විමලේගේ භයානක සිහිනය.


බෑන් කී  මූනා කමිටුවත් එක්ක ලංකාවට එන්න පැදුරු කොට්ට ලැස්ති කරනවලු ඔන්න.විමලේගේ රහස් පරීක්ෂක සේවයට ඔත්තුවක් හම්බවෙලා.”මේ මොන ගිනි විජ්ජුම්බරයක්ද වෙන්න යන්නේ යකෝ.අපේ මහා රජතුමා ඇවිදින් මට වතුර පෙව්වේ මූනාට එන්න දෙන්නේ නෑ කියලනේ.”විමලේට යක්ෂයා ආරූඩ වෙලා.”එහෙම පොරොන්දු නොවුනානම් එහෙම බලාගන්න තිබුන ඒ වෙලාවේ”.”එහෙම පොරොන්දු නොවුනානම් මොකද ඒ වෙලාවේ කරන්නේ සෑර්.”ඔතන මැද්දට පැනපු පාන්පිටි ත්‍රස්තවාදයේ පියා තට්ට විජේ ඇහුවා.”මේ ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවේ මගුලක් කතා කරනවා ,යනවා ඕයි යන්න.”විමලේ තට්ට විජේටත් බුරාගෙන පැන්නා.
 
විමලේ අලුත හම්බුනා ප්‍රාඩෝ එකේ නැගල බාල කුමාරයා ප්ලේන් එලවන වේගෙන් ඇරලා ගියා මුරුන්ගගහ වලව්ව පැත්තට.මෙහෙම යනවා බලාගෙන හිටපු තට්ට විජේ කෑ ගහල කිව්වා “සෑර් කලිසම ගලවලා යන්න” කියලා.හැබැයි මේක ඇහුනොත් විමලේට දුක හිතෙයි කියල හිතලද මන්ද ඒක හිතින් විතරයි කිව්වේ.වලව්වට ලංවෙද්දි තරහ නිවිලා හින්දදෝ මන්ද ආපු වේගෙන්ම රජතුමාට කතා කරන්න ගියේ නෑ විමලේ.පසඟ පිහිටුවලා වැඳ වැටිලා අහනවා”පස්වාන් දහසකට බුදුවන්න දේවයිනි,අනේ මිනිස්සු ඉස්සරහ ආයෙත් මගේ රෙද්ද ගලවන්න එපා,බලු ගැත්තාට අනුකම්පා කරලා මූනා මේ රටට එන ඒක නවත්තල දෙන්න.”රජතුමා බැලුවා මූ මොකාටද මේපාර අඳින්න හදන්නේ කියලා.”අනේ බාන්,උඹේ රෙදි නෑ  කියල අමුතුවෙන් කියන්න දෙයක්ද.ඔන්න ඔහේ ගිහින් වොයිස් කට් එකක් දීපන් මූනා එන්නේ මේ රට අධිරාජ්‍යවාදී බලවේගවලින් බේරගන්න කියලා.”
 
විමලේගේ  හිතටනම් කොහොමත්ම හරි නෑ.තව තුරුම්පුවක් ගහනවා කියල හිතල අර වයසට ගිහින් කල්පනාව අඩුවෙච්චි මාරසේකර දොස්තර මහත්තයට කියල කියෙව්වා ඔය සාක්කි එකතු කරන කමිටුවේ කොටි හිතවාදීනුත් ඉන්නවා කියලා.ඕක අහපු ජහමනයා අහන්න තියා ගත්තා රජ පරපුරට ඔහොම පොඩි කමිටුවක්වත් හරියට දාගන්න බැරි එකේ ඔය කියන විදියට මහ රජ්ජුරුවොයි,යුව රජ්ජුරුවොයි,කුමාරවරුයි එකතුවෙලා යුද්දේ දිනුවේ කොහොමද කියලා.ඉතින් ඔන්න ඒ වැඩෙත් චක බ්ලාස් වෙච්චි තැන මහා කම්පාවකට පත් වෙච්චි විමලේ මතටත් තිත තියලා මහා ලඹේ තුන්මහල් ප්‍රාසාදයට ගියා වැනි වැනිම.හිතේ අවුල හින්දම සශීගේ වත්තේ එලවලුකොරටුවෙන් කඩාගෙන උයාපු දේශීය ඩිනර් එකවත් හරියකට ගන්න බැරිඋනා.
 
ඇඳේ පෙරලි පෙරලි ඉඳලා ගොඩවෙලාවකට පස්සේ නින්ද ගිය විමලේ හදිසියේම දැක්කේ මුරුන්ගගහ වලව්ව ඉස්සරහ ගහල තියන අට්ටාලයක්.මූනාට ලංකාවට පැමිණීමට විරුද්ධ නොවීමට විරුද්ධව මාරාන්තික උපවාසය කියල බැනර් එකකුත් එල්ලලා.උපවාසේ පටන් ගන්න කලින් ලක්ෂ තුන්සීයේ නළුවා මුසම්මිල් ඇහුව කෝකටත් කියල විමලේගෙන් “සෑර් මහ රජ්ජුරුවෝ මේ ගමනත් වතුර පොවන්න එයිද”කියලා.විමලේ මුස්සම්මිගේ කනට කරලා කිව්වා “රජ්ජුරුවෝ නාවොත් කුමාරයෙක් හරි ගෙන්නවල ඉක්මනට වැඩේ කරාපන්.මට මේ වැඩ හින්ද තව කිලෝ ගානකින් බර අඩුකරගන්න බෑ.”කියලා. උපවාසේ වැඩේ ආරංචි වෙච්චි ජාගොඩ ඇමැතියි ,බුද්දදාස නළු තුමයි යන්න කලින් ඒ ගොල්ලන්ගේ අතේ වියදමින් කිලෝ දෙකේ ලෙමන්පෆ් පෙට්ටියක් ගෙනත් දීලම ” නිවට පෙරමුණ” අතෑරලා දාල ගියා.
 
පැයක් දෙකක් උපවාසේ නැගල යනවා දැන්.තට්ට විජේ,තුන්සීයේ නළුවා,මාරසේකර දොස්තර මහත්තය එහෙම අට්ටලේ වටේ එක්කහුවෙලා.තුන්  පැයකට විතර පස්සේ විමලේ පණ ඇද ඇද වොයිස් කට් එකක් දුන්නා.”මම මලත් සටන අතාරින්නෙ නෑ.මගේ තැන ගන්න දහස් ගණන් දේශහිතෙශී ජනතාව පෙළ ගැහිලා ඉන්නේ.මූනාට ලංකාවට එන්න වෙන්නේ අපේ මලකඳන් උඩින් තමයි”.
උපවාසය පටන් අරන් පැය හතරකුත් ගෙවුනා.
“රජජ්ජුරුවෝ මොකද යකෝ තව පරක්කු?”,”මහ රජතුමා එන්න බෑ කිව්වනේ,කියන දේ නාහ මෙතන උපවාස කරන්න ආවනම් ඕන මගුලක් වෙච්චාවේ කියල කිව්වා “
පැය හතරහමාරයි.
“යුව රජෙක්වත් අඬගහන් වරෙන් යකුනේ”.විමලේට තද වේගන යන්නේ දැන්.”යුව රජ්ජුරුවෝ තුන්දෙනාම රටේ නෑනේ සෑර්.”
“මේ අට්ටලේ ගහපු හැතිකරේ ඕව දැනගෙන හිටියේ නැද්ද”.විමලේට හීන් දාඩිය දාගෙනත් එන්නේ.
“කුමාරයෙක් හරි කමක් නෑ දැන්නම්,සපුමල් කුමාරයා නැද්ද?”  ආයෙත් අතවැසියෝ කුමාරවරු හොයන්න දුවනවා.
“කුමාරවරු කාර් රේස් එකකට ගිහිල්ල සෑර්”
“මෙහෙව් දේශහිතෙශියෙක් මැරෙන්න වැටිලා ඉද්දි වතුර පොදක් දෙන්න රජ පවුලේ කෙනෙක් නැති හැටි.” මාරසේකර දොස්තර මහත්තයා කම්මුලේ අත තියාගෙන අකම්පාල වෙනවා.
 
පැය පහයි.
වටේ පිටේ මිනිස්සු වටවෙලා හින්ද හොරෙන් ලෙමන් පෆ් එකක්වත් කාගන්න විදියක් නෑ.බඩපනුවෝ දැන් දැන් මැන්ඩලීන් ගහන්න තියාගෙන.ඊට වඩා විමලේට හීන් දාඩිය දාලා වැඩේ ගොඩ දාගන්නේ හොහොමද කියලා.”මොකෙක් හරි රාජපක්ෂ කෙනෙක් එක්කන් වරෙල්ල දැන්.වෙන කරන්න දෙයක් නෑ.”විමලේ තුන්සීයේ නළුවට කනට කරලා කිව්වා.
තුන්සීයේ නළුවා වහාම රාජපක්ෂලාගේ ලිස්ට් එකක් හදල බැලුවා.
ශෂීන්ද්‍ර රාජපක්ෂ,……………………………………………………….,අරුණි රාජපක්ෂ,මේනක රාජපක්ෂ,වරුණ රාජපක්ෂ.
ලිස්ට් එකේ මුලම  ඉන්න කට්ටිය කොහොමවත් අල්ලගන්න බැරිවුනා.අන්තිම හරියේ හිටිය නළු නිලියෝ ටිකත් ෂූටින් ගොහිල්ල.ඔන්න යන්තම් තට්ට විජේ කලින් හිටපු යාලුවෙක් කියලා වරුණ රාජපක්ෂව අල්ලගත්තා,විමලේට වතුර ටිකක් පොවලා උපවාසේ අතාරින්න.හොයාගත්තු රාජපක්ෂ වතුර වීදුරුවකුත් අරන් විමලේ ලඟට ආවා.වෙවුල වෙවුල වතුර ටිකක් බීපු විමලේ ඊට පස්සේ තමයි පෙව්වේ කවුද කියලා මුණ බැලුවේ.”යකෝ මේ යකා ජෙප්පෙක් නේද,මෙන්න මූ මට වහ පෙව්වෝ”  කියාගෙන උපවාසෙන් නැගිට්ට විමල් එකපාරටම දැක්කේ මුණ දිහා කන්න වගේ බලාගෙන ඉන්න සශිව.”රට පුරා සවරමේ ගිහින් බේගල් ඇදබාල එනවා මෙතන .රෑට නිදාගන්න බෑ ඊට පස්සේ.”සශිගේ දොස්මුරේ අහගෙන ඉන්න බැරුව විමලේ ඔලුවත් වහගෙන ආයෙත් ඇඳට වැටුනා.නින්ද යන්න කලින් හිතාගත්තා ඔන්න ඔහේ ඕන මූනෙක්‌ ආපුවාදෙන්.මම ඉන්නවා මගේ පාඩුවේ දෙයියනේ කියලා දෙන සිමෙන්ති කොට්ටයක් කාගෙන.

8 thoughts on “විමලේගේ භයානක සිහිනය.

  1. නියමයි මචං…

    මේ යකා ඇත්තට වුණත් මේ විදියට හැසිරුණොත් පුදුමයක් නෙවෙයි. ලැජ්ජාව දැනෙන නහරවල්, ස්නායු හරි මොනා හරි ඔක්කොම පිච්චිලා ගිහින් සල්ලි වලට.

  2. එළට ලියල තියෙනවා මල්ලි,දැං හැබැයි විමලෙ ගොයියට උපවාස කොරන්ඩ වෙන එකක් නැහැ, කමිටුව දැං එනවයි කියන්නෙ සිංගප්පූරුවට,ඉතිං මුංදැට කොරන උපවාසයක් සිංගප්පූරුවෙ ගෙහුං තමයි කොරන්ඩ වෙන්නෙ,

    අර කවුදෝ බමුණෙකුට උනාහෙ මට මුලිං හිනා ගෙහුං පස්සෙ ඇඬුන නෙව,

    හිනා ගියෙ මේ කරදර කම්කටොලු අල්ල පනල්ලෙ ජීවිතෙට පොඩි ජොලියක් සපයන්ඩ මේ වගෙ විහිලු කාරයොත් ඉන්නව නේද කියල හිතිල,

    ඇඬුනෙ මෙන්න මේ කියමන මතක් වෙලා,

    “In a democracy, the people get the government they deserve,” Alexis de Tocqueville

    ඒ කිව්වෙ විහිලු කාරයො ඉන්න එක නම් බොහොමත්ම හොඳා, එකම කාල ඉන්ඩ බැරි පුරස්නෙ එවුං අපේ පාලකයො වෙච්චි එකයි,

    හැබැයි අර කියමන අනුව නම් කොරන්ඩ කිසිම දෙයක් නැහැ, අපිම වෙනස් වෙනකල් මේ වැඩේ මෙහෙම්ම යනවා,

  3. හැබෑට සිංගප්පූරුවට ආවොත් මෙයා මොනවා කරයිද දන්නෙ නෑ…. සමහරවිට ටිකක් හයියෙන්ම කෑ ගහයි. එහාට ඇහෙන්ඩ එපායැ… අනික අපි මොනවා කීව්වත් මූණාත් බයයි මෙයාට.

Hasitha වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න