මේ පැදගෙන යන ධර්මසිරි අපිට සුළුමොහොතකට පෙනී නොපෙනී යනවා .

තවත් දින කිහිපයක් ඇවෑමෙන් අපේ වැඩබිම ඉස්සරහමතිබුණු පුංචි කඩපිල ළඟ නැගුනු මහත් ඝෝෂාව මොකද්දැයි අපි විමසා බැලුවා .මහා සද්දයක් නැගෙන “අජිත් මුතුකුමාරණගේ” මලක් ගැන කියන සින්දුවක් වාදනයකරමින් එතැන තාවකාලිකව විදුලිඋපකරණ විකිණීමක් පටන් අරන් තිබුනේ දඹුල්ලේ සිංගර් ආයතනයෙන්..නානාවිධ බඩුභාණ්ඩ අටෝරාශියක් අලෙවිකරමින් තිබුණු කඩපිලේ ගැමියන් එක්රොක්වී බඩුගනිමින් හිටියා.අත්ට්‍රැක්ටර් එතැන රැස්වී තිබුනේ ගන්නා භාණ්ඩ ප්‍රවාහනයට.

නිලන්ත වැලි ලොරියක් අරගෙන ආවේ ඔය අතරේදී .
“මේ හරියට ලයිට් නැතුවත් මිනිස්සු ඔය ෆ්‍රිජ් එහෙම ගන්නේ මොකෝ නිලන්ත ?”
“හැක් ,හැක් ,හැක් ”
ඒ හිනාව නිලන්තගේ සාමාන්‍ය කථාකරන පිළිවෙල.
“ඔය මිනිස්සු ඕවා අරන් ගෙදර තියාගෙන ඉන්නවා ,ටික දවසනෙ ,මාස හයක් යද්දී ඕවා කීයකට හරි අපිටම ගන්න පුළුවන් .”
“ඇයි හැමදාම එහෙම වෙනවාද ?”
“ඕක හැම අවුරුද්දෙම වෙන වැඩක්,ළූණු ගලවනකොට තමයි වැඩියෙන් මේ පලාතට ඔය බඩු එන්නේ.මාස හයක් යද්දී ඔය විකුණපු මිනිස්සුම ඕවා ආපහු අඩුවට ගන්න එනවා .ඔය අපේ මල්ලි ලලිතුත් ලීබඩු ගෙවන්න දෙන බිස්නස් එකක් කරන්නේ.”
“හැක්,හැක් ,හැක් ,අපිටත් ඔය මොනවා හරි අරගන්න බැරියැ.”

කිව්වත් වගේ මාස තුනක් විතර යද්දී ධර්මසිරි ආයෙත් වැඩ ඉල්ලගෙන ආවා.එයිනුත් මාසයක් විතර ගිය තැනදී මගෙන් ඇහුවේ අර චීන මෝටර්බයිසිකලේ විකුණනවා ගන්නවද කියලා .
“ඉතින් හදිස්සියේ ඕක ගත්තේ ඇයි ?කන්න දෙක තුනක් ගිහින් කීයක් හරි එකතුවුනාම හිමිහිට ගන්න තිබුනනේ .”
“නෑ ඉතින් මේ කාලෙටනේ ඕව එන්නේ ”
වැඩිදුර උත්තර නොදුන්නු ධර්මසිරි කලේ අමාරුවෙන් හිනාවෙවී ඉන්න එක විතරයි .

නිලන්තගේ අනාවැකිය වගේම ගමේ මිනිස්සු හයමාසයක් යද්දී ගත්තු බඩු ටිකටික විකුණන්න පටන් ගත්තා .ඒ සමහරවිටක නිලන්තලාටත්,තවත් විටෙක ආපහු සිංගර් එකටත්.වැඩිවැඩියෙන් අපේ වැඩබිමට වැඩ ඉල්ලාගෙන ගැමියන් එන්න පටන් ගත්තා .සුළු කාලයක් රජවුන ගොවියා ආපහු පුරුදු අසීරු ජීවිතයට වැටෙන්න පටන් අරන් තිබුනේ .

මේ ලෝකේ කාපු බිස්නස් කාරයන්ට අහුවෙන,එලියටවිවරනොවුණු ගමට කොටුවෙච්චි අහිංසක ගොවියා ගලවාගන්න කිසිම ආයතනයක් ඉදිරිපත් වෙන්නේ නෑ.හැටහුටහමාරක්වුන අමාත්‍යාංශ ,සංස්ථා ඇස්කන් පියාගෙන නිදිවැදලා ,පොඩි මගපෙන්වීමක් කළහැකිනම්ජීවන තත්වය තරමක් හෝ දියුණු කරගතහැකි මේ මිනිස්සු වාර්ෂික රැවටීම්වලට ලක්වෙද්දී. ඒ වෙනුවට රජය මැදිහත්වෙන්නේ ගෝනි වෙනුවට ප්ලාස්ටික් පෙට්ටි ගෙනඒම වැනි තමුන්ටත් කරළ පැහෙන වෙනත් පියවරවලට .

ඉතින් ප්ලාස්ටික් පෙට්ටියේ දමා ප්‍රවාහනය කරන්නට අස්වැන්න නෙලනා ගොවියා ආරක්ශාකරගතහැකිනම් සහ දැනුවත් කළහැකිනම් නීති වලින්
තොරවම ඔවුන් දවසක සුදුසු නිෂ්පාදන සඳහා ගෝනි අතහැර වඩා ඵලදායී ඇසුරුම්ක්‍රමවලට නිසැකයෙන්ම යොමුවෙනු ඇති.ධර්මසිරිලා ඒ තත්වයට ගොඩනැගීම වළක්වමින් ඇත්තේ කවුරු විසින්ද?

බරයි මේ කඳුලු…

බරයි මේ කඳුලු
ගලා යන නෙතුඅගින්
හූරගෙන හදවතේ අනන්තය..

උරෙනුර ගැටී ඇදීගිය
පාලුවී ඇත මාවත,
අතින් ගිලිහුණ කොඩිය
වැටෙන්නට පෙර දරාගත්
නොහඳුනන දහස් මිතුරු දෑත්
ගිලිහිලා,විසිරිලා……
එක් නොවන්නට යලිත්.

නොදත් හදවත් බැඳුණු
අදිසි හුයකින්..
පෙර දිනෙක ජීවනය
සිහිනයකි හෙට දිනෙට.

බරයි මේ කඳුලු
ගලා යන නෙතුඅගින්
හූරගෙන හදවතේ අනන්තය..

දෝණිගේ ප්‍රශ්න දම්වැල.

එදා නිවාඩු නිවාඩු දවසක් වෙච්චි කොට උදේ වරුවේ මම පත්තරේ බලමින් හිටියේ.කොහේදෝ ඉඳන් දෝණි දුවගෙන ආවා.

“තාත්තේ,තාත්තේ……අපි වෙලට යමු කොක්කු බලන්න.”

මමත් පත්තරේ පැත්තකට දාල වත්ත පහල වෙල් යායට ගියා දෝණි එක්ක.අත් ට්‍රැක්ටරයක් සද්දේ දාගෙන ලියැද්දෙන් ලියැද්දට හාමින් යනවා. කුඹුරුයාය පුරාම පැතිරිලා යන්නේ නහය පිනවන මඩ සුවඳ. මැඩෙන මඩේ පාවෙන තිත්තයෝ,කණයෝ, නළහඳයෝ අල්ලන්න කිරි කොක්කුත් ,කණ කොක්කුත් රෑන් පිටින් අහස පුරා කැරකෙනවා.

“තාත්තේ මොකද මේ කොක්කු කරන්නේ.”

“ඔය එන්නේ මාළු අල්ලන්නනේ ”

“ඇයි ඒ මාළු අල්ලන්නේ?”

“කොක්කුන්ට කන්නනේ”

“මාළු අල්ලගෙන් ඒගොල්ලෝ කොහෙද යන්නේ ”

” කොහේ හරි ගහකට යනවා මාළු කන්න”

” ඒ සේරම කොක්කු  යන්නේ එක ගහකටද ?”

” එක එක ගස් වලට යනවා ඇති “

“…………………………..”

“……………………………….”

මේ නොනවතින ප්‍රශ්න වැල බොහෝවිට නවතින්නේ මුල ප්‍රශ්නෙට පලාතකවත් සම්බන්ධයක් නැති වෙනත් ප්‍රශ්නයකින්.ඒ නැවතුමත් බාගවෙලාවට උත්තර දීම එපාවුණු මගේ උප්පරවැට්ටියකින් නවතිනවා විනා දෝණිට එපාවීමකින් නවතින ප්‍රශ්න දම්වැලක් නෙවෙයි.

පුංචි උන් ලෝකය ඉගෙනගන්නේ,තේරුම් ගන්නේ ඇහෙන,දකින දේවලිනුත්,අහන ප්‍රශ්න වලිනුත්. ප්‍රශ්න ඔවුන්ගේ  සාමාන්‍ය ස්වභාවයක්. තිස්සේ දෙවේලේම තමන්ගේ ඇස් ඉදිරිපිට සිදුවෙන අලුත් අලුත් දේ ඔවුන්ට ගෙනත් දෙන්නේ හරිම කුතුහලයක්. ඉතින් ඔවුන්ගේ ප්‍රශ්න වලට උත්තරදීම හරිම පරිස්සමින් කලයුතු  වැඩක්.සමහරක්විට අපි ප්‍රශ්නවලින් බේරෙන්න කියන බොරුවක් ඇතිකරන්නේ අනාගතය ගැන ලොකු බලපෑමක් වෙන්න පුළුවන්.

මගේ එක්තරා මිතුරෙක් දරුවාගේ මේ ප්‍රශ්න ඇසීමේ කරදරයෙන් මිදෙන්නටත්,තමන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු දරුවාගේ කරදරයෙන් මිදී කරගැනීමටත් යෙදූ උපක්‍රමය දරුවාට පරිගණකයේ කාටුන් දමා බලන්නට දීම.දැන් ගෙදර ඉන්නා බොහෝවිට පරිගණක තිරය තුල වීරයන් සොයමින් ඉන්නා  පොඩි එකාගෙන්   දෙමාපියන්ට ඇති කරදර බොහොම අඩු බවයි මගේ මිත්‍රයාගේ අදහස. නමුත් ලෝකයට විවරනොවී, සින්තටික් සිහිනයක දවසින් දවස ගිලෙන දරුවා ගැන මගේ මිත්‍රයාට අදහසක් නෑ.

දෝණි හෙවත් කාටූන් වෙනුවට කතන්දර අසන්නට පුරුදුවී සිටින්නී කතන්දර ඇසීම නිසා  ප්‍රශ්න මාලාව තව තවත් වැඩිකරගනිමින් ඉන්නේ.මේ නිසා වැඩිමනක් අමාරුවේ වැටී ඉන්නේ අඩුවෙන් කතාපොත් කියවා ඇති දෝණිගේ අම්මායි.බාගවිට සතියකට කලින් කියූ කතන්දරයක් ගැන ලොකු ප්‍රශ්නයක් ඇයට මතුවෙන්නේ දැන්.

“අම්මේ,අර මැරෙන්නේ නැති රාක්ෂයාගේ නම මොකද්ද?”

“අම්මේ අර නපුරු නාගයා තනියම වහුපැටියෙක් බැදලා කන්නේ කොහොමද?”

“අම්මේ ඉඳිකටුපැන්චාද ,කෝටුකිතයියාද වැඩියෙන් කෙට්ටු?”

“අම්මේ පයින් යන්නේ නැතුව නැතිරටට ප්ලේන් එකේ යන්න බැයිද?”

ගහ කොළ මල් සහ කුරුල්ලන් කෙරෙහි සිත් ලොබ බැඳගෙන ඉන්නා ඈට සොබාදහමත් මවාදෙන්නේ තවත් ප්‍රශ්න කන්දරාවක්.රෝස මල් රතුපාට වෙන්නේ ඇයි කියාත්,පොල්කිච්චාට කැත පාටක් තියෙන්නේ ඇයි කියාත්,රෑට එලිය මවන සත්තුන්ගේ ලයිට් සේරම කොලපාටම වෙන්නේ ඇයි කියාත් ඇයට තනියම උත්තර හොයාගන්න බැරි ප්‍රශ්න. ගහක් වගේ තිබුණු වලාකුළක්,තවත් ටිකක් දුර පාවෙලා යද්දී කන්දක් වගේ වෙනස් වීමත් දෝණිට ලොකු කුතුහලයක් ඇතිකරන්නක්. ඒ විතරක් නොව,වත්ත පහල එකට ගෑවෙමින් උස ගොස් ඇති කොස් ගහත් මහෝගනී ගහත් හුළඟත් සමඟ හඬ නගමින් වැනෙන්නේ  ඔවුන්ට රිදෙන නිසාද,නැතිනම් තරහගොසින් සිටින නිසාද යන්නත් ඇයට ලොකු ප්‍රශ්නයක්. ලිඳේ වතුර නිල් පාට වෙද්දී ,ඔයේ වතුර දුඹුරු පාටවීමත් ඇයට පැහැදිලි නෑ.

“තාත්තේ,තාත්තේ……වහින්නේ ඇයි?”

ඒ එයාට මිදුලේ සෙල්ලම්බත් උයමින් ,දූවිලි නාමින් හිටිගමන් හදිස්සියේම නැගිච්චි ප්‍රශ්නයක්. “වහින්නේ නේද……….වහින්නේ  පොළවට වතුර ඕනේ හින්දනේ.”

“නෑ,නෑ තාත්තේ…..වහින්නේ පැළවලට වතුර දාන්නයි,නාන්නයි,බොන්නයි,රෙදි හෝදන්නයි.”

ඒක තමයි දෝණි අහන ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ කියල හිතාගෙන ඉන්න උත්තරේ.

සමහරක් වෙලාවට අහන ප්‍රශ්නෙට එයාටම උත්තරයකුත් තියනවා ඒ වගේම.

දෝණිගේ මිත්‍ර සමාගමයේ පරිගණක  තිරයෙන් ලෝකය දකින දෙතුන්දෙනා හැරුණු කොට අනෙකුත් පුංචි උන්ටත් තියෙන්නේ නානාවිධ ගැටලු.තමන් ගැටෙන පරිසරය සමඟ ඒවායේ ස්වභාවය වෙනස්වුවත් ඒ සියල්ල එකම මාදිලියේ ප්‍රශ්න. මේ කුතුහලය ඔවුන් දවසක ලෝකය පිළිබඳ දැනුවත් මිනිසුන් කරාවි.

“තාත්තේ….තාත්තේ…….”

හපොයි,තවත් ප්‍රශ්නයක්ද?

පල නොකල මහාවංසය

තරමක කාලෙකට පස්සෙයි ගම්පලාතෙ යන්න පුලුවන්කමක් ලබුනෙ.අන්තිම වතාවෙ ගොහින් ඇවිත් මහ කාලයක් ගත නොවුනත් තරමක වෙනස්කම් තැනින් තැන සිද්ධවෙලා.බස් පාරෙන් හැරිල අපේ ගෙවල් පැත්තට යන අතුරු පාරත් කොන්ක්‍රීට් දාලා,මහපාරට පේන වංගුව ගාවටම.එතනින් එහාට පහුගිය ප්‍රාදේශීය සභා චන්දෙන් පස්සේ කොන්ක්‍රීට් දානවා කියලා වසන්ත මන්ත්‍රීතුමා පොරොන්දුවෙලා තියනවා.ඉතින් එහෙව් පුද්ගලයෙකුට ඡන්දේ නොදී ඉන්නෙ කොහොමද කියලයි අල්ලපු ගෙදර ගීතා නැන්දා කියන්නෙ.එහෙම හිතන පාරවල් ගානක මිනිස්සු ඉන්න හින්දද මන්දා මෙදා පාරත් වසන්ත මන්ත්‍රීතුමා නූලෙන් වගෙ ප්‍රාදේශීය සභාවට පත්වෙලා තියෙන්නේ.

ඉතින් හවස් වෙන්න ඇරලා මම ඔය පාර දිගේම කඩේ පැත්තට යන්න පිටත් උනා.මාතර මාමා කොහේදෝ ගිහින් එනවා මට හම්බවුනේ ඒ අතරෙදි.මාතර මාමා අපේ ගමේ පද්මිණී නැන්දාව කසාද බැඳලා එහෙ බින්න බැහැපු මනුස්සයෙක්.ලී බඩු සාප්පුවල බඩු පොලිෂ් කිරීම වගෙ පොඩි පොඩි වැඩ තමයි රස්සාවට කරමින් හිටියෙ.රස්සාව එහෙමවුනත්, සමාජ අවබෝධයක් තියන, උසස්පෙලත් සමත් වෙච්චි කෙනෙක්.ඔය පුංචි පුංචි රස්සාවල් කරලා හම්බවෙන මුදලත් සමහරවිට සෑහෙන්න වියදම් කරන්නෙ අමුතුම තාලේ වැඩ වලට තමයි.

එක වතාවක් ඔය යුද්ධය තදින්ම යන දවස්වල “අපෙ රටේ රණවිරුවෝ” කියලා කවිකොලයක් ලියල අච්චු ගස්සවලා ගමේ ගෙවල් වලට බෙද බෙදා ගියා මට මතකයි.ගමේ කොල්ලෝ කුරුට්ටෝ එකතුකරගෙන දේශයට ආදරේ කරන්නන්ගේ සංවිධානයක් හදන්නත් සෑහෙන උත්සාහයක් දැරුවා ඒ දවස්වල,ඒ වැඩේ අසාර්ථකවුනත්.ඔය වැඩ කොච්චර තිබුනත් පද්මිණී නැන්දා එක්ක බැන අඬගහගන්නවනම් අපිට කවදාවත් ඇහිලා නෑ.සමහරවිට නැන්දාත් මාතර මාමාගේ රට වෙනුවෙන් කරන සේවයට නිහඬ සහයෝගයක් දක්වනවා ඇති.මාමා ගෙදර ඉන්නවනම් ගේ ඉස්සරහ පාරෙන් කවුරුහරි යනකම් බලාගෙන ඉන්නෙ අල්ලගන්න,රටේ තොටේ තත්වය ගැන කතා කරන්න.මමත් ඉතින් අනික් වැඩ පැත්තකට දාල ඔහොම වෙලාවට මාතර මාම එක්ක රටෙ අභිවෘද්ධිය ගැන කතා කරන නිසා මනුස්සයාට මාව කතාවට අල්ලගන්න තියනවනම් හරිම සතුටුයි.

පහුගිය අවුරුදු ගානක් තිස්සේම මාතර මාමාට තිබුනෙ එකම අරමුණයි.ඒ විජය කුමාරයාගේ ලංකාගමනයේ ඉඳලා,වර්තමානය දක්වාම ලංකාවේ කථාව ඇතුලත්කරපු ඉතිහාස පොතක් ලියන එක.මම ඔය කාරණාව දැනගන්නකොටත් ඔය වැඩේ පටන් අරගෙනයි තිබුනේ.හම්බවුන වෙලාවට හැමදාමත් කියන්නෙ මේ ලියමින් ඉන්නා පොත ගැනම තමයි.
“මේ පොත අඩු ගනනේ පිටු පන්දාහක්වත් වෙයි” මාතර මාමා කියනවා.
“එච්චර මොනවද තියෙන්නෙ ලියලා.”
“ඔයා දන්නෙ නැද්ද අපේ රටේ කොච්චර පෝසත් ඉතිහාසයක්ද තියෙන්නෙ,ඒක වර්ණනා කරලා ලියන්න ඕනේ.මේකේ කවි තියනවා,චිත්‍ර ඇඳලා තියනවා.ඉතින් පිටු පන්දාහට වැඩි මිසක් අඩු වෙන්නෙ නෑ”.මාතර මාමා  හරිම උජාරුවෙන් කියන්නේ පොතට ඇතුලත් කරන්න යන සනත් ජයසූරිය ගැන ලියාපු කවියකුත් කියන ගමන්.”ඔයා ගෙදර එනවා කිව්වට ලියපු ටික පෙන්නන්න කෝ එන්නෙ නෑනෙ කවදාවත්.” කිව්වත් වගේ කවදාවත්ම මට ලියපුටික බලන්න ගෙදරටනම් යන්න බැරිවුනා.

කරන රස්සාවත් එක්ක පොත ලියන්න හොයාගන්න තියන  කාලය අඩුවීම ගැනනම් මනුස්සයා හිටියෙ හරිම විස්සෝපයෙන්.දෙදරු පියෙක්වුන මාතර මාමා බලාපොරොත්තුවෙන් හිටියෙ ඒ වෙනකොට උසස් පෙල කරමින් හිටි දුව විභාගෙන් පස්සේ තරමක කාලෙකට හරි රස්සාවක් කරන්න පටන් ගනීවි කියලා.
“එතකොට ඒ කාලෙදි මට පුලුවන් ගෙදර නඩත්තුව එයාට බාර දීලා ෆුල්ටයිම් පොත ලියන්න”
“එහෙම සාධාරණ නෑ නේද,අනික් දුවත් තාම හයේ පන්තියෙ නේද?”
“මේක ජාතික වගකීමක්,මගේ දරුවො සංතෝෂ වෙන්න ඕනෙ මම කරන වැඩේ ගැන.ඉතින් ටික කාලයකට ඒ කැපකිරීම ඒ ගොල්ලො කරන්න අකමැති වෙන්න හේතුවක් නෑනේ”. ඉතින් ඔය උත්තරේ පලවෙනි පාරට හම්බවුනාට පස්සේ මම ආයෙත් ඔය කාරණාව මතක් කලේ නෑ තවත් වතාවක්.

ඔය කතාබහ වෙච්චි කාලෙන් පස්සෙ දුර බැහැර පලාතක රස්සාව කරන්න සිද්දවුන මට ගමට එන්න ලැබුනෙ සති ගනනාවකට වතාවක්.ඉතින් වෙනදා වගේ කඩපිලට යමින් ගමන,උදේ බස් එකට දුවමින් ගමන අපිට කතාබහක් කරන්න ලැබුනේ නෑ.ආයෙත් මට මාතර මාමාව හම්බවුනෙ දවස් දෙක තුනක නිවාඩුවකට ගමට ආපු ගමනකදි.
“කොහොමද දැන් පොත”
“සෑහෙන දුරට ඉවර කරලා තියෙන්නෙ.දුව රස්සාවට යන නිසා දැන් මට මෙ වැඩේට ලේසියි.බලන්නකෝ ටීවී වල රටට ආදරෙන් බෙරිහන්දෙන මිනිස්සුන්ගෙන්වත් මේ වැඩවලට කිසිම සහයෝගයක් නෑනේ.”
“ඇයි මොකද උනේ?”
“මම ගියා සූරිපෙරුම මහත්තයා හම්බවෙලා පොත පෙන්නලා අදහසක් ගන්න.කොහෙද පෙන්නපු ගමන් කිව්වනේ අනේ අනේ මටනම් ඕවාට ආධාර කරන්න සල්ලි නෑ කියලා.”
“ඉතින් ඔයා කියන්න එපායැ ඔයාට සල්ලි නෙවෙයි ඕනේ කියලා”
“කිව්වා,දැන් මට ඕවා බලලා විචාර කරන්න වෙලාවක් නෑ,මේ දවස්වල හරි බිසී.එහෙමනෙ උන්නැහේ මට සැලකුවේ”
“ඒක තමයි ඉතින් ඔය පොත් ප්‍රකාශකයෙකුට පෙන්නලා බලන්නකෝ සෑහෙන්න වැඩේ ඉවරනම්.”
“එයිට කලින් මම මේ ජනාධිපතිතුමා හම්බවෙලා පෙන්නන්න බල බල ඉන්නේ.මම ලියුමකුත් යවලා තියෙන්නේ.උත්තරයක් එවාවි අද හෙටම”

ඔය මාතර මාමා තමයි මම අලුත කොන්ක්‍රීට් දාපු පාර දිගෙ කඩේ පැත්තට යමින් ගමන මූණට මුලිච්චි වුනේ.කාලෙකින් තමුන්ගේ හිතේ තියන දේවල් කියද්දි අහගෙන ඉන්න මනුස්සයෙක් හම්බවුන නිසාද මන්දා මූණේ මතුවුනේ ලොකු හිනාවක්.මමත් දැක්ක සැරේම සුපුරුදු ප්‍රශ්නය ඇහුවා.
“ඉතින් කොහොමද,කොහොමද පොතේ වැඩේ”
“පොත දැන්නම් ලියලා ඉවරයි,තාම ප්‍රින්ට් කරගන්න ලැබුනේ නෑනෙ.ඒ වැඩේ පරක්කු වෙන්න වෙන්න තව තව ඉතිහාසය ලියන්න වෙනවනේ.මම ඉතින් රටේ දැන් සිද්ධවෙන සංවර්ධනය ගැනත් ටික ටික ලියනවා.”
“පොත ජනාධිපතිතුමාට පෙන්නන්න ලැබුනද?”
“තාම නෑ,එතුමාටත් ඉතින් කොච්චරක් කියලා වැඩ රාජකාරිද,නේද?”
“ඒක තමයි,තාම රස්සාවක් කරන්නේ නැද්ද,දැන් වැඩේත් සෑහෙන්න ඉවර නිසා ඔය වැඩේ කරන ගමන් රස්සාවකුත් කලානම් නේද හොඳ?”
“ආයෙත් මම පරණ පොලිෂ් කරන රස්සාවම කරන්න පටන් ගත්තා”

“ඒක හොඳයි,පොත ප්‍රින්ට් කරන්න ප්‍රකාශකයෙක් බලන්නෙ නැද්ද?”
“තාම කෙනෙක් හොයා ගන්න බැරිවුනානේ.ඒ මිනිස්සුත් බාල බාල පොත් ගහ ගහ ඉන්නවා මිසක මේ වගේ වටිනා වැඩකට අත තියන්න බයයිනේ.”
“ඒක තමයි”
ඒ වචන ටික ඇරෙන්න ,අවුරුදු ගානක් තිස්සේ හිතේ තිබුණු එකම අරමුණ තවමත් සම්පූර්ණ කරගන්න බැරිව ඉන්න මාතර මාමාට වෙනත් ධෛර්‍යය දෙන වචනයක් කියන්න මට එවෙලේ මතක්වුනේ නෑ.ආයෙත් ගමට තවත් කාලෙකින් යනකොටත් අවුරුදු හත අටක් පුරාම හිතේ එකම අධිෂ්ඨානයක් නොසැලී පවතින මේ මනුස්සයා මේ “පල නොකල මහාවංසය” අතේ තියාගෙන හිඳීවි,සමහරක්විටෙක,.

ඊලඟ ඡන්දෙන් පස්සේ තවත් වංගුවකින් එහා පැත්තට පාරේ ඉතුරු ටික කොන්ක්‍රීට් දානකම් කාන්ති නැන්දලත් බලාගෙන ඉන්න නිසා වසන්ත මන්ත්‍රී තුමාටත් තවත් කාලයකට ප්‍රාදේශීය සභාවේ පුටුව නැතිවෙන එකක් නෑ.