ගිණි තැබීම

අපේ රටේ ජනතාව සහ ගිණිතැබීම අතර ඇත්තේ අනාදිමත් කාලයක සිට පැවතගෙන එන නොබිඳෙන සම්බන්ධතාවයකි. එදා හෝ අද , දුප්පතා හෝ පෝසතා , සිංහලයා හෝ දෙමලා වෙනසක් නොමැතිවම ලොක්කන් සොක්කන් සියල්ලන්ම තරඟයට කිසියම් හෝ අහු මුල්ලක් ගිණි තියති.

පැරණි හේන් ගොවියා කැළය කපා ගිණි දල්වා භව භෝග වගාකරන අතර අස්වැන්න නෙලාගන්නා කලට ගොවියාට ණයට දෙන මුදලාලිලා පැමිණ ගොවියාට ගිණි දල්වා,ඔහුට සොච්චමක් අස්වැන්න ඉතිරිකර වැඩි කොටස රැගෙන යන ආකාරය ඒ ගොවියා බලා සිටින්නේ හදවත දැවෙමිනි. මෑතකදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී එලවලු කිලෝ බර ප්‍රමාණයක් ගිණි තබන ලද්දේ ගොවියාට ඒ විකුණා ගැනීමට නොහැකිවූ බැවිනැයි සැලවිය.ඉඳින් නිෂ්පාදන අතිරික්තයක් ඇත්නම් ඒ අපනයනය කිරීමට බලධාරීන් බරක් නොදමන්නේ ඉන් ඇමතිතුමාට උරුමවන කොමිස් ප්‍රමාණය මද බැවින්දැයි දන්නේ නාථ දෙයියෝ පමණි.කන්නයක බලාපොරොත්තු ඇස් ඉදිරිපිට වියැකී යන ගොවියාගේ හිතේ ගිනි , ලිපේ ගිණි දල්වන්නට මද බැවින් ඔවුන් ඇතැම්හු කෘමිනාශක රස බලන්නේ අදක ඊයෙක පටන්ම නොවේ.

අපි ළමාවියේදී අප අසල්වාසී ගිරිදර ආච්චීට උන්දෑ නොමැති තැන අපේ වැඩිහිටියන් ගින්දර නැන්දා කියූ අතර අපි උන්දෑට ගින්දර ආච්චීයැයි කීවෙමු.ඒ ගින්දර ආච්චී යන අහලපහල කාට හෝ බොරු කේළම්,ඕපාදූප කියාගෙන යාම ඇයගේ පුරුද්දක්ව තිබූ බැවිණි.ගමේ ගොඩේ ගිණි තියන්නට එදා ගින්දර ආච්චී සිටි අයුරින්ම අද රටේ තොටේ ගිණි තියන්නට ආණ්ඩුවට ගින්දර සීයලා කප්පරක් සිටිති.පොඩි-වංශ,අමර ගුණදාස,සුදුබණ්ඩා දිසානායක ආදී වශයෙන් ආණ්ඩුව අපහසුවට පත්වෙන යම් අවස්ථාවක් වේනම් මෙන්න රටට ගිණි තියනවෝයැයි මහත් ශබ්ද නගා කෑ කොස්සන් ගසා ඒ අසීරු අවස්ථාවන් මගහැර යාමට අවස්ථාව සලසාදීම මේ ගින්දර සීයලාගේ ප්‍රධානම වගකීමයි. රට වෙනුවෙන් කරන්නාවූ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මේ කෑ කොස්සන් ගැසීමයැයි ඒත්තු ගැන්වෙන තරමටම අද වනවිට එය රාජ්‍ය අනුග්‍රහය ලබන්නාවූ ව්‍යාපාරයක් බවට පත්වී හමාරය.

ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කරන ජනතාව මහමග ටයර් ගිණි තබන අතර තවත් සමහරු පඹයින් ගිණිතබති.තෙල් මිල වැඩිවීම නිසා සා ගින්දර ඉහවහාගිය උන් ආණ්ඩුවේ ලොක්කන්ගේ හැඩයගත් පඹයින් ගිනිතබද්දී,ආණ්ඩු පාර්ශවයේ උද්ඝෝෂකයින් ඇමරිකාවේ හැඩයගත් පඹයින් ගිණි තබති.එනපොට හරිනොයන බව ඉවවැටුනොත් උද්ඝෝෂකයින්ට ගිණි බිඳින අතර ඔලුව හිල්කරගෙන යන උණ්ඩ හමුවේ උන්ගේ අඹුදරුවන්ගේ හිත ගිණි ඇවිලෙති. ගිණි බටයට ගොදුරුවී එලොව යන අහිංසකයින් එන්ජීඕ කාරයන්ගේ සහ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අතකොලු බැව් රටට හඬගා කියන්නට එවිට ගින්දර සීයලා සෑදී පැහැදී සිටිති.

කලකට පෙර තිබූ ආණ්ඩුවක් තරුණයින් මහමග ටයර් සෑයවල්වල දමා ගිණිතැබීමට නම්දරා තිබිණි.රට විශාලා මහනුවරක්වූ එසමයෙහි දිනපතා උදෑසන පාසල් යද්දී අපි දුටුවේ පාර දෙපස දැවෙමින් තිබූ මිනී රැසකි.ඒ සංහාරයට වගකිවයුතු ඇතැම්හුද එසේම මහමග ගිණිගෙන දැවෙමින් අවසන් ගමන් ගියහ. ටයර් සෑ දැවෙද්දී එයට පලිගැනීමට එකල්හි කැරළිකරුවන් ගිණි තිබ්බේ ලංගම බස්,ආණ්ඩුවේ ගොඩනැගිලි , විදුලි ට්‍රන්ස්ෆෝමර ආදියටයි.එයින් දැවීගිය ජාතික ධනය කෙතරම්දැයි අද ගනන් තැබීම නොවටින්නේ අද ආණ්ඩුව එක දිනකදී ඒ සම්පූර්ණ මුදල හා සමාන මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් නානාප්‍රකාර නරිනාටක නටා ගිණි තබන බැවිණි.

එකල්හි , රට ගිණිගෙන ඇවිලෙනු දුටු එකම පුතණුවන් එගිණි නිවන මග සෙවීම වරදක්දැයි ප්‍රශ්ණකල අක්කලා අද රට ඇවිලෙන ආකාරය නොදුටුව දෑසින් සිටින්නේ ඔවුන්ට අද ගිණි , ගිණිසේ නොදැනෙන නිසාදැයි කිසිවෙක් නොදනිති.එසේම එවදන් අකුරුකල ඇදුරුතුමන්ලාද අද , තොපේ ගිණි අපට මොකටදැයි ජනතාවට කියා තමන්ට කීයක් හෝ හම්බකරගැනීමේ ජැක්සන් තියරියට අනුගතව නිර්මාණ කරති. අතීතයේ පොදුජනතාව වෙනුවෙන් කශේරුකා නොනමා කෙලින් සිටගත් කලාකරුවන් අද ජනතාව යනු කවුදැයි නොදන්නා ආකාරයෙන් , ඒ ගොඩට වී සිටින්නේ තම අනාගත පරම්පරා ගනනාවකම බඩගිනි නිවීමට අදම වස්තුව රැස්කර ගැනීමේ ඒකායන අභිප්‍රායයෙනි.

අපේ රටේ ජනතාවගේ තවත් වටිනා කියන පුරුද්දක් වන්නේ වාහන ගිණි තැබීමයි.පදිකයෙන් වාහනයක ගැටී අනතුරක්වූ සැනින් වැරැද්ද රියඳුරා පිට පටවා,ඔහුට හොඳහැටි නෙලා,වාහනයට ගිණි තැබීමට මහත්වූ සේනාවක් ලහිලහියේ එක් රැස් වෙති.අනතුරට පත්වූ පුද්ගලයා රෝහලට ගෙනයායුතුනම් ඒ පිලිබඳ සොයා බලනුයේ දෙවනුවය.ඉතින් ලංකාවේ රියඳුරන් පුරුදුවී සිටින්නේ මෙලෙස හදිසි අනතුරක්වූ සැනින් තම වාහනය එතැනම දමා පලා යාමටයි.

කහවත්තේ සිදුවූ ඝාතන රැල්ල නිසා මෑතකදී ඒ ප්‍රදේශය පමණක් නොව මුලු රටම ගිණිගෙන තිබිණි.කහවත්තේ වැසියන් බියෙන් ගිණිගෙන දැවුනේ මේ මරාලය කොයි මොහොතේ තමාවත් දවා දමයිදැයි සැකයෙනි.කොයි හැටි වෙතත් අවසානයේ ඝාතකයා පොලීසියට කොටුවිය.පලාතකටම ගිණිදුන් මේ මෘගයින්ගේ මෙන්ම නෑසියන්ගේද නිවෙස් කුපිතවූ පිරිස් විසින් ගිණි තබා විනාශකර දැමිණි.නමුත් මානම් කල්පනා කරන්නේ කිසිවෙක් දුක් මහන්සියෙන් නිමවාගත් නිවෙස් ගිණි නොතබා නඩු අසා වැරදිකාරයන් වන මේ තිරිසනුන් ගිණිතැබිය යුතු බවයි.

Advertisements