ආණ්ඩුව වෙනුවෙන් පාරට බහිමු.

“ආ පුතා උදේම පත්තරේ බලනවා වගේ.”
ඉස්තෝප්පුවට වෙලා නිවී සැනසිල්ලේ දිවයින පත්තරේ අරගෙන,අපේ රටට විනකටින හැටහුටහමාරකුත් තවත් ටිකක් වෙච්චි දේශීය,විදේශීය බලවේග සහ ඒ සියලු අභියෝග මැඬගෙන සංවර්ධන මාවතේ අධිවේගී ගමනක යෙදෙමින් ඉන්න අපේ රට ගැන කියවමින් හිටපු මම ඔලුව උස්සලා බැලුවා මේ කවුද කියලා.
“ආ සිරිසේන මාමා,බෑරක්ද මේ උදේ පාන්දරම.”
“මම මේ වෙලට ගොහින් එන්න ගියා වතුර බැඳලා එන්න ළමයෝ.අදම ඒක කරල දාන්නවුනා හෙට ඉතින් කරන්න වෙන්නේ නෑනේ.”
“ඇයි මොකෝ හෙට කොහේහරි යන්නද?”
සිරිසේන මාමා එකපාරටම මම දිහා බැලුවේ පුදුමයෙන් වගේ.
“පත්තර කියෙව්වට මොකොවත් දන්නේ නෑ වගේනෙ.හෙට අර උද්ඝෝෂණේ තියෙන්නේ ආණ්ඩුවට සහයෝගය දක්වන්න.ඇයි ඔය ළමයා ඒකට යන්නේ නැද්ද.අපි යන්න බස් එකකුත් කතා කරලා තියෙන්නේ”

මට හාංකවිසියක් මතක නැතිව තිබුණ මේ වැඩේ සිරිසේන මාමා මතක් කරලා දුන්න විතරක් නෙවෙයි ,උන්නැහේලාගේ ගොවිතැන් වැඩවලට මේ ආණ්ඩුවෙන් කරන සේවයත් හොඳට කියලා දුන්නා.

“වී වලට දැන් සහතික මිලක් තියනවා.ඉතින් මොන මුදලාලි ආවත්,ආණ්ඩුවට විකිණුවත් වී කිලෝවකට රුපියල් විසිපහක් හම්බවෙනවා.ඇයි ගොවි සමිති.හැම ගමකම තියෙන ගොවි සමිතිය හරහා ගොවියන්ගේ ප්‍රශ්ණ කතා කරනවා.මෙහේ කෘෂිකර්ම නිලධාරි මහත්තයා නිතරම ඒ ගැන අවධානයෙන් ඉන්නේ.

හැම අවුරුද්දකම ආණ්ඩුවෙන් ඒ වෙනකොට රටේ තත්වේ හොයලා බලලා එක එක වගා වලට කොච්චර ඉඩම් ප්‍රමාණයක් රටේ වෙන් කරන්න ඕනැද කියලා සැලසුමක් හදනවා.අපේ පලාතේ වගා සැලසුම කෘෂිකර්මේ මහත්වරු ගමේ ගොවිසමිතිවලට දෙනවා .ඉතින් දැන් රටේ කොහෙවත් අස්වැන්න වැඩිවෙලා විකුණගන්න බැරිවෙන්නේ නෑ.
දැන් බලන්නකෝ ළමයෝ ඉස්සරනම් මෙහේ ලූණු ගලවද්දි තමයි පිටරටිනුත් ලූණු ගේන්නේ.දැන් ඔය වගා සැලසුම් හින්දා ඔය ප්‍රශ්ණ මොකුත් නෑනේ.
අනික ළමයෝ දැන් නියන් කාලයක් එන එකක්යැ.රාජා භවතු ධම්මිකෝ”

සිරිසේන මාමගේ කතාවෙන් පස්සේ තමයි මට තේරුනේ රටේ ගොවියා කොච්චරනම් සන්තෝසෙන් තමන්ගෙ ජීවිකාව කරගෙන ඉන්නවද කියලා. මේ සැලසුම්වලට වැඩකරන අපේ රට බතින් බුලතින් ස්වයංපෝෂිත වෙන එක නවත්වන්න මාර සේනාව ඇවිල්ලත් බෑ ඉතින් .ඔය ඔබාමලාට,බ්ලේක්ලාට පුලුවන්ද මේ මිනිස්සු ඉන්නකම් මේ ඉන්දියන් සාගරේ මුතු ඇටේට අත තියන්න.

“මෙන්න කෝල් එකක්”.අපේ හාමිනේගේ සද්දෙ ඇහිල මම සිරිසේන මාමව දාල ගේ ඇතුලට දුවල ගියා.අම්මට සිරි ගජ සෙන්දීපන්.ඉස්සර එක ප්ලේන්ටිය ගහපු යාපනේ අපේ සගයා.
“ආ කොහොමද ලොක්කා.උඹලට අපිවත් මතක් වෙනවා එහෙනම්”
“පට්ට බිසී මචං පහුගිය ටිකේ.මෙහේ ප්‍රොජෙක්ට් ගොඩක් යනවනේ.ඉතින් අපිට ජොබ් හොඳයි.මට රට යන්නත් චාන්ස් එකක් වැදුනා”
සෙන්දා බ්‍රේක් නැතිව කියවන්න පටන් ගත්තා.

“උඹ රට යනවනම් පාස්පෝට් හදාගන්න කොළඹ එනවනේ.අපේ ගෙදර වරෙන්.පාර තාම මතකයිනේ.”
“මොකටද බං කොළඹ එන්නේ.දැන් මෙහෙත් ඔය ඔෆිස් සේරම තියනවනේ.මෙහේ මිනිස්සුන්ට හරි ලේසියි දැන් වැඩ කරගන්න.”
“මිනිස්සු නිදහසේ ඉන්නවා.තමන්ගේ ඉඩකඩම්වල ගොවිතැන් බත් කරගන්නවා.කොළඹම දුවන්නේ නැතිව මෙහේ ඉඳන් වැඩ කරගන්න පහසුකම් තියනවා.ඉතින් තව මොනවද.ඒක නෙවෙයි උඹ යනව නේද හෙට උද්ඝෝෂණේට? මොකක් බලන්න ඕනැ.පලයන් පලයන් ඔහොම දේකටවත්.මමත් නිවාඩු දැම්මා හෙට ඔය වැඩේ හින්දා.”

දැන් සේරම ඔය වැඩේට ඔච්චර උදවිය කැපවෙලා වැඩකරන නිසාත්,ඕකට නොගිහින් අහල පහල උන්ගෙන් කොටියෙක් කියලා කාඩ් එක ගහගන්න ආසාවත් නැති හින්දාත්,ඔය සේරටම වඩා මෙච්චර ආර්ථික,සංස්කෘතික,සමාජීය දියුණුවට අකුල් හෙලන්න බටහිර අවජාතක හොර නඩයට ඉඩ දෙන්න බැරි නිසාත් මමත් උද්ඝෝෂණයට යන්න හිතාගත්තා.ඒ යනකොට හිස් අතින් යන්න බැරි නිසා බැනර් එකක් ඇඳගෙනම යන්න තීන්ත ටින් එකක් ගන්න කඩේට යන්න හිතාගෙන මෝටර් බයිසිකලේට නැග්ගා.

“ඕකේ තෙල් ඉවරවුනේ ගිය සුමානේ කියලා මතක නැද්ද?”
රෑට පත්තුකරන්න පන්දමක් හද හදා මිදුලේ උන්නු හාමිනේ කිව්වා.
“ලයිට් බිල ගෙවාගන්න බැරුව රෑට පන්දම් පත්තුකරන් ඉන්න එකේ ඕකට තෙල් ගහනවනම් ඉස්සරහා කොස් ගහවත් කපලා විකුණන්න වෙයි.”

ඉතින් මම කඩේට පයින්ම යන්න කියලා හිතාන පාරට බැස්සා. මූණටම මුලිච්චිවුනේ සරත් අයියා.ඊයේ දවසම හන්දියේ ඩියුටි මල්ලි.මේ දවස්වල සීට් බෙල්ට් නොදාන ඩ්‍රයිවර්ලා අල්ලනවා ඉවරයක් නෑ.
“හා හා…එහෙනම් අත යටින් එන ගාන හොඳ ඇති සරත් අයියලාට”
“පිස්සුද මල්ලි,දැන් නෑනේ අපේ ඒ වැඩ.දැන් අපේ සේවය නූලට ,රූලට,නීතියට තියනවා.ස්වාධීන පොලිස් කොමිසම දැම්මට පස්සේ අපි කොන්ද කෙලින් තියාන වැඩ කරනවානේ.අපිට හම්බවෙන පහසුකම් හොඳටම හොඳයි.දැන් කාගෙවත් නෑ ඔය අත යට ගැහිලි.ඔය එන්නේ වසන්ත මන්ත්‍රීතුමා ඕනැනම් අහන්නකෝ.”
අපි දෙන්නත් එක්ක පයින් කඩේ දිහාට යන ගමනට ප්‍රාදේශීය සභාවේ වසන්ත මන්ත්‍රීතුමාත් එකතුවුනා.

“අපි පයින් ගියාම මොකෝ මුන්නැහේලත් පයින් යන්න පටන් ගත්තම.”
සරත් අයියා කිව්වේ හිනා වෙවී.
“අපි ටිකක් පයින් ගියාම මොකද මල්ලි වෙන්නේ.තව පොඩ්ඩ දවසක් ඉවසන්නකෝ.නෙලුම් කුළුණ හදපු ගමන් ඔය ප්‍රශ්ණ සෑහෙන්න ඉවරවෙනවා.එතකොට තමයි රටේ ණය සේරම අඩුවෙන්න පටන් ගන්නේ.රටට ආදායම් එන කර්මාන්ත අලුතින් පටන් ගන්නේ.පිටරට ආයෝජකයෝ එන්න පටන් ගන්නේ.පාවෙන රුපියල ස්ථාවර වෙන්නේ.විදේශ සංචිත වැඩි වෙන්නේ.පොඩ්ඩක් ඉවසලා ඉන්නකො මල්ලිලා.”

ඔය සේරම ඉවරවෙලා මම හවස් වෙලා තීන්ත ටින් එකකුත් අරගෙන ගෙදර ආවා.ඊට පස්සේ දහ අතේ කල්පනා කලේ මොකද්ද දැන් ලියන සටන් පාඨය කියලා.කල්පනා කරලා කරලා කරලා අන්තිමේදී යන්තම් එකක් කල්පනාවෙලා ලියා ගත්තා.
“අපිට පුතේ මගක් නැතේ.”

Advertisements