දෝණිගේ ප්‍රශ්න දම්වැල.

එදා නිවාඩු නිවාඩු දවසක් වෙච්චි කොට උදේ වරුවේ මම පත්තරේ බලමින් හිටියේ.කොහේදෝ ඉඳන් දෝණි දුවගෙන ආවා.

“තාත්තේ,තාත්තේ……අපි වෙලට යමු කොක්කු බලන්න.”

මමත් පත්තරේ පැත්තකට දාල වත්ත පහල වෙල් යායට ගියා දෝණි එක්ක.අත් ට්‍රැක්ටරයක් සද්දේ දාගෙන ලියැද්දෙන් ලියැද්දට හාමින් යනවා. කුඹුරුයාය පුරාම පැතිරිලා යන්නේ නහය පිනවන මඩ සුවඳ. මැඩෙන මඩේ පාවෙන තිත්තයෝ,කණයෝ, නළහඳයෝ අල්ලන්න කිරි කොක්කුත් ,කණ කොක්කුත් රෑන් පිටින් අහස පුරා කැරකෙනවා.

“තාත්තේ මොකද මේ කොක්කු කරන්නේ.”

“ඔය එන්නේ මාළු අල්ලන්නනේ ”

“ඇයි ඒ මාළු අල්ලන්නේ?”

“කොක්කුන්ට කන්නනේ”

“මාළු අල්ලගෙන් ඒගොල්ලෝ කොහෙද යන්නේ ”

” කොහේ හරි ගහකට යනවා මාළු කන්න”

” ඒ සේරම කොක්කු  යන්නේ එක ගහකටද ?”

” එක එක ගස් වලට යනවා ඇති “

“…………………………..”

“……………………………….”

මේ නොනවතින ප්‍රශ්න වැල බොහෝවිට නවතින්නේ මුල ප්‍රශ්නෙට පලාතකවත් සම්බන්ධයක් නැති වෙනත් ප්‍රශ්නයකින්.ඒ නැවතුමත් බාගවෙලාවට උත්තර දීම එපාවුණු මගේ උප්පරවැට්ටියකින් නවතිනවා විනා දෝණිට එපාවීමකින් නවතින ප්‍රශ්න දම්වැලක් නෙවෙයි.

පුංචි උන් ලෝකය ඉගෙනගන්නේ,තේරුම් ගන්නේ ඇහෙන,දකින දේවලිනුත්,අහන ප්‍රශ්න වලිනුත්. ප්‍රශ්න ඔවුන්ගේ  සාමාන්‍ය ස්වභාවයක්. තිස්සේ දෙවේලේම තමන්ගේ ඇස් ඉදිරිපිට සිදුවෙන අලුත් අලුත් දේ ඔවුන්ට ගෙනත් දෙන්නේ හරිම කුතුහලයක්. ඉතින් ඔවුන්ගේ ප්‍රශ්න වලට උත්තරදීම හරිම පරිස්සමින් කලයුතු  වැඩක්.සමහරක්විට අපි ප්‍රශ්නවලින් බේරෙන්න කියන බොරුවක් ඇතිකරන්නේ අනාගතය ගැන ලොකු බලපෑමක් වෙන්න පුළුවන්.

මගේ එක්තරා මිතුරෙක් දරුවාගේ මේ ප්‍රශ්න ඇසීමේ කරදරයෙන් මිදෙන්නටත්,තමන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු දරුවාගේ කරදරයෙන් මිදී කරගැනීමටත් යෙදූ උපක්‍රමය දරුවාට පරිගණකයේ කාටුන් දමා බලන්නට දීම.දැන් ගෙදර ඉන්නා බොහෝවිට පරිගණක තිරය තුල වීරයන් සොයමින් ඉන්නා  පොඩි එකාගෙන්   දෙමාපියන්ට ඇති කරදර බොහොම අඩු බවයි මගේ මිත්‍රයාගේ අදහස. නමුත් ලෝකයට විවරනොවී, සින්තටික් සිහිනයක දවසින් දවස ගිලෙන දරුවා ගැන මගේ මිත්‍රයාට අදහසක් නෑ.

දෝණි හෙවත් කාටූන් වෙනුවට කතන්දර අසන්නට පුරුදුවී සිටින්නී කතන්දර ඇසීම නිසා  ප්‍රශ්න මාලාව තව තවත් වැඩිකරගනිමින් ඉන්නේ.මේ නිසා වැඩිමනක් අමාරුවේ වැටී ඉන්නේ අඩුවෙන් කතාපොත් කියවා ඇති දෝණිගේ අම්මායි.බාගවිට සතියකට කලින් කියූ කතන්දරයක් ගැන ලොකු ප්‍රශ්නයක් ඇයට මතුවෙන්නේ දැන්.

“අම්මේ,අර මැරෙන්නේ නැති රාක්ෂයාගේ නම මොකද්ද?”

“අම්මේ අර නපුරු නාගයා තනියම වහුපැටියෙක් බැදලා කන්නේ කොහොමද?”

“අම්මේ ඉඳිකටුපැන්චාද ,කෝටුකිතයියාද වැඩියෙන් කෙට්ටු?”

“අම්මේ පයින් යන්නේ නැතුව නැතිරටට ප්ලේන් එකේ යන්න බැයිද?”

ගහ කොළ මල් සහ කුරුල්ලන් කෙරෙහි සිත් ලොබ බැඳගෙන ඉන්නා ඈට සොබාදහමත් මවාදෙන්නේ තවත් ප්‍රශ්න කන්දරාවක්.රෝස මල් රතුපාට වෙන්නේ ඇයි කියාත්,පොල්කිච්චාට කැත පාටක් තියෙන්නේ ඇයි කියාත්,රෑට එලිය මවන සත්තුන්ගේ ලයිට් සේරම කොලපාටම වෙන්නේ ඇයි කියාත් ඇයට තනියම උත්තර හොයාගන්න බැරි ප්‍රශ්න. ගහක් වගේ තිබුණු වලාකුළක්,තවත් ටිකක් දුර පාවෙලා යද්දී කන්දක් වගේ වෙනස් වීමත් දෝණිට ලොකු කුතුහලයක් ඇතිකරන්නක්. ඒ විතරක් නොව,වත්ත පහල එකට ගෑවෙමින් උස ගොස් ඇති කොස් ගහත් මහෝගනී ගහත් හුළඟත් සමඟ හඬ නගමින් වැනෙන්නේ  ඔවුන්ට රිදෙන නිසාද,නැතිනම් තරහගොසින් සිටින නිසාද යන්නත් ඇයට ලොකු ප්‍රශ්නයක්. ලිඳේ වතුර නිල් පාට වෙද්දී ,ඔයේ වතුර දුඹුරු පාටවීමත් ඇයට පැහැදිලි නෑ.

“තාත්තේ,තාත්තේ……වහින්නේ ඇයි?”

ඒ එයාට මිදුලේ සෙල්ලම්බත් උයමින් ,දූවිලි නාමින් හිටිගමන් හදිස්සියේම නැගිච්චි ප්‍රශ්නයක්. “වහින්නේ නේද……….වහින්නේ  පොළවට වතුර ඕනේ හින්දනේ.”

“නෑ,නෑ තාත්තේ…..වහින්නේ පැළවලට වතුර දාන්නයි,නාන්නයි,බොන්නයි,රෙදි හෝදන්නයි.”

ඒක තමයි දෝණි අහන ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ කියල හිතාගෙන ඉන්න උත්තරේ.

සමහරක් වෙලාවට අහන ප්‍රශ්නෙට එයාටම උත්තරයකුත් තියනවා ඒ වගේම.

දෝණිගේ මිත්‍ර සමාගමයේ පරිගණක  තිරයෙන් ලෝකය දකින දෙතුන්දෙනා හැරුණු කොට අනෙකුත් පුංචි උන්ටත් තියෙන්නේ නානාවිධ ගැටලු.තමන් ගැටෙන පරිසරය සමඟ ඒවායේ ස්වභාවය වෙනස්වුවත් ඒ සියල්ල එකම මාදිලියේ ප්‍රශ්න. මේ කුතුහලය ඔවුන් දවසක ලෝකය පිළිබඳ දැනුවත් මිනිසුන් කරාවි.

“තාත්තේ….තාත්තේ…….”

හපොයි,තවත් ප්‍රශ්නයක්ද?