මා දේශහිතෛශියෙකු වෙන්නට තීරණය කලෙමි.

හම්බන්තොට වරාය හදන කටයුතු නිසිකලට,නිසි සැලසුමට ටක්කෙටම අහවර වෙලා බවයි හැම පත්තරේකම ඔල්වරසන් නගමින් වාර්තාකලේ.රූපවාහිනියේ විකාශනය කරමින් තිබුණේ ජැක්-සන් ඇන්තනී සූරීන් සැලසුම් කලායැයි කියන,සුරලියන් පරදවන ලලනාවන් පිරිවරාගත් මේ මහා නාවික තොටුපොලේ විවෘත කිරීමේ උත්සවය. ‍යාපනයේ සිට පවා බස් කුලියට ගත් මහා සේනාවක් මේ රාජකීය උත්සවය දැකබලා ගන්නට ඇවිත් හිටිය බවයි කියැවුනේ.

ඒත් මගේ හිතටනම් නැගෙමින් තිබුනේ ඉතිහාසගත මහා විනාශයක් වෙමින් තියනවායැයි මහා කාලකන්නි හැඟීමක්.තවත් වරායක් හදන්නට යන වියදම හා සමාන වූ ආටෝපකාරී උත්සවත්,මේ වරායට පිහිටි කලුගලක් නිසා නැව් එන්නට අමාරු බවත්,ඒ ගල කඩන්නට තවත් මහත් මුදල් කන්දරාවක් වියදම් වන බවත් ආදිය මගේ හිතේනම් ඇතිකලේ මහා අප්‍රසන්න හැඟීමක්.හැබයි අපේ කන්තෝරුවේ වැඩකරන සුසිල්නම් කොහෙන්ද මන්දා හොයාගෙන ඇවිත් කිව්වේ මෙහෙව් වරායක් මේ මුලු ලෝකෙටම නෑ කියලායි ඒ ගොල්ලො කියන්නේ කියලා.

යුද්ධයෙන් පස්සේ අවුරුදු ගානක් ගිහිල්ලත් උතුරේ අහිංසක මිනිස්සු බුරුතු පිටින් තවමත් සරණාගත කඳවුරුවල ගාල්කර ඇති බව සමහර දේශද්‍රෝහී මාධ්යි වාර්තා කරද්දී මට ඇතිවුනෙ ඒ මිනිස්සු ගැන මහා අනුකම්පාවක්.ඒ විතරක්නම් මදැයි, මේවාට වගකිවයුතු ඇත්තන් ගැන කෝපයක්.හැබැයි එදාම රෑ ටී වී බලපු අපේ අල්ලපු ගෙදර සිරිපාල මාමානම් කියනවා “උතුර දැන් දකුනට වඩා දියුණුයි කියලා ඔය අයි ටී එන් එකේ නිවුස් වලටත් කියන්නේ බං” කියලා.

18 වැනි සංශෝධනය ගෙනල්ලා රට පාලනය තමන්ගේ බූදලයක් කරගන්නවා කියලයි යූ ඇම් පී කාරයෝ කෑ ගහන්න තිය ගත්තේ.මේකනම් විශාල කරදරයක් කියල තමයි මමත් අපේ පවුලට කිව්වේ.හැබැයි අපේ පවුල කිව්වේ විශාල කරදරේ ඕක නෙවෙයි එහා වත්තේ උන් අපේ පැත්තට කරලා වැට ගහන එක කියලා.රටේ මායිමනම් හොයන්න යනවා වත්තේ මායිම දන්නේ නෑ කියලා තව දෝස්මුරයකුත් දමාපි.මම ඉතින් හිතින් හිතාගත්තා අපේ වැට ඉතුරුවෙන්නත් රට ඉතුරුවෙලා තියෙන්න එපායැ කියලා.

අපි හැමදාමත් කන්තෝරු යන කෝච්චියේ නම් ඉන්නෙම මේ වැඩ හින්දා ආණ්ඩුවට බැන අඩගහන මිනිස්සු.මේ අසාධාරණ වැඩ හින්දා ඒ මිනිස්සුන්ගේ ලේ කකියනවා කියලයි කියන්නේ.කන්තෝරුවේ මට එහා පුටුවේ ඉන්න බන්දුල මහත්තයටනම් ටික දොහකට කලින් තිබුණු ලොකුම ප්‍රශ්නේ කැම්පස් වහල හින්දා ලොකු දුව ගෙදර ඉන්න එක.කවදා මේකෙන් ඉගෙනගෙන පිටවෙන්න ලැබෙයිද කියල උන්නැහේ විස්සෝප වෙනවා.”අපේ ළමයින්ට වහල තිබුණට අරගොල්ලොනම් විභාගත් හොරට ලියල ඒ මදිවට තව නඩුත් කතාකරනවලු දැන්”.දවසක් උන්නැහේට පත්තරේ තිබ්බ දෙයක් දැකල මරුවා ආවේස වෙලා.

ඔය අහුමස්සෙ තමයි පලාත් සභා ඡන්දෙත් ආවේ.දේශද්‍රෝහි ඇන් ජී ඕ කාරයන්ගේ සේරම කියමන්,අනාවැකි බොරුකරලා ආයෙත් මේ ජනහිතකාමී ආණ්ඩුව උඩින්ම ගේම දිනුම්. (මේ එන්ජීඕ ගොඩට කේ පීගේ එන්ජීඕව අයිති නැති බව කරුණාවෙන් සලකන්න).ඒ විතරක්නම් මදැයි යූ ඇන් පීය කැලෑ වැදිලා.ජෙප්පො කියලා ජාතියක් නැති ගානයි.බුලත් කොලේ නැතුව,යන්තම් ඡන්දෙදි පේන්න ඉන්නේ තමන්ගේ ජාතිකත්වය විකුණලා ඡන්දේ ගන්න උදවිය විතරයි.කෝච්චියේ වැඩට යන උන් සේරම,කන්තෝරුවේ බන්දුල උන්නැහේ වගේ උදවියත් බැනලා බැනලා ආයෙත් බුලත් කොලේටම කැමැත්ත දීලා වගේ.

ඉතින් මම එක ඉරිදා නිවාඩු දවසක නිවාඩු පාඩුවේ කල්පනා කරන්න පටන් ගත්තා.මිනිස්සු මේ මෙච්චර මේ ආණ්ඩුව කරන දේවල් වල වැරදිම කියනවා.ඒකට මොකෝ ආණ්ඩුවට හැමදාම ඡන්දනම් මදි නොකියන්න හම්බවෙනවා.මේකනම් ආණ්ඩුව කියන විදියට ඇන් ජී ඕ කුමන්ත්‍රණකාරයෝ පතුරවන කතාවක්ම වෙන්න බැයිද?රටේ සංවර්ධනය ඉවසගෙන ඉන්න බැරිව ,කාල ඉන්න බැරිව නලියන බටහිර ඒජන්තයන්ගේ උප්පරවැට්ටියක් වෙන්න බැයිද?

නැත්නම් රටේ මෙච්චර ගානක් මේකටම කතිරේ ගහයියැ.අපිත් දන්නේම නැතුව මේ දේශද්‍රෝහියෝ ගොඩට වැටිලා නේද මේ කුමන්ත්‍රණ හින්දා.ඉතින් මමත් කල්පනා කරලා කරලා දේශහිතෛශියෙක් වෙන්න තීරණය කලා.රටට ආදරේනම් කලයුතු ප්‍රධානම දේ වෙච්චි ආණ්ඩුවෙ දෑත ශක්තිමත් කරන එක ඉතින් දැන් පටන් ගන්න ඕනෑ.

අපේ ගමේ වසන්ත මන්ත්‍රීතුමාට පාරවල් කොන්ක්‍රීට් දාලා ඉතුරු සල්ලිවලින් ට්‍රැක්ටර් එකක් ගත්තේ ඇයි කියල අහන්නේ නැතුව මම තව ට්‍රැක්ටර් එකක් ගන්න මගේ ෆුල් සපොර්ට් එක දෙන්න තීරණය කලා.මාලක බේබි හිරේ යැවුවනම් හිර ගේ ඉස්සරහ කරන උද්ඝෝෂණයට එනවා කියල මම කලින්ම අපේ ගමේ තරුණ සමිතියට නම දීල තිබ්බේ.(වෙලාවට හිරේ දැම්මේ නැත්තේ.දැම්මනම් බලන්න තිබ්බ )

ලබන මහ ඡන්දෙට පබා අක්කිට බැහැලා වැඩකරන්නත් මම දැම්මම හිතාගෙන ඉන්නේ.18 වෙනි සංශෝධනය කියවල ,සරණ ගිහින් ඉන්නේ එතුමියට ශක්තියක් වෙන එකත් ජාතිමාමක ක්‍රියාවක් නොවැ.සරණ මහත්තයා හම්බවෙලා අහන්නත් ඕනැ නුවර පාර අයිනේ ඉන්න රඹුටන් කඩ කාරයින්ගෙන් දවසට 100 ගානේ එකතු කරලා දෙන එකත් මම උදව්වක් හැටියට කරලා දෙන්නඩ කියලා.(කප්පමකට නෙවෙයි ,රට ගොඩනගන්නනේ.)

ආයේ ඔය කැම්පස් ආචාර්යැවරුන්ගගේ හරි වෙන එන් ජී ඕ හාල්පාරුවන්ගේ හරි මොකක් හරි තියෙන්න කවදද කියලා කල්පනාවෙන් ඉන්න ඕනැ,එදාට නිවාඩුවක් දාන්න කලින්ම.අපේ ගමේ දේශහිතෛශී තරුණ පිරිසට ඕවාට ගල් ගහන්න යන්න බස් එකක් එවනවලු ඩිපෝ එකෙන්.නිවාඩුවක් වියදම්වුනත් මොකද මේක ජාතික අවශ්‍යතාවයක්නේ.

දැන් ඉතින් රට ගැන උන්නැහේලම බලාගන්න හින්දා අපි විශාල කරදරයකින් නිදහස් කියල හිතෙනවා.ඒක හින්දා අපේ වැට එහා මෙහා කරන අල්ලපු ගෙදර උන්ට හොඳ අංචියක් අදින්න නිවාඩු පාඩුවේ කල්පනා කරන්න බලන්න ඕනෑ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැවත නොපරදින්නට ගුරුකමක් මෙන්න.

විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන තරඟය පරදින ලකුණු හැම පැත්තෙන්ම පෙනෙන්නට පටන් ගනිද්දී මම මේ පරාජයට පලි කවුරුදැයි හිතන්නට පටන් ගත්තා. මාලිංග , ඩිල්ෂාන් , පිට්ටනිය වටේ නටන ගෑණු උදවිය එකින් එක මතකෙට එද්දිම තමයි ඔන්න එතුමාගේ මූණ ටී වී එකෙන් පේන්න පටන් ගත්තේ.

එතුමා මේ ෆයිනල් එකත් බලන්නට ගොහින් හිටියා. තුන්වෙනි පන්තියේ මහජනයාට වගේ ටිකට් ගන්නට මහන්සි වෙන්න ඕනෑ නැති හින්දා උන්නැහේට ඕනෑම මැච් එකක් බලන්නට යන්නට පුලුවන්කම තියනවා. සමහරවිට කලින් ගිය කට කැඩිච්ච කථා වල හැටියටනම් එතුමා ටිකට් අරන් මැච් එක බලන්න හිටියානම් ටිකට් ගන්න වෙයිද කියලනම් තියෙන්නේ සැකයක්. මේ මෙතනත් කියන්න යන්නේ ඔය මැච් එක එතුමා හින්දා පැරදුනා කියලා හෙම නෙවෙයි ඔන්න.ඒක එහෙම නෙවෙයි කියලා ඕනෑම දේශප්‍රේමියෙක් දන්නවා.

අපේ කණ්ඩායමටත් තියෙන්නේ දැන් රටේ ලොකු තැන්වලින් ආදර්ශයට අරගෙන මෙතැනින් ඉදිරියට අනික් තරඟ දිනන සැලැස්මක් හදා ගන්නා එක මෙන්න මේ වගේ. එහෙම නැතුව අරයා බලන්න ආවම පරදිනවා වගේ බොරු දේවල් හිත හිතා හිටියොත් හැමදාම පරදින එක ආයේ සක්කරයටවත් වලක්වන්න බෑ.

1.ක්‍රිකට් කණ්ඩායමට උපදේශකයන් පත් කර ගැනීම.
(පෑඩ් දැමීමට උපදේශක,ග්ලවුස් දැමීමට උපදේශක,බෝල් ගාර්ඩ් දැමීමට උපදේශක වාගේ පට්ටම් 100ක් පමණ සුදුසුය)

2.අම්පයර්ලාගේ ගෙවල් වලට ගල් ගැසීම.
(එතකොට උන්නැහේලා අපේ කණ්ඩායමට විරුද්ධව ඇඟිල්ල උස්සන්නේ නැත.)

3.ප්‍රතිවාදී ප්‍රබල කණ්ඩායම් ඇත්නම් දෙකට තුනට බෙදා දැමීම.
(කොදෙව් A,කොදෙව් B,කොදෙව් C ආදී ලෙස බෙදා දැමූ විට අපට ඔවුන්ගෙන් වෙන තර්ජනය ඉතා අඩු කර ගත හැකිය.)

4.ප්‍රබල කණ්ඩායම් වල නායකයින් මාරු කිරීම.
(ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් හෝප්,ඉන්දියානු නායක රාජිව් භාතියා වැනි මීට පෙර නමවත් අසා නැති විපක්ෂ නායක පන්නයේ නායකයන් පත් කල යුතුය.ඔවුන්ට සදාකල් නායකත්වයේ රැඳී සිටීමට කොන්දේසි විරහිතව සහය පල කල යුතුය)

5.ප්‍රතිවාදී කණ්ඩායම් වලට බොරු කියා රැවට්ටීම.
(විස්සයි විස්ස මැච් එකක අනෙක් කණ්ඩායම පලමුව පන්දුවට පහර දී සියල්ලම දැවී ගියහොත්,මේ ඕවර් 50 මැච් එකක් බව දන්නේ නැද්දයැයි ඔවුන්ට කියා අපි ඕවර් 50ක් පාවිච්චි කර මැච් එක දිනීම වැනි උපක්‍රම )

6.අනෙක් කණ්ඩායම් වල ප්‍රබල ක්‍රීඩකයන්ගේ සාමාන්‍ය ජීවිතයේ ඇතැම් තැන් සොයා ප්‍රසිද්ධ කිරීම.එසේ සොයා ගත නොහැකිනම් නැති දේවල් ඇතිකර ඒවා ප්‍රසිද්ධ කිරීම.
(කෝලි ඉස්කෝලේ යන කාලේ වීරප්පන් එක්ක ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කිරීමට කථා කර තිබේ,ෂහීඩ් අෆ්‍රිඩි ඉස්සර ෆාදර් කෙනෙක්,පේන්නේ නැද්ද දැනුත් කතා කරද්දි ඒ ස්ටයිල් එක තියෙන්නේ…….වැනි දේ සුදුසුයි)

7. තරගාවලියේ තරඟ කොටස් වශයෙන් පැවැත්වීම.
(මෙහිදී තරඟ එකවර පවත්වන්නේ නැත.තරගාවලිය අවසාන කිරීමට නියමිත කාලයක් කලින් තීරණය කරන්නේ නැත.ඉන්දියානු කණ්ඩායම දුර්වලතා පෙන්වන කාලයක් බලා ඉන්දියාව සමග වශයෙන් එක එක කාලවලදී තරඟ පවත්වනු ලැබේ…)

8.අනෙක් කණ්ඩායම් වලට ක්‍රීඩකයන් තෝරා ගන්නාතුරු බලාසිට ඔවුන් සල්ලි දී කණ්ඩායමට ක්‍රීඩා නොකිරීමට පොළඹවා ගැනීම.
(තරඟ වදින්නට සූදානම් වන අවසාන මොහොතේදී එවිට ඒ කණ්ඩායම් වලට තමන්ගේ සංචිතයට තෝරා ගත් ක්‍රීඩකයන් අඩුවී ඇති බව දැනගන්නට ලැබීමෙන් මහත් අපහසුතාවයට පත් වීමට සිදුවේ)

මේවා කල නොහැකි වැඩයැයි කිසිවෙක් සිතනවානම් එතුමා මේ උපක්‍රම සාර්ථක කර ගත හැකි කෙටි ක්‍රම අපේ ක්‍රිකට් කණ්ඩායමට කියා දෙනු නොඅනුමානය.
මේවා හරියන බව වරායට නැව් එනවාක් මෙන් ස්ථීරය,ප්‍රත්‍යක්ෂය.

මාලක – ඔහු සැබෑම කන්නංගර දරුවෙකි

ඇන් ජී ඕ කුමන්ත්‍රණ කොච්චරනම් අපි නොහිතන තැනකට යනකම් මේ රටේ රිංගලාද කියන එක හොඳටම පෙනෙන මෑතම උදාහරණය තමයි මාලක-ප්‍රදීප් ගැටලුව.දැන් ඉතින් සමහරු විලම්භීත වෙන්න පුලුවන් මේ මොකද්ද මේ හරුපේ කියලා.අපේ රටේ කීර්තිමත් නීතීඥ මහත්තයෙක් මේ කාරණාව රටවැසියාට අනාවරණය කරල දුන්නේ අපි කාගේ කාගේත් වාසනාවට.

දැන් මේ මුලු ලෝකෙම විතරක් නෙවෙයි,බ්‍රහ්ම ලෝකෙට යනකම් පැතිරිලා තියන කථාවක් තමයි මේ පුංචි සිරි ලංකාව මේ විශ්වයේම දැනුමේ කේන්ද්‍රස්ථානය වග.මී ජයා උන්නැහේ කියන අතීතේ විතරක් නෙවෙයි,වර්ථමානයෙත් ඒ තත්වයට අපේ රට උස්සලා තියන්න කැපවුණු මහා යුග පුරුෂයෝ දෙන්නෙක් ඉන්න වග කවුරුත් දන්නවා.ඒ උත්තමයින්ගේ නම ආයේ අමුතුවෙන් මතක් කරලා දෙන එක උන්නැහේලට කරන අගෞරවයක් නිසාම මතක් කරන්න ඕනැ නෑ ආයෙ ආයෙත්.මේ දෙන්නාගේ දෙමාපියන් පවා රට වැසියා නිතර මතක් කරනවනේ තිස්සේ දෙවේලෙම, ඔය කැම්පස් ප්‍රශ්නේ ,ඉසෙඩ් ස්කෝර් ප්‍රශ්නේ වගේ හැට හුටහමාරක් වෙච්චි අධ්‍යාපනික ප්‍රශ්න විසඳපු අපූරුව ඇහෙද්දි.
ඉතින් මේ ආකාරයට මේ විශ්වයේ දැනුම කේන්ද්‍රස්ථානය වෙච්චි මේ පුංචි රට ඒකෙ ස්වර්ණමය යුගයට පිවිසෙන්නේ වසර 2020 දි අධ්‍යාපන ඇමති බවට පත්වෙන මාලක සිල්වා ඇමතිතුමාගේ කාලයේ බව නාථ දෙයියෝ තමන්ට කියපු බව ජනාධිපති නීතීඥ අ-වර්ණසූරිය මහත්තයාට කියලා තියෙන්නේ තමන්ගේ දේශීය දැනුමින් මුලු බටහිර ලෝකයම දෙදරුම් කවපු ආචාර්යවරයෙක්.පස්සෙන් පහු ඕක කනින් කොනින් බටහිර වන්දනාවේ යෙදෙන ඇන් ජී ඕ කාරයන්ට ආරංචිවෙලා තියෙනවා.

බටහිරයෝ ඔන්න පරන රැකෝඩ් ටික අවුස්සලා බැලුවා මේ මාලක කියන හාදයගේ,ඔය කථාව දැනගත්තහම.හරිනේ වැඩේ ටක්කෙටම.මාර ඉතිහාසයක්නේ තියෙන්නේ මේ අතිදක්ෂ දරුවට.පහේ පන්තියේ ඉන්නැද්දි ඕ ලෙවෙල්,හයේ පන්තියේ ඉන්නැද්දි ඒ ලෙවෙල් පාස් කරලා දහයේ පන්තියේ ඉන්න වයසෙදි උපාධියකුත් ගත්තු මේ යකා අධ්‍යාපන ඇමති වුනොත් අපිට උන්හිටි තැන් නැතිවෙනවා කියලා හිතපු ඔය ඇන් ජී ඕ කාරයෝ තමයි ඔය ලෝක ප්‍රසිද්ධ වෙච්චි මාලක-ප්‍රදීප් ගැටලුව නිර්මාණය කරන්නේ.

හැබැයි ඔය ඇන් ජී ඕ කාරයෝ දන්නේ නෑ මේ රටේ ,රට වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් රෙඩි වෙච්චි දේශප්‍රේමියෝ ඕනැ තරම් ඉන්නවා කියලා.ඉතින් උන්නැහේලා වහාම ඔය කාරණාවට මැදිහත්වෙලා අනාගත අපේ රටේ අධ්‍යාපනේ විනාශ කරන්නට කැස කවපු මහා ජාත්‍යන්තර කුමන්ත්‍රණය පරාජයට පත්කලා.ඒ විතරක් නෙවෙයි එතුමාගේ ශ්‍රී නාමයට එක්වෙන්න තිබුණු එක්ස්ටසි පැල්ලම ආයේ නේන්නම හෝදලා දැම්මා.(මතකයි නේද හෙල රණවිරුවා වෙනුවෙන් නොවලහා පෙරට එන හෙලයේ මහා දේශප්‍රේමීන් ඔය වෙලාවේ කටක්වත් නොහෙල්ලුවේ ඔය දරුණු කුමන්ත්‍රණය කලින්ම වටහා ගත්තු නිසා තමයි) ඉතින් ඔය ඓතිහාසික අවස්ථාවේ තමයි ජනාධිපති නීතීඥ අ-වර්ණසූරිය ශ්‍රීමතා ඔය අනාගත අධ්‍යාපන ඇමතිතුමා ගැන උදාන වාක්‍යය කිව්වේ කෙලින්ම නඩුකාර තුමාගේ මූණටම .

ඉතින් කොහොමින් කොහොම හරි මාලක අනාගත ඇමතිතුමා සියලු චෝදනාවලින් නිදහස් වෙලා හෙටම ඇමරිකාවට ඉගිල්ලිලා යනවා,තමන්ගේ වැඩිදුර ඉගෙනුම් කටයුතුවලට.දැන් කවුරුවත් මෙච්චර දක්ෂ ශිෂ්‍යයෙකුට ඇමරිකාවෙන් තව මොනවා ඉගෙන ගන්නද කියලාත් ,ඔය යන්නේ මෙහෙ හිටියොත් ලඟදීම දවසක ගේම හම්බවෙයි කියලා බයටද කියලාත් වගේ ප්‍රශ්න ඇතිකරගන්න ඕනැ නෑ.අයින්ස්ටයින් අභිබවා යන්න මෙතුමා ඉන්නේ තව පියවර දෙක තුනක් මෙහායින් විතරයි වගේම මෙතුමා දසමාර සේනාව ආවත් බයේ පැනලා යන කොල්ලෙක් නෙවෙයි..එතුමා මේ විශ්වයේ විශිෂ්ඨතම බුද්ධිමතා,දාර්ශනිකයා විතරක් නෙවෙයි අධ්‍යාපනඥයා වෙන දිනය අත ලඟම තියෙන්නේ.

ඉතින් අපි එතුමාට සුබ නොපතා ඉන්නට කුහක වෙමුද හා?

ගිණි තැබීම

අපේ රටේ ජනතාව සහ ගිණිතැබීම අතර ඇත්තේ අනාදිමත් කාලයක සිට පැවතගෙන එන නොබිඳෙන සම්බන්ධතාවයකි. එදා හෝ අද , දුප්පතා හෝ පෝසතා , සිංහලයා හෝ දෙමලා වෙනසක් නොමැතිවම ලොක්කන් සොක්කන් සියල්ලන්ම තරඟයට කිසියම් හෝ අහු මුල්ලක් ගිණි තියති.

පැරණි හේන් ගොවියා කැළය කපා ගිණි දල්වා භව භෝග වගාකරන අතර අස්වැන්න නෙලාගන්නා කලට ගොවියාට ණයට දෙන මුදලාලිලා පැමිණ ගොවියාට ගිණි දල්වා,ඔහුට සොච්චමක් අස්වැන්න ඉතිරිකර වැඩි කොටස රැගෙන යන ආකාරය ඒ ගොවියා බලා සිටින්නේ හදවත දැවෙමිනි. මෑතකදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී එලවලු කිලෝ බර ප්‍රමාණයක් ගිණි තබන ලද්දේ ගොවියාට ඒ විකුණා ගැනීමට නොහැකිවූ බැවිනැයි සැලවිය.ඉඳින් නිෂ්පාදන අතිරික්තයක් ඇත්නම් ඒ අපනයනය කිරීමට බලධාරීන් බරක් නොදමන්නේ ඉන් ඇමතිතුමාට උරුමවන කොමිස් ප්‍රමාණය මද බැවින්දැයි දන්නේ නාථ දෙයියෝ පමණි.කන්නයක බලාපොරොත්තු ඇස් ඉදිරිපිට වියැකී යන ගොවියාගේ හිතේ ගිනි , ලිපේ ගිණි දල්වන්නට මද බැවින් ඔවුන් ඇතැම්හු කෘමිනාශක රස බලන්නේ අදක ඊයෙක පටන්ම නොවේ.

අපි ළමාවියේදී අප අසල්වාසී ගිරිදර ආච්චීට උන්දෑ නොමැති තැන අපේ වැඩිහිටියන් ගින්දර නැන්දා කියූ අතර අපි උන්දෑට ගින්දර ආච්චීයැයි කීවෙමු.ඒ ගින්දර ආච්චී යන අහලපහල කාට හෝ බොරු කේළම්,ඕපාදූප කියාගෙන යාම ඇයගේ පුරුද්දක්ව තිබූ බැවිණි.ගමේ ගොඩේ ගිණි තියන්නට එදා ගින්දර ආච්චී සිටි අයුරින්ම අද රටේ තොටේ ගිණි තියන්නට ආණ්ඩුවට ගින්දර සීයලා කප්පරක් සිටිති.පොඩි-වංශ,අමර ගුණදාස,සුදුබණ්ඩා දිසානායක ආදී වශයෙන් ආණ්ඩුව අපහසුවට පත්වෙන යම් අවස්ථාවක් වේනම් මෙන්න රටට ගිණි තියනවෝයැයි මහත් ශබ්ද නගා කෑ කොස්සන් ගසා ඒ අසීරු අවස්ථාවන් මගහැර යාමට අවස්ථාව සලසාදීම මේ ගින්දර සීයලාගේ ප්‍රධානම වගකීමයි. රට වෙනුවෙන් කරන්නාවූ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මේ කෑ කොස්සන් ගැසීමයැයි ඒත්තු ගැන්වෙන තරමටම අද වනවිට එය රාජ්‍ය අනුග්‍රහය ලබන්නාවූ ව්‍යාපාරයක් බවට පත්වී හමාරය.

ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කරන ජනතාව මහමග ටයර් ගිණි තබන අතර තවත් සමහරු පඹයින් ගිණිතබති.තෙල් මිල වැඩිවීම නිසා සා ගින්දර ඉහවහාගිය උන් ආණ්ඩුවේ ලොක්කන්ගේ හැඩයගත් පඹයින් ගිනිතබද්දී,ආණ්ඩු පාර්ශවයේ උද්ඝෝෂකයින් ඇමරිකාවේ හැඩයගත් පඹයින් ගිණි තබති.එනපොට හරිනොයන බව ඉවවැටුනොත් උද්ඝෝෂකයින්ට ගිණි බිඳින අතර ඔලුව හිල්කරගෙන යන උණ්ඩ හමුවේ උන්ගේ අඹුදරුවන්ගේ හිත ගිණි ඇවිලෙති. ගිණි බටයට ගොදුරුවී එලොව යන අහිංසකයින් එන්ජීඕ කාරයන්ගේ සහ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අතකොලු බැව් රටට හඬගා කියන්නට එවිට ගින්දර සීයලා සෑදී පැහැදී සිටිති.

කලකට පෙර තිබූ ආණ්ඩුවක් තරුණයින් මහමග ටයර් සෑයවල්වල දමා ගිණිතැබීමට නම්දරා තිබිණි.රට විශාලා මහනුවරක්වූ එසමයෙහි දිනපතා උදෑසන පාසල් යද්දී අපි දුටුවේ පාර දෙපස දැවෙමින් තිබූ මිනී රැසකි.ඒ සංහාරයට වගකිවයුතු ඇතැම්හුද එසේම මහමග ගිණිගෙන දැවෙමින් අවසන් ගමන් ගියහ. ටයර් සෑ දැවෙද්දී එයට පලිගැනීමට එකල්හි කැරළිකරුවන් ගිණි තිබ්බේ ලංගම බස්,ආණ්ඩුවේ ගොඩනැගිලි , විදුලි ට්‍රන්ස්ෆෝමර ආදියටයි.එයින් දැවීගිය ජාතික ධනය කෙතරම්දැයි අද ගනන් තැබීම නොවටින්නේ අද ආණ්ඩුව එක දිනකදී ඒ සම්පූර්ණ මුදල හා සමාන මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් නානාප්‍රකාර නරිනාටක නටා ගිණි තබන බැවිණි.

එකල්හි , රට ගිණිගෙන ඇවිලෙනු දුටු එකම පුතණුවන් එගිණි නිවන මග සෙවීම වරදක්දැයි ප්‍රශ්ණකල අක්කලා අද රට ඇවිලෙන ආකාරය නොදුටුව දෑසින් සිටින්නේ ඔවුන්ට අද ගිණි , ගිණිසේ නොදැනෙන නිසාදැයි කිසිවෙක් නොදනිති.එසේම එවදන් අකුරුකල ඇදුරුතුමන්ලාද අද , තොපේ ගිණි අපට මොකටදැයි ජනතාවට කියා තමන්ට කීයක් හෝ හම්බකරගැනීමේ ජැක්සන් තියරියට අනුගතව නිර්මාණ කරති. අතීතයේ පොදුජනතාව වෙනුවෙන් කශේරුකා නොනමා කෙලින් සිටගත් කලාකරුවන් අද ජනතාව යනු කවුදැයි නොදන්නා ආකාරයෙන් , ඒ ගොඩට වී සිටින්නේ තම අනාගත පරම්පරා ගනනාවකම බඩගිනි නිවීමට අදම වස්තුව රැස්කර ගැනීමේ ඒකායන අභිප්‍රායයෙනි.

අපේ රටේ ජනතාවගේ තවත් වටිනා කියන පුරුද්දක් වන්නේ වාහන ගිණි තැබීමයි.පදිකයෙන් වාහනයක ගැටී අනතුරක්වූ සැනින් වැරැද්ද රියඳුරා පිට පටවා,ඔහුට හොඳහැටි නෙලා,වාහනයට ගිණි තැබීමට මහත්වූ සේනාවක් ලහිලහියේ එක් රැස් වෙති.අනතුරට පත්වූ පුද්ගලයා රෝහලට ගෙනයායුතුනම් ඒ පිලිබඳ සොයා බලනුයේ දෙවනුවය.ඉතින් ලංකාවේ රියඳුරන් පුරුදුවී සිටින්නේ මෙලෙස හදිසි අනතුරක්වූ සැනින් තම වාහනය එතැනම දමා පලා යාමටයි.

කහවත්තේ සිදුවූ ඝාතන රැල්ල නිසා මෑතකදී ඒ ප්‍රදේශය පමණක් නොව මුලු රටම ගිණිගෙන තිබිණි.කහවත්තේ වැසියන් බියෙන් ගිණිගෙන දැවුනේ මේ මරාලය කොයි මොහොතේ තමාවත් දවා දමයිදැයි සැකයෙනි.කොයි හැටි වෙතත් අවසානයේ ඝාතකයා පොලීසියට කොටුවිය.පලාතකටම ගිණිදුන් මේ මෘගයින්ගේ මෙන්ම නෑසියන්ගේද නිවෙස් කුපිතවූ පිරිස් විසින් ගිණි තබා විනාශකර දැමිණි.නමුත් මානම් කල්පනා කරන්නේ කිසිවෙක් දුක් මහන්සියෙන් නිමවාගත් නිවෙස් ගිණි නොතබා නඩු අසා වැරදිකාරයන් වන මේ තිරිසනුන් ගිණිතැබිය යුතු බවයි.

ආණ්ඩුව වෙනුවෙන් පාරට බහිමු.

“ආ පුතා උදේම පත්තරේ බලනවා වගේ.”
ඉස්තෝප්පුවට වෙලා නිවී සැනසිල්ලේ දිවයින පත්තරේ අරගෙන,අපේ රටට විනකටින හැටහුටහමාරකුත් තවත් ටිකක් වෙච්චි දේශීය,විදේශීය බලවේග සහ ඒ සියලු අභියෝග මැඬගෙන සංවර්ධන මාවතේ අධිවේගී ගමනක යෙදෙමින් ඉන්න අපේ රට ගැන කියවමින් හිටපු මම ඔලුව උස්සලා බැලුවා මේ කවුද කියලා.
“ආ සිරිසේන මාමා,බෑරක්ද මේ උදේ පාන්දරම.”
“මම මේ වෙලට ගොහින් එන්න ගියා වතුර බැඳලා එන්න ළමයෝ.අදම ඒක කරල දාන්නවුනා හෙට ඉතින් කරන්න වෙන්නේ නෑනේ.”
“ඇයි මොකෝ හෙට කොහේහරි යන්නද?”
සිරිසේන මාමා එකපාරටම මම දිහා බැලුවේ පුදුමයෙන් වගේ.
“පත්තර කියෙව්වට මොකොවත් දන්නේ නෑ වගේනෙ.හෙට අර උද්ඝෝෂණේ තියෙන්නේ ආණ්ඩුවට සහයෝගය දක්වන්න.ඇයි ඔය ළමයා ඒකට යන්නේ නැද්ද.අපි යන්න බස් එකකුත් කතා කරලා තියෙන්නේ”

මට හාංකවිසියක් මතක නැතිව තිබුණ මේ වැඩේ සිරිසේන මාමා මතක් කරලා දුන්න විතරක් නෙවෙයි ,උන්නැහේලාගේ ගොවිතැන් වැඩවලට මේ ආණ්ඩුවෙන් කරන සේවයත් හොඳට කියලා දුන්නා.

“වී වලට දැන් සහතික මිලක් තියනවා.ඉතින් මොන මුදලාලි ආවත්,ආණ්ඩුවට විකිණුවත් වී කිලෝවකට රුපියල් විසිපහක් හම්බවෙනවා.ඇයි ගොවි සමිති.හැම ගමකම තියෙන ගොවි සමිතිය හරහා ගොවියන්ගේ ප්‍රශ්ණ කතා කරනවා.මෙහේ කෘෂිකර්ම නිලධාරි මහත්තයා නිතරම ඒ ගැන අවධානයෙන් ඉන්නේ.

හැම අවුරුද්දකම ආණ්ඩුවෙන් ඒ වෙනකොට රටේ තත්වේ හොයලා බලලා එක එක වගා වලට කොච්චර ඉඩම් ප්‍රමාණයක් රටේ වෙන් කරන්න ඕනැද කියලා සැලසුමක් හදනවා.අපේ පලාතේ වගා සැලසුම කෘෂිකර්මේ මහත්වරු ගමේ ගොවිසමිතිවලට දෙනවා .ඉතින් දැන් රටේ කොහෙවත් අස්වැන්න වැඩිවෙලා විකුණගන්න බැරිවෙන්නේ නෑ.
දැන් බලන්නකෝ ළමයෝ ඉස්සරනම් මෙහේ ලූණු ගලවද්දි තමයි පිටරටිනුත් ලූණු ගේන්නේ.දැන් ඔය වගා සැලසුම් හින්දා ඔය ප්‍රශ්ණ මොකුත් නෑනේ.
අනික ළමයෝ දැන් නියන් කාලයක් එන එකක්යැ.රාජා භවතු ධම්මිකෝ”

සිරිසේන මාමගේ කතාවෙන් පස්සේ තමයි මට තේරුනේ රටේ ගොවියා කොච්චරනම් සන්තෝසෙන් තමන්ගෙ ජීවිකාව කරගෙන ඉන්නවද කියලා. මේ සැලසුම්වලට වැඩකරන අපේ රට බතින් බුලතින් ස්වයංපෝෂිත වෙන එක නවත්වන්න මාර සේනාව ඇවිල්ලත් බෑ ඉතින් .ඔය ඔබාමලාට,බ්ලේක්ලාට පුලුවන්ද මේ මිනිස්සු ඉන්නකම් මේ ඉන්දියන් සාගරේ මුතු ඇටේට අත තියන්න.

“මෙන්න කෝල් එකක්”.අපේ හාමිනේගේ සද්දෙ ඇහිල මම සිරිසේන මාමව දාල ගේ ඇතුලට දුවල ගියා.අම්මට සිරි ගජ සෙන්දීපන්.ඉස්සර එක ප්ලේන්ටිය ගහපු යාපනේ අපේ සගයා.
“ආ කොහොමද ලොක්කා.උඹලට අපිවත් මතක් වෙනවා එහෙනම්”
“පට්ට බිසී මචං පහුගිය ටිකේ.මෙහේ ප්‍රොජෙක්ට් ගොඩක් යනවනේ.ඉතින් අපිට ජොබ් හොඳයි.මට රට යන්නත් චාන්ස් එකක් වැදුනා”
සෙන්දා බ්‍රේක් නැතිව කියවන්න පටන් ගත්තා.

“උඹ රට යනවනම් පාස්පෝට් හදාගන්න කොළඹ එනවනේ.අපේ ගෙදර වරෙන්.පාර තාම මතකයිනේ.”
“මොකටද බං කොළඹ එන්නේ.දැන් මෙහෙත් ඔය ඔෆිස් සේරම තියනවනේ.මෙහේ මිනිස්සුන්ට හරි ලේසියි දැන් වැඩ කරගන්න.”
“මිනිස්සු නිදහසේ ඉන්නවා.තමන්ගේ ඉඩකඩම්වල ගොවිතැන් බත් කරගන්නවා.කොළඹම දුවන්නේ නැතිව මෙහේ ඉඳන් වැඩ කරගන්න පහසුකම් තියනවා.ඉතින් තව මොනවද.ඒක නෙවෙයි උඹ යනව නේද හෙට උද්ඝෝෂණේට? මොකක් බලන්න ඕනැ.පලයන් පලයන් ඔහොම දේකටවත්.මමත් නිවාඩු දැම්මා හෙට ඔය වැඩේ හින්දා.”

දැන් සේරම ඔය වැඩේට ඔච්චර උදවිය කැපවෙලා වැඩකරන නිසාත්,ඕකට නොගිහින් අහල පහල උන්ගෙන් කොටියෙක් කියලා කාඩ් එක ගහගන්න ආසාවත් නැති හින්දාත්,ඔය සේරටම වඩා මෙච්චර ආර්ථික,සංස්කෘතික,සමාජීය දියුණුවට අකුල් හෙලන්න බටහිර අවජාතක හොර නඩයට ඉඩ දෙන්න බැරි නිසාත් මමත් උද්ඝෝෂණයට යන්න හිතාගත්තා.ඒ යනකොට හිස් අතින් යන්න බැරි නිසා බැනර් එකක් ඇඳගෙනම යන්න තීන්ත ටින් එකක් ගන්න කඩේට යන්න හිතාගෙන මෝටර් බයිසිකලේට නැග්ගා.

“ඕකේ තෙල් ඉවරවුනේ ගිය සුමානේ කියලා මතක නැද්ද?”
රෑට පත්තුකරන්න පන්දමක් හද හදා මිදුලේ උන්නු හාමිනේ කිව්වා.
“ලයිට් බිල ගෙවාගන්න බැරුව රෑට පන්දම් පත්තුකරන් ඉන්න එකේ ඕකට තෙල් ගහනවනම් ඉස්සරහා කොස් ගහවත් කපලා විකුණන්න වෙයි.”

ඉතින් මම කඩේට පයින්ම යන්න කියලා හිතාන පාරට බැස්සා. මූණටම මුලිච්චිවුනේ සරත් අයියා.ඊයේ දවසම හන්දියේ ඩියුටි මල්ලි.මේ දවස්වල සීට් බෙල්ට් නොදාන ඩ්‍රයිවර්ලා අල්ලනවා ඉවරයක් නෑ.
“හා හා…එහෙනම් අත යටින් එන ගාන හොඳ ඇති සරත් අයියලාට”
“පිස්සුද මල්ලි,දැන් නෑනේ අපේ ඒ වැඩ.දැන් අපේ සේවය නූලට ,රූලට,නීතියට තියනවා.ස්වාධීන පොලිස් කොමිසම දැම්මට පස්සේ අපි කොන්ද කෙලින් තියාන වැඩ කරනවානේ.අපිට හම්බවෙන පහසුකම් හොඳටම හොඳයි.දැන් කාගෙවත් නෑ ඔය අත යට ගැහිලි.ඔය එන්නේ වසන්ත මන්ත්‍රීතුමා ඕනැනම් අහන්නකෝ.”
අපි දෙන්නත් එක්ක පයින් කඩේ දිහාට යන ගමනට ප්‍රාදේශීය සභාවේ වසන්ත මන්ත්‍රීතුමාත් එකතුවුනා.

“අපි පයින් ගියාම මොකෝ මුන්නැහේලත් පයින් යන්න පටන් ගත්තම.”
සරත් අයියා කිව්වේ හිනා වෙවී.
“අපි ටිකක් පයින් ගියාම මොකද මල්ලි වෙන්නේ.තව පොඩ්ඩ දවසක් ඉවසන්නකෝ.නෙලුම් කුළුණ හදපු ගමන් ඔය ප්‍රශ්ණ සෑහෙන්න ඉවරවෙනවා.එතකොට තමයි රටේ ණය සේරම අඩුවෙන්න පටන් ගන්නේ.රටට ආදායම් එන කර්මාන්ත අලුතින් පටන් ගන්නේ.පිටරට ආයෝජකයෝ එන්න පටන් ගන්නේ.පාවෙන රුපියල ස්ථාවර වෙන්නේ.විදේශ සංචිත වැඩි වෙන්නේ.පොඩ්ඩක් ඉවසලා ඉන්නකො මල්ලිලා.”

ඔය සේරම ඉවරවෙලා මම හවස් වෙලා තීන්ත ටින් එකකුත් අරගෙන ගෙදර ආවා.ඊට පස්සේ දහ අතේ කල්පනා කලේ මොකද්ද දැන් ලියන සටන් පාඨය කියලා.කල්පනා කරලා කරලා කරලා අන්තිමේදී යන්තම් එකක් කල්පනාවෙලා ලියා ගත්තා.
“අපිට පුතේ මගක් නැතේ.”